මෛත්‍රීපාල එක්ක හවුල් ආණ්ඩුව හා එජාප ප්‍රතිසංස්කරණ

සජිත් ප්‍රේමදාස
අනාගත එජාප නායකයා සජිත් මිස අනෙකෙකු නො වේ.

මාස දෙකක් තිස්සේ කිසිදු සාධාරණ හේතුවකින් තොරව රටේ දේශපාලන අස්ථාවරයක් නිර්මානය කරමින් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දැන් නැවතත් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ උවමනාව ඇති වී තිබේ.

රනිල් එජාප නායකත්වයෙන් නෙරපා හැර, සජිත් අගමැතිකමට පත් කරගෙන, පොහොට්ටුවෙන් ද මන්ත්‍රීවරුන් ටිකක් බාගෙන ආණ්ඩුවක් හදන්නට ගොස් පස්ස බිම ඇන ගැනීමෙන් පසු ඔහු ආපසු පැමිණ ඇත්තේ පටන් ගත් තැනට ම ය.

මේ වන විට මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ගේ පැවැත්ම පමණක් නො ව, ශ්‍රීලනිපයේ පැවැත්ම ද අවසන් වන තැනට වැඩ සිදු කරමින් සිටියි.

මේ රටට ඇත්තටමත් අවශ්‍ය ප්‍රධාන පක්ෂ දෙකක් පමණි. ජාතික ධනවාදී පක්ෂයක් සහ ලිබරල් ධනවාදී පක්ෂයක් පමණක් මේ රටට සෑහේ. එම ස්ථාන දෙකට ස්ථානගත වන්නටපොදුන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් තිබුණා ම ඇති ය.

අප ලිබරල් ධනවාදී එජාප වඩා වැදගත් පක්ෂය ලෙස සලකන බැවින් ඒ අවකාශය විනාශ කරන්නට වෑයම් නො කර, සිරිසේන ජාතික ධනවාදී කඳවුර තුළ තරග කර ගත්තාට අපට කමක් නැත.

එජාප උප නායක සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් අපට තිබෙන ගැටලුව වන්නේ ලිබරල් ධනේශ්වර දේශපාලන ධාරාවකට නායකත්වය දෙන්නට තරම් ඔහු පරිණත වී නො සිටීමයි. ඔහුට ඒ සඳහා උපකාර කළ යුතු ය. ඔහුගේ යම් ජාතිකවාදී ලක්ෂණ එවැනි නායකත්වයක් සඳහා ඔහු අමතර සුදුස්සකු බවට පත් කරයි. එහෙත් ඔහු මහින්ද රාජපක්ෂ වැනි ජාතිවාදියෙකු නො වේ. ආරක්ෂා කළ යුත්තේ එවැනි තත්වයන් ය.

එජාප නායකත්වය වෙනස් කිරීමේදී කිසිවකුට සජිත් ප්‍රේමදාස මගහැර යා නො හැකි ය. එජාප මීළඟ නායකයා වන්නේ සජිත් මිස අන් කිසිවකු නො වේ. එහෙයින් සජිත් ආරක්ෂා කර ගත යුතු ය.

මෛත්‍රීපාල සිරිසේන වැනි අපත නායකයකුට හා මහරාජා වැනි කෂඩ මාධ්‍යයකට සජිත් ප්‍රේමදාස සිය අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්නට එජාප ඉඩ නො දිය යුතු ය.

එජාප ප්‍රතිසංස්කරණවලදී මෙම කාරණය ඉතා වැදගත් ය. එජාප ප්‍රතිසංස්කරණවල අරමුණ විය යුත්තේ 2020දී තනි එජාප රජයක් පිහිටුවීමයි. සරලව කියනවා නම් රනිල් ජනාධිපති, සජිත් අගමැති වන රජයක් පිහිටුවීමයි. එසේම, එජාපය තුළ දෙවන හා තුන්වන පෙළ ශක්තිමත් කිරීමයි.

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමේ මෛත්‍රීපාලගේ උවමනාව කෙරෙහි සංවේදී විය යුත්තේ මෙම පසුබිම තුළ ය. ඇත්තෙන් ම, එය නරක යෝජනාවක් නො වේ. එය විශේෂයෙන් ම රටේ දේශපාලන ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඉවහල් වේ. මේ මොහොතේ රටට දැඩිව ම අවශ්‍ය ස්ථාවරත්වයයි.

එහෙත්, මෛත්‍රීපාල සිරිසේන යනු තව දුරටත් විශ්වාස තැබිය හැකි නායකයකු නො වේ. එසේම, තමන් වගකීමක් ඇති නායකයකු ලෙස හැසිරෙන්නට දන්නා පුද්ගලයකු බව පෙන්වන්නට ද ඔහු බරපතල ලෙස අසමත් වී තිබේ. ඉදිරියේදීත්, ඕනෑ ම මොහොතක ඔහුගේ කඩාකප්පල්කාරී මානසිකත්වය ඉදිරියට පැමිණිය හැකි ය.

මෛත්‍රීපාල සිරිසේන යනු විධායක ජනාධිපති ක්‍රමයේ නරක පෙන්විය හැකි අවසන් පුද්ගලයා බවට පත් කළ යුතු ය. ඔහු විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට උපකාර කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නට අලුත් අරගලයක් ආරම්භ කළ යුතු ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *