මෝටර් බයිසිකල් හා තවත් භාණ්ඩ මැද භාණ්ඩ ඉක්මවා ගිය චිත්‍රපටයක්

සිංහල අවුරුදු දවසෙ TV1 රූපවාහිනී නාලිකාවේ මෝටර් බයිසිකල් චිත්‍රපටය පෙන්නුවා. තරුණ පිරිසක විසින් කරන ලද චිත්‍රපටයක් නිසා වැඩි දෙනෙක් ඒ ගැන කතා නො කළාට මෝටර් බයිසිකල් චිත්‍රපටය ලංකාවෙ චිත්‍රපට ඉතිහාසයේ මාස්ටර්පීස් එකක් හෙවත් අග්‍රකෘතියක් ලෙස සලකන්නට පුළුවන් ය කියා මා හිතනවා. පහත දැක්වෙන්නෙ ඒ චිත්‍රපටය පෙන්නපු දවස්වල මා ලියූ සටහනක්. මේ චිත්‍රපටය බලලා නැතිනම් සොයාගෙන බලන්න.

Sameera Naotunna
අධ්‍යක්ෂ සමීර රංගන නාඔටුන්න. චිත්‍රපටයේ ප්‍රධාන චරිතයේ නම ද රංග ය.

මෝටර් බයිසිකල් චිත්‍රපටයේ තරුණයා ලාංකික නාගරික හෝ අගනාගරික දිළිඳු තරුණයාගේ හරස්කඩක් ද නැද්ද යන්න මම නො දනිමි. එහෙත් ඒ තරුණයා වැනි තරුණයෝ අපට හමු වෙති.

මා ඔහු කියවන්නේ මෙසේ ය. ඔහු නාගරික දිළිඳු සමාජයේ ඉපිද, එම සංස්කෘතියට ඇබ්බැහිව, එයින් මිදී නව ඉසව් සොයා යන්නට ආසා කරන, ඒ සඳහා දිරියෙන් සටන් ද නො කරන තරුණයෙකි.

මතක හැටියට රංගන යන නම හිමි මෙම තරුණයා සමාජ හිනිපෙතේ ඉහළ යාමට අවස්ථා උදා කර දෙන උසස් අධ්‍යාපන ලොතරැයිය සඳහා අවස්ථා නො ලද අයෙකි.  කය වෙහෙසන රැකියා කරන්නට අකැමැති අයෙකි. කම්කරුවෙකු වීමට සිතක් ඔහුට නැත. ඔහු ඒ වෙනුවට වෘත්තීය කලාකරුවකු, ගායකයකු වීමට ආසා කරන අයෙකි. තරුණයන් ගායකයන් වන්නට ම පෙරුම් පුරන්නේ ඇයි? සිංදු කියන්නට හැකි අයට පමණක් සුපිරි තරු හා සුපිරි ධනවතුන් වීමට මාවත් තිබෙන නිසා ය.

එම තරුණයා රැඩිකල් සංගීත ශෛලීන් ඇසුරු කරන්නෙකි. එහෙත්, ඔවුන්ගේ ගීත සාහිත්‍යයේ ඇත්තේ බොල්, නිසරු අදහස් ය. සංගීතය ද ගැඹුරක් නැති විරෝධාකල්පයක් පමණි. ඔහුගේ උන්නතිකාමය වන්නේ රියැලිටි වැඩසටහනක් ඔස්සේ සුපිරි තරුවක් වීමයි. එහෙත්, ගිටාරයක් වාදනය කරමින් සිංදු කියනවා හැරෙන්නට සංගීතය ගැඹුරින් හැදෑරීමක් ද නැත.

ඔහුට සිංදු කියන්නට ලැබෙන්නේ ඩොගි බාර් එකක ය. එළියට එන්නේ සුළු මුදලක් අතින් රැගෙන ය. පාරේ මිනිසුන් මරා දමන, පාතාලය රජ කරන පාළු වීදි දිගේ ඔහු පා ගමනින් එයි. බියපත් ඔහු රැගෙන එන තමන් වැනි ම දිළින්දකු වූ ත්‍රිරෝද රියදුරාගේ කුලිය නො ගෙවා පළා යන ඔහු සහකම්පනය නැත්තෙකි.

එහෙත්, මේ සංගීත ව්‍යාජයන් ඇසුරු කරමින් අජිත් කුමාරසිරි මවන්නේ ප්‍රශංසනීය සිනමා සංගීතයකි. සිනමා සංගීතය තිබෙන්නේ සංගීතකරුවාට දන්න වැඩකිඩ ඔක්කොම පෙන්නන්නට නොව, චිත්‍රපටය සමග ඓන්ද්‍රිය වන සංගීතයකට බව අජිත් කුමාරසිරි මැනැවින් පෙන්වා දෙයි.

රංගන සිය මවගේ මාලය උගස් කර, පරණ මෝටර් බයිසිකලයක් මිළ දී ගනියි. එය සොරකම් කළ, නීති විරෝධී එකකි. ඔහුට හෙල්මටයක් මිළ දී ගැනීමට හෝ මුදල් නැත. ඔහු මෝටර් බයිසිකලයෙන් සිය පෙම්වතිය කැටුව දවසක් ගත කිරීමට යයි.

දවසක් පුරා ඔහු සොයන්නේ ආදරය කරන්නට නිදහසයි. මුදල් නොමැතිව ඒ නිදහස දිනා ගත නො හැකි ය. ඔවුන් දවස අවසන් කරන්නේ ජීවිතය ගැන වෙහෙසට පත් ව ය.

තරුණිය ඔහුට වඩා මඳකින් ඉහළ සමාජ මට්ටමක අයෙකි. ඇය ඔහු හමු වන්නට එන්නේ පන්ති නො යා ය. ඇය පන්ති යන්නේ ඇයි? රැකියාවක් සහිත වඩා සුරක්ෂිත ජීවිතයක් ගැන ඇයට අපේක්ෂා තිබේ. ඇයට අවශ්‍ය ඇය සුරක්ෂා කරන අනාගත සැමියෙකි. එහෙත්, ඇයට ආදරය කරන, ඇය ආදරය කරන තරුණයා මංමුලා වූවෙකි. ජීවිතයෙන් ගොඩ ඒමට ඔහුට ඇත්තේ ලොතරැයි හා එවැනි ම වූ රියැලිටි සුපිරි තරු මාවත් පමණි.

භාණ්ඩ ලෝකයක ආදරවන්තයා භාණ්ඩ මිළ දී ගෙන පෙම්වතියට තෑගි කරන්නකු විය යුතු ය. එහෙත්, ඔහු හුදෙක් සිය පෙම්වතියගේ ආසාවන් දෙස අසරණව බලා සිටින්නට සිදු වූ දිළින්දෙකි.

අපේක්ෂා සුවිසල් ය. එහෙත්, අවස්ථා ඉතා සීමිත ය. ජීවිතය ජය ගැනීමට එක්කෝ සුපිරි තරුවක් විය යුතු ය. නැතිනම් ලොතරැයියක්වත් ඇදිය යුතු ය.

ඔහුගේ සමාජයේ උන්නතිකාමී තරුණයන්ගේ ඉරණම පාතාල මෙහෙයුම් සමග ගැට ගැසී තිබේ. ආශාවන් සංතෘප්ත කර ගත හැකි කෙටි මාර්ගය අවදානම් ය. එයින් ලබන ප්‍රමෝදය තීව්‍ර වුවත් චිරස්ථායී නැත. අම්මලාට උවමනා තම දරුවන්  ඒ ලෝකයෙන් මිදී නව ලෝකයක් ගොඩනගා ගැනීමයි.

“මේ ජීවිතයේ – අම්ම මගේ – මං අම්මගේ” යි ගැයූ දරුවකුගේ කතාව අවසන් වන්නේ “අම්මගේ මාලේ -ටවුමෙ උකස් කඩේ – සමනල කාලේ මොකට ද – කඳුළු මේ” යන අපේක්ෂා භංගත්වයෙනි.

මෝටර් බයිසිකල් චිත්‍රපටය ආදරයේ භෞතික ලෝකයට අප දෙනෙත් විවර කරයි. ආදරය කරනවා යනු කුමක් ද? තමන් ආදරය කරන තරුණිය දැක ගන්නට නිවස අසලට යාම, පන්ති නො ගොස් ඇය සමග ගමන් බිමන් යාම, සුරතල්, විහිළු, දඟකාරකම්, ළං වී සිටීම, පෙම් බස් දෙඩීම, ස්පර්ශ සුවය, ලිංගිකත්වය යන මේවා ආදරය සමග වෙළී පවතී. එහෙත්, ඔවුන්ට ඒවා රිසි සේ ලබා ගත නො හැකි ය. හේතුව දිළිඳුකම හා සංස්කෘතික සීමා ය.

ඔහු නො ලබන ප්‍රමෝදය ලබන, ඔහුට අහිමි ට්‍රේල් මෝටර් සයිකල් පදින, අත යහමින් මුදල් ගැවසෙන, ආයුධ හෙවත් බලය හිමි පාතාල මැරවරයා ජීවත් වන්නේ සතුටින් ද? නැත. පාතාල මැරවරයා රංගනට ඉරිසියා නො කරන්නේ යයි කිව හැකි ද? රංගනගේ නිදහස්කාමී යව්වන දිවිය ඔහුට අහිමි ය.

කිසිවෙක් කිසිවක් දිනා තිබේ ද?

නූතන පීඩිත පංතික තරුණයා මධ්‍යම පංතික අපේක්ෂා ලෝකයක උපන්නෙකි. ඔහුගේ ජීවිත අරමුණ පාරිභෝජනයයි. ඔහුට නවීන ස්මාට් දුරකථනයක් තිබිය යුතු ය. නවීන මෝටර් සයිකලයක් තිබිය යුතු ය. විවාහයෙන් පසු පොඩි කාර් එකක් ගෙන පසුව ලොකු කාර් එකක් ගත යුතු ය. කලාගාරයක් වැනි නිවසක් තිබිය යුතු ය. ලස්සන, සුදු කෙල්ලෙක් සිටිය යුතු ය. තරුණියට නම් වෙන මොනවා නැතත්, ඉහත කී උපයෝගී වස්තු හිමි කොල්ලෙකු සිටිය යුතුය. ඔහු ඇය කැමති භාණ්ඩ මිළ දී ගෙන දිය යුතු ය. ධනවාදය තුළ ආදරය හා භාණ්ඩ එකට බැඳී තිබේ. මිනිසුන් ද භාණ්ඩ බවට පත් වේ. ගැහැනිය බඩුව වන්නේ ද, ආදරයේ උසස් රසයක් වන ලිංගිකත්වය බඩු ගැසීම වන්නේ ද එම සංදර්භය තුළ ය.

ආසාවන් සමුදායක් මැද, ආසාවන් ම ප්‍රවර්ධනය කරන සමාජයක, ආසාවන් සන්තර්පණය කිරීම ම පරම අරමුණ කර ගත් ජීවිතවලට හිමි  වන එක ම දෙය අහිමි වීම පමණි. ‍පොත නැති, ලයිසන් හෝ ඉන්ෂුවරන්ස් හෝ නැති 81 ශ්‍රී පරණ ස්කූටරයක් පැද්දත්, නවීන ට්‍රේල් බයිසිකලයක් පැද්දත්, භාණ්ඩ වන්දනා කරන සමාජයේ ආදරය හමු වන්නේ නැත. හමු වන්නේ තාවකාලික සුවයක් පමණි.

ශ්‍රම විරෝධී, ක්ෂණික ආදායම් පසුපස යන, පාරිභෝජනවාදී මධ්‍යම පංතික ජීවන අපේක්ෂාවන්ට එදිරිව කම්කරු අභිමානය නැවත ස්ථාපිත කරන තෙක් පීඩිත පංතිවල තරුණයන් මංමුලා වීම වැළැක්විය නො හැකි ය.

සමීර නාඔටුන්නගේ මෝටර් බයිසිකල් ලංකාවේ බිහි වූ විශිෂ්ට චිත්‍රපට අතරට එකතු වන කෘතියක් බව නිර්ලෝභීව කිව හැකි ය. විශිෂ්ට අධ්‍යක්ෂණය තුළ චිත්‍රපටයේ රංගන ප්‍රතිභා, සංගීතය, කැමරාව, සංස්කරණය වැනි අංග මනාව එක්වෙමින් කදිම සිනමා සංරචනයක් බිහි කර තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Please follow and like us:

4 thoughts on “මෝටර් බයිසිකල් හා තවත් භාණ්ඩ මැද භාණ්ඩ ඉක්මවා ගිය චිත්‍රපටයක්

    1. නීත්‍යානුකූල ද දන්නෙ නැහැ. හැබැයි මේක සීඩී කඩවල තිනෙ බවට බෝඩ් දැක්කා.

      1. හන්දියක්, හන්දියක් ගානේ තියෙන හොර ඩීවීඩී කඩවල තියෙනවා. හැබැයි ප්ලේ කර බලා ගන්න.

  1. ලංකාවෙන් පිටපතක් අරගෙන ආවා. ප්ලේයර් එකට දාලා බැලින්නම් ඒකේ තියෙන්නේ දෙමළ සින්දු වගයක්!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *