යහපාලන කුසිකර්මයේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන රාජගිරියේ බිල්ඩිම

රාජගිරියෙ බිල්ඩිම, ඡායාරූපය Daily FT

රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ කුලිය මේ මාසයේ සිට රු. මිලියන 25.25ක් දක්වා වැඩි වන බව ඉරිදා ලංකාදීප සිය මුල් පුවතින් වාර්තා කර තිබේ.

මේ බිල්ඩිම කුලියට ගැනීම පිටුපස නීතිමය වශයෙන් දූෂණයක් නො තිබෙන්නට පුළුවන. එහෙත්, එය පවත්නා සමාජ ක්‍රමයේ දූෂිත ලක්ෂණ මැනැවින් පෙන්වන්නකි. එම ගොඩනැගිල්ල කුලියට දීමෙන් එහි හිමිකරුවන් වරදක් කර ඇති බවක් ද අපි නො සිතමු. එය හිමි ඩී.පී. ජයසිංහ සමාගම ඒ වෙනුවෙන් රු. බිලියන 2.5ක් වැය කර තිබේ. වර්ග අඩි 103,000ක් වපසරිය ඇති මෙම ගොඩනැගිල්ල සතු වාහන අංගනයේ වාහන 100ක් ගාල් කළ හැකි ය. එහෙත්, මෙම ගොඩනැගිල්ල කුලියට දෙන විට එය කෘෂිකර්ම අමාත්‍යාංශයට අවශ්‍ය ප්‍රමිතියෙන් තිබී නැත. මාස ගණනක් තිස්සේ එය කුලී ගෙවමින් ම නැවත සැකසීමට සිදු විය.

මෙම ගොඩනැගිල්ලෙන් හා එහි පවත්වාගෙන යන කාර්යාලවලින් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් වෙනත් ආයතනවලින් ද, පළාත් සභා නවයෙහි කෘෂිකර්ම  අමාත්‍යාංශවලින් ද, එම කෘෂිකර්ම අමාත්‍යාංශවලට අයත් ආයතනවලින් ද මේ රටේ කෘෂිකර්මාන්තයට ඇති බලපෑම කුමක් ද?

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කරනු ලබන ප්‍රධාන කාර්යය වන්නේ වී ගොවීන්ට පොහොර සහනාධාරය දීමයි. හිටපු ඇමති දුමින්ද දිසානායක පොහොර වෙනුවට ඍජුව ම මුදල් ගොවීන්ට ලබා දීම නිසා කෘෂිකර්ම අමාත්‍යාංශයට තිබෙන වැඩ තවත් අඩු විය.

විවිධ බෝග පිළිබඳ පර්යේෂණායතන ආදිය ද තිබේ. එහෙත්, ඒවායින් සේවාවන් ලබා ගැනීම සඳහා නිලධාරීන් පසුපස යමින් සෑහෙන රස්තියාදුවක් විය යුතු ය. මෙම බොහෝ ස්ථානවල රැකියා කරන ඇතැම් රජයේ සේවකයන් ඒ ස්ථානවලට සේවාදායකයන් පැමිණීම දිරිගැන්වෙන පරිදි කටයුතු කරන්නේ නැත. සාමාන්‍යයෙන් ගත් කල, මේ සේවා ස්ථාන සේවා දායකයන් සොයා යාමක් ඇත්තේ ම නැත. ඒවායේ ඇත්තේ ඉතා නිද්‍රාශීලී, අලස වාතාවරණයකි. සමස්තයක් ලෙස ම කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රජයේ සේවකයන් අතරින් කම්කරුවාගේ සිට ඇමති දක්වා ම අති බහුතරය තමන් ලබා ගන්නා වැටුප් හා වරප්‍රසාදවලට සරිලන මෙහෙයක් කරන්නේ නැත.

මේ ආයතනවල ඉහළ නිලධාරීන් විසින් කරනු ලබන ප්‍රධාන වැඩ වන්නේ විවිධ පුහුණුවීම්, සම්මන්ත්‍රණ ආදිය සඳහා විදේශගත වීම හා දේශපාලකයන් වෙනුවෙන් උත්සව සංවිධානය කිරීමයි.

කෘෂිකර්මය සම්බන්ධයෙන් පවතිනවා ය කියන මෙම රාජ්‍ය ආයතන සපයන සේවාවන් වැඩිපුර ම ලැබෙන්නේත් මහජන මුදලින් යැපීම පිණිස ම වී ගොවිතැනේ එල්ලී සිටින ග්‍රාමීය දිළින්දන්ටයි. මේ ග්‍රාමීය දිළින්දන් අඩු තරමේ දිළිඳුකමෙන් එගොඩවීමවත් සිදු වන්නේ නැහැ.

මේ අතරවාරයේ රජයේ උපකාර බලාපොරොත්තු නොවී වෙළඳපොළ මත පදනම්ව කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට මේ අමාත්‍යාංශයේ තියෙන අදාළකම මොකක් ද? පසුගිය දිනවල වට්ටක්කා ගොවීන් අමාරුවේ වැටුණු වෙලාවේ ඔවුන්ට අතදෙන්නට කාගිල්ස් සමාගම කළ දේවත් කරන්නට රජයට පුළුවන් වුණා ද? ගොවීන් මේ වගේ අමාරුවේ වැටීම්වලට ලක් වන්නෙ වෙළඳපොළ ප්‍රවණතා නිරීක්ෂණය කරමින් ඔවුන් නියාමනය කරන්නට කිසිවෙකු නැති නිසා. ඒවා තමයි රජය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කරනවා නම් කළ යුතු වැඩ.

ඊටත් වඩා ක්ෂේත්‍රයට මැදිහත් වෙන්නට අවශ්‍ය නම් ඕනෑ නම් ශීතාගාර වැනි පහසුකම් පිහිටුවන්නට කටයුතු කරන්නට පුළුවන්. මා හිතන්නෙ කෘෂිකර්ම අමාත්‍යාංශෙ බිල්ඩිමට ගෙවන කුලිය නතර වෙනවා නම් මාස දෙක තුනකට සැරයක් ඒ වගේ ශීතාගාරයක් කොහේ හරි විවෘත කරන්නට පුළුවන්.

පසු අස්වනු හානි අවම කර ගැනීම, ආහාර සංරක්ෂණය, ව්‍යාප්ති සේවා, වෙළඳපොළ නියාමනය, පර්යේෂණ වැනි රජයට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මැදිහත් විය හැකි බොහෝ අංශ තිබුණත්, අද වන විට ප්‍රමුඛ වී තිබෙන්නේ හෙළ බොජුන්හල් පිහිටුවීම වැනි දේ ය.

ගමනක් යන එන ගමන් අඩු මිළට ලාභ කෑමක් කන්නට ඒ තැන් හොඳ ය. එසේ ම, ඒ ස්ථාන නිසා කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් බලසතු වී ඇති බව ද ඇත්තකි. එහෙත්, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කරන්නට බොහෝ දේ තිබියදී, ඒවා නො කර, කරන බොරු වැඩ අගය කළ යුතු නැත.

රාජගිරියේ බිල්ඩිම පමණක් නොව, කෘෂිකර්ම අමාත්‍යාංශ සියල්ල ම වසා දමා, ඇමතිලාගේ සිට සියලු නිලධාරීන් ගෙදර යැව්වත්, මේ රටේ කෘෂිකර්මාන්තයට විශේෂ නරකක් වන්නේ නැත.

එයට විරුද්ධව යම් තර්ක ඉදිරිපත් කළ හැකි බව මා පිළි ගන්නවා. කෘෂි පර්යේෂණ හා පුහුණු ආයතනවලින් සපයන සේවා ලබා ගන්නට ගොවීන් නොපැමිණීම එකක්. හැබැයි, එයට ගොවීන්ට දොස් තබන එක තේරුමක් නැහැ. වරද තිබෙන්නෙ ඒ තැන්වලම යි. මූලිකව ම ගොවීන්ට ඒ තැන්වලින් සේවාවක් ලැබෙනු ඇතැයි විශ්වාසයක් නැහැ. කුඹුරු ඉඩම් ගොඩ කිරීම අවම වෙන්න එහෙම හේතුව ඔය කෘෂි නියාමකවරුන් වගේ නිලධාරීන් බවත් ඇත්ත. සුළු වාරිමාර්ග නඩත්තුව වැනි වැඩත් ඔවුන් කරන බව ඇත්ත. ඒත්, රාජගිරියෙ අර බිල්ඩිම මූලස්ථානය කර ගන්නට තරම් කරන වැඩේ මොකක් ද?

අවසාන වශයෙන් අප නැවත නැවතත් කියන්නේ අනෙක් සියල්ල හරහට මෙන් ම කෘෂිකර්මාන්තය හරහටත් වැටී තිබෙන උදැල්ල රජය ම බවයි. මේ නිලධාරීන්, දේශපාලකයන් හුරතල් කිරීම නැවැත්විය යුතු ය. “වැඩ කරනු!” යි කීම පමණක් සෑහෙන්නේ නැති තැනකට දැන් රට ගමන් කරමින් තිබේ.

දැන් කළ යුතුව තිබෙන්නේ මේ සුදු අලියා තව තවත් නිලධාරීන්ගෙන් තර කිරීම නොව, පළමුව එය කාර්යක්ෂම කිරීමයි. අපේ බදු මුදලින් උන්ට ජවුසන් නටන්නට දුන් කාලය අවසන් කළ යුතු ය.

Please follow and like us:

One thought on “යහපාලන කුසිකර්මයේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන රාජගිරියේ බිල්ඩිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *