මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ

අප පාසල් යන කාලයේ ප්‍රාථමික සිසුන්ට උගන්වන ලද ජනප්‍රිය ළමා ගීයක් තමයි මේ.

මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල
බර වෙලා අතූ
නංගිටයි මටයි
ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමෝ
හෙම නොවේ අපී

එය ලිව්වේ ගුරු අධ්‍යාපන විශේෂඥයකු වූ උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා හෙවත් යූ.ජී.පී ද සිල්වා (1906-1991) මහතායි. එය 1940 දශකයේදී ඔහු විසින් ‘දොඩම් ගසේ ගීතය’ ලෙස ලියා ඇති බව දැනගන්නට ලැබුණා.

පසු කලෙක මෙයට මෙහෙම කොටසකුත් එකතු වුණා. හැබැයි එය යූ.පී.ජී. ද සිල්වා මහතාගේ නිර්මානයක් ද යන්නට සාක්කි නැහැ.

“ගෙදර ගෙනියලා
හොඳට මිරිකලා
සීනි වතුර දමා සොඳින්
බොමු අපි තුටින්”

සීනි දැමිල්ල නම් ඒ හැටි හොඳ වැඩක් නෙමෙයි.

පහත දැක්වෙන පද පෙළත් යූ.පී.ජී. ද සිල්වා මහතාගේ නිර්මානයක්:

හඳහාමී හැංගි හැංගි
එබිල බලනවා
ඈත සුදට වටකුරුවට
අන්න පෙනෙනවා
පුංචි අපට
කිරියි පැණියි
දීලා යනවා

මේ ගසේ බොහෝ ගීයේ තැටියේ අනෙක් පැත්තේ ඇත්තේ නිල් අහස් තලේ ගීය බව පැරණි ගී පිළිබඳ පර්යේෂකයකු වන ලකිඳු පීරිස් අප සමග පැවසුවා. නිල් අහස් තලේ ගීය ගායනා කළේ යූ.පී.ජී. ද සිල්වා මහතායි. එය රචනා කළ යූ.ඩී. පෙරේරා මහතා ඔහුගේ සිසුවකු ලෙස වාර්තා වෙනවා.

නිල් අහස් තලේ අගෙයි
නෑ වලාකුළූ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

රැල් සිසිල්  සුළං සැපයි
මේ රැයේ ඇතී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

මල් විසීරිලා වගෙයි
තාරකා සිරී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

විල් නෙළුම් නිදා වැටෙයි
මානෙල් මල් පිපේ
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

ගායනය – යූ.ජී.පී ද සිල්වා
පද හා තනුව – යූ.ඩී. පෙරේරා

1938 දී මේ ගීය යූ.ජී.පී. ද සිල්වා මහතාගේ හඬින් ම කළ පටිගත කිරීම අහන්නට මෙම බ්ලොග් ලිපියට පිවිසෙන්න.

පසු කලෙක මෙම ගීතය තිස්ස අබේසේකරයන් විසින් මහගෙදර චිත්‍රපටයට යොදා ගනු ලැබුවා. එහිදී මේ ගීයේ සුන්දර කොටසක් අතහැර තිබෙනවා.

රැල් සිසිල්  සුළං සැපයි
මේ රැයේ ඇතී
ලස්සණයි පුරා හඳේ
රැස් විහීදිලා

පසු කලෙක මේ ගීය ගායනා කරන විට මේ කොටස අතහැර ගායනා කිරීම පුරුද්දක් වී තිබෙනවා.

යූ.ජී.පී. ද සිල්වා මහතා පිළිබඳ පහත සඳහන් විස්තරය උපුටා ගනු ලැබුවේ ආරියපාල මුදලිගේ මහතා විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියකිනි.

උණවටුන ගමගේ පැටර්සන් ද සිල්වා මහතා උපත ලද්දේ උණවටුන දළවැල්ලේදී 1906 නොවැම්බර් 10 වැනි දින ය. ඔහු අධ්‍යාපනය ලද්දේ මිහිරිපැන්නේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, ගාල්ලේ බොනවිස්‌ටා පාසලේ හා ගාල්ල මහින්ද විද්‍යාලයේ ය.

ගාල්ල මහින්දයේ ඔහු සමඟ එකට උගත් සිසුන් අතර ග්‍රන්ථ කතුවරයකු හා විදුහල්පතිවරයකු වූ මාතර ජස්‌ටින් වෙඩිවර්ධන මහතා හා ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාල මහතාද විය. මෙම තිදෙනාගේ එකතුවෙන් පාසලේ “රාමායනය” නාට්‍යය රඟදක්‌වා ඇත.

වයස අවුරුදු 18 දී ඔහු ගුරු වෘත්තියට ඇතුළත් වූ අතර 1927 දී ගාල්ල මහින්ද විදුහලේ සේවය කළ කාලයේදී ඔහුගේ ගෝලයන් අතර සංගීත විශාරද ලයනල් එදිරිසිංහයන් ද විය.

1928 දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඔහු ඇතුළත් විය. එය එවකට පිහිටා තිබුණේ අද තර්ස්‌ටන් විද්‍යාලය තිබෙන ස්‌ථානයේ බව ඔහු පවසා සිටී. ගුරු අභ්‍යාස විද්‍යාලයේදී ඔහු “පොතේගුරා”, “සකුන්තලා” යන නාට්‍යයන්ද එහිදී රඟදක්‌වාලීමට ප්‍රමුඛස්‌ථානය ගෙන ඇත.

1930 දී පමණ ඔහු ගුරු විදුහලේ සිංහල අංශයේ ප්‍රධානියා ලෙස පත්කෙරිණ, යුද්ධ කාලයේ ගුරු විද්‍යාලය තාවකාලිකව පේරාදෙණියට ගෙනයනු ලැබීය. එහිවූ ස්‌වාමීන් වහන්සේලාට ඉංග්‍රීසි ඉගැන්වීම කරන ලද්දේ සිල්වා මහතාය. ඔහුගෙන් ඉංග්‍රීසි උගන්නා ලද ස්‌වාමීන් වහන්සේලා අතර, මඩිහේ පඤ්ඤාසීහ, මාතලේ සාසනතිලක, මිරිස්‌සේ ගුණසිරි, මොරටුවේ ශාසනරතන, රද්දැල්ලේ පඤ්ඤාලෝක හා හාල්යාලේ සුමණතිස්‌ස යන හිමිවරු ද වූහ.

මෙරට ගුරු අභ්‍යාස විද්‍යාල බිහිකිරීමේ කාර්යභාරය සිල්වා මහතාට පැවරිණ. 1944 දී මීරිගමද, 1945 බලපිටියේද, 1947 පොල්ගොල්ලේද ගුරු විදුහල් බිහිකිරීමේ පදනම වැටුණේ ඔහු අතිනි. එපමණක්‌ නොව එම ලයිස්‌තුවට උයන්වත්ත හා කටුකුරුන්ද ද ඇතුළත් විය යුතුය.

ඒ මහතාගෙන් සිදුවූ සේවය අරභයා ඔහුගෙන් ශිල්ප හැදැරූ සියලුම ගුරුවරු 1983 ජනවාරි 29 දා පෙරවරුවේදී අධ්‍යාපන ලේකම් ඊ. සී. විජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව රඟහලේදී උත්සවයක්‌ පවත්වා එතුමාට උපහාර පුද කළෝ ය.

යූ. ජී. පී. ද සිල්වා මහතා ගැන තොරතුරු නවයුගය පුවත්පතට සපයා ඇත්තේ ඒ. ඩී. රන්ජිත් කුමාර මහතායි.

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *