යුද සමයේ වැරදි සම්බන්ධයෙන් පොදු සමාවක්

මේ සමාව කාටත්

යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ටත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා යුද සමයේ ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍ර‍දානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවට ජාතික හෙළ උරුමය විසින් කර තිබෙන ඉල්ලීම ඉතාම කාලෝචිත හා ප්‍ර‍ගතිශීලී ඉල්ලීමක් ලෙස සලකමින් අගය කරන්නෙමු.

අතුරුදහන් වූවන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවීමට මේ වන විට විශේෂ කාර්යාලයක් ස්ථාපිත කර තිබේ. එමගින් සහන හා හානිපූරණ ක්‍රියාමාර්ග සඳහා මූලික පියවර ගෙන තිබේ. එහෙත්, දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් දිය හැක්කේ පොදු සමාවක් ඔසේ පමණි. අප ඒ සම්බන්ධයෙන් අරගල කරන්නේ කලක සිට ය. පහත දැක්වෙන්නේ අප 2016 ඔක්තෝබරයේදී තැබූ සටහනකි. (අදාළ ලිපිය මෙතැනින්)

මිලිටරිකරණය සමස්ත සමාජ දේහය පුරා ම පැතිරුණු සංකීර්ණ ප්‍ර‍ශ්නයකි. හුදු සටන් පාඨවලින් මිලිටරිහරණය සිදු කළ නො හැකි ය. එසේම, එය දෙමළ ජනයාගේ ප්‍ර‍ශ්නයක් ලෙස පමණක් සැලකීම ද උවමනාවට වඩා සරලමතික තර්කයකි. මිලිටරිකරණයේ ගොදුරු බවට පත් වන්නේ පීඩිතයන් පමණක් නො වේ. පීඩකයන්ට ද මිලිටරිකරණය පීඩාවකි. සියලු දේශපාලන වෙනස්කම් අතර, මිලිටරිහරණය යනු ඉතා ඉවසිලිවන්තව කළ යුතු කාර්යයකි.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නය ද හුදෙක් දෙමළ ප්‍ර‍ශ්නයක් පමණක් නො වේ. 1989 කැරැල්ල සමයේ එය සිංහල ජනතාවගේ ප්‍ර‍ශ්නයක් විය. වර්තමානයේදී ද කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය දෙමළ ප්‍ර‍ශ්නයකට ලඝු කළ නො හැකි ය. එසේ ම, යුද සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සිර ගත වන්නට සිදු වූ දෙමළ ජාතිකයන් දෙස මෙන් ම, සිංහල ජාතිකයන් ස්වල්ප දෙනා දෙස ද බලන විට දැකිය හැකි කරුණක් වන්නේ දෙපාර්ශ්වයේ ම තෝරුන් හා මෝරුන් දැල් ඉරාගෙන ගොස් තිබියදී නීතියෙහි දැලේ පැටලී ඇත්තේ හාල්මැස්සන් බවයි. කරුණා, කේපී, ගෝඨා, මහින්ද වැනි දේශපාලන නායකයන් භුක්ති විඳින මුක්තිය නීතියෙන් වැරදිකරුවන් වූ සෙසු අයට ද දිනා ගත හැක්කේ පොදු සමාවක් වෙනුවෙන් කරන අරගලයකිනි. දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ දිනා ගැනීමේ සැබෑ උවමනාවක් ඇතිව ද යන්න පැහැදිලි නැත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි නීති සංශෝධනය කළ යුතු ය. එහෙත්, ඒවා එක රැයින් කළ හැකි දේ නො වේ. පවත්නා සංදර්භය තුළ ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම කළ නො හැකි ය. කළ හැක්කේ සංශෝධනය කිරීමයි.

අතුරුදහන් වූවන් හා දේශපාලන සිරකරුවන් පාවිච්චි කරමින් තම දේශපාලන හා ව්‍යාපාරික අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන්නන්ට එය විසඳුම් අවශ්‍ය ප්‍ර‍ශ්නයක් නොවේ. එහෙත්, අතුරුදහන් වූවන්ගේ පවුල්වලට අවශ්‍ය වන්නේ සිය ප්‍රියයන්ට වූ දේ දැනගැනීම, මරණ සහතික හා හානිපූරණයන් ය. එසේම, එවැනි දේ නැවත සිදු නොවන වාතාවරණයක් නිර්මාණය කරගැනීම ද වැදගත් ය.

දේශපාලන සිරකරුවන්ගේ ප්‍ර‍ශ්නය ඊට වඩා සංකීර්ණ ය. යුද්ධයට නියමින් හා අනියමින් සහභාගි වූ සෑම පාර්ශ්වයක් ම නීති විරෝධී අන්දමින් කටයුතු කළ ය. ඍජුව යුදවැදුණු පිරිස් පමණක් නොව මාධ්‍යකරුවන් පවා සාපරාධී වැරදි කළ හ. මේ වැරදිකරුවන් අතරින් ඇතැමෙකුගේ වැරදි රජය විසින් නොතකා හරින ලදී. රජයේ හමුදාවලට අමතරව කරුණා, කේපී වැනි කොටි නායකයෝ ද ඒ අතර සිටිති. තවත් ඇතැමෙකු පුනරුත්ථාපනය කර නිදහස් කරන ලදී. තවත් පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අතරින් පිරිසකට දඬුවම් පමුණුවා හමාර ය. ඒ අතර හමුදා සෙබළු ද සිටිති.

අවසානයේදී සිරකරුවන්ට අවශ්‍ය නිදහසයි. මෙයට විසඳුම් සෙවිය හැක්කේ සාකල්‍ය ප්‍රවේශයකින් පමණි. සිංහල ජාතිවාදීන් කියන පරිදි හමුදා අතින් කිසිදු වරදක් වී නැති බව හා වැරදි කළේ කොටින් පමණක් ය යන්න කිසිවකු පිළිගන්නේ නැත. එපරිද්දෙන් ම දෙමළ ජාතිවාදීන්ට අවශ්‍ය පරිදි හමුදා සම්බන්ධයෙන් පමණක් ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්නටත්, සියලු දෙමළ දේශපාලන සිරකරුවන් පමණක් නිදහස් කරන්නටත් බැරි ය.

කළ හැකි වඩාත් ප්‍රායෝගික දෙය වන්නේ සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබාදීමයි. එසේම, යුද වකවානුවේදී සිදු වූ යුද්ධය හා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් පොදු සමාවක් පිරිනැමිය හැකි ය. යුද්ධය හා සම්බන්ධව සිදු වුණු අපරාධ සහ වෙනත් අරමුණු මත සිදුකරන ලද අපරාධ අතර වෙනස විග්‍ර‍හ කරගැනීම ද මෙහිදී අත්‍යවශ්‍ය ය. මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විසින් ඉතා වැදගත් ක්‍ර‍මවේදයක් යෝජනා කර තිබේ. ඒ අනුව, නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍ර‍ධානත්වයෙන් පත් කරන ලද කමිටුවක් මගින් යුද සමයේ වූ අපරාධ යුදමය අභිමතාර්ථ සාධනයේදී ඇති වූ දේවල් ද, නැතිනම් පෞද්ගලික අභිමතාර්ථ සාධනයේදී වූ දේවල් ද යන්න වෙන් කර හඳුනාගනු ඇත. මෙය ද ඉතා සරල කාර්යයක් නොවේ. යුදමය අරමුණු මෙන් ම පෞද්ගලික අභිමතාර්ථ ද එකට මුසු වූ අපරාධ රැසක් සිදු වී තිබේ.

කෙසේ වෙතත්, යුද සමයේ බොහෝ අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි ප්‍ර‍මාණවත් නැත. සැකයකින් තොරව අපරාධ චෝදනා ඔප්පු කිරීම පහසු නැත. දෙමළ විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවට චෝදනා ලබන සැකකරුවන්ට එරෙහි බොහෝ නඩු ඔප්පු කිරීම සඳහා යොදා ගන්නා ප්‍ර‍ධාන ම සාක්ෂිය වන්නේ විත්තිකරුවා විසින් කරන ලද පාපොච්චාරණයයි. මෙම පාපොච්චාරණ බොහෝ විට ස්වයංව සිදු කරන ලද ඒවාට වඩා බලෙන් හෝ රැවටීමෙන් ලබාගත් ඒවා ය. පාපොච්චාරණයක් ලබාගැනීම යන්න අද වන විට සුලබව භාවිතා වන යෙදුමකි. තත්වයෙහි බරපතලකම එම යෙදුමෙන් ම නිරූපණය වේ. පාපොච්චාරණ යනු කරන දෙයක් මිස ලබාගත යුතු දෙයක් නොවේ.

මේ වන විටත් යුද්ධය අවසන් වී දශකයකට ආසන්න කාලයක් ගෙවී හමාර ය. මේ වන විටත් බොහෝ සාක්ෂි විනාශ වී අවසන් ය. යුද අපරාධ චෝදනාවන්ගෙන් අවසානයේදී ලංකාවට ඉතිරි වී තිබෙන්නේ ජාත්‍යන්තරයට අපට තරවටු කරන්නට යොදාගත හැකි කෙවිටක් පමණි.මේ තත්වය සිංහල ජාතික ව්‍යාපාරය විසින් යම් දුරකට තේරුම් ගෙන තිබෙන බව ජාතික හෙළ උරුමයේ ස්ථාවරයෙන් පෙනේ. දෙමළ ජාතික ව්‍යාපාර ද මේ සම්බන්ධයෙන් නම්‍යශීලී විය යුතු ය. එම නම්‍යශීලිත්වයෙන් සහන දිනාගැනීමට හැකි පිරිස අතර දෙමළ දේශපාලන සිරකරුවන් රැසක් සිටින බව ඔවුන් අමතක නොකළ යුතු ය.

1989 කැරැල්ල සම්බන්ධයෙන් විධිමත් අන්දමින් නොවුණත්, ප්‍රායෝගික භාවිතාව තුළින් මෙවැනි පොදු සමාවක් ප්‍ර‍කාශයට පත් විය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *