රංගජීවලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැදගත් ඇයි?

Sunil Rathnayaka
මිරුසුවිල් ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ යුද හමුදාවේ සේවය කළ සුනිල් රත්නායක

2012 නොවැම්බරයේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් 27දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් ළමාහේවගේ සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට ගැනීම ඉතා වැදගත් සිදුවීමකි.

ශ්‍රී ලංකා බන්ධනාගාර හා පුනරුත්ථාපන කඳවුරු ඉතිහාසයේ සිරකරුවන් ඝාතන සිදුවීම් ගණනාවක් ම වාර්තා විය. 1983 ජුලි 27, 28 දිනවලදී වැලිකඩ සිරගෙදර ම දෙමළ සිරකරුවන් 52ක් ඝාතනය කරන ලදී. එය බන්ධනාගාර බලධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදු වූ බව කුප්‍රකට ය. ඉතාලි ගුවන් යානයක් පැහැර ගැනීම සම්බන්ධයෙන් ඒ වන විට සිරගතව සිටි සේපාල ඒකනායක එම ඝාතන කළ අයෙකු බව ඇතැම් අය කියති. එහෙත්, ඒ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ සිදු වී නැත.

2000 වසරේ ඔක්තෝබර් 24දා බණ්ඩාරවෙල බිඳුනුවැවදී පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණ දෙමළ සිරකරුවන් 27ක් මරා දමන ලදී. ගම්වාසීන් විසින් සිදු කරන ලද මෙම ඝාතනයට ද බලධාරීන්ගේ අනුග්‍රහය ලැබිණි. එහිදී ද නිසි විමර්ශනයක් හෝ වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමක් සිදු වූයේ නැත.

අයුතු ජන රාශි විසින් සිදු කරන මෙවැනි මරණවල වැරදිකරුවන් නො තකා හැරීමේ ප්‍රවණතාව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වය වී තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සම්බන්ධ ශිෂ්‍ය මොබ් එකක් විසින් මරා දමන ලද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රැග් විරෝධී සිසුවකු වන ඕවිටිගල විතානගේ සමන්තගේ මරණය සම්බන්ධයෙන් තවමත් වැරදිකරුවන්ට එරෙහිව යුක්තිය ඉටු වුණේ නැත.

මෑත වකවානුවේ මෙවැනි මොබ් ඝාතනයක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු වූ කැපී පෙනෙන අවස්ථාවක් වන්නේ 2013දී සිදු වූ දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා වධ දී ඝාතනය කිරීමයි. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී.

අයුතු ජන රාශි විසින් කරනු ලබන ඝාතන, පොලිසිය විසින් කරනු ලබන ඝාතන සහ බන්ධනාගාර තුළ සිදු වන සිරකරු ඝාතන සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක නො කිරීම එවැනි ඝාතන දිරිගන්වනසුළු තත්වයක් ඇති කළේ ය.

2015 ජනවාරි 8 වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් අනතුරුව මෙවැනි අපරාධ සම්බන්ධයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා දීම සහ ඒ සම්බන්ධ විමර්ශන සිතා මතා වැළැක්වීම යම් පාලනයකට ලක් විය. එහෙත්, 2012 නොවැම්බර් වැලිකඩ සමූහ ඝාතනය වැනි සිදුවීම් සම්බන්ධයෙන් වත්මන් පාලනය තුළදී පවා නීතිය ක්‍රියාත්මක වූයේ අතිශය මන්දගාමීව ය. මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිසිය හා අදාළ වෙනත් බලධාරීන් ක්‍රියාත්මක වන්නේ අතිශය මන්දගාමීව ය. ඒ පසුපස ඇත්තේ තමන්ගේ වර්ගයා රැක ගැනීමේ අභිලාෂයයි. හැම විට ම මෙවැනි පරීක්ෂණ ඉදිරියට යාම සඳහා රජයේ නිලධාරීහු දේශපාලන ජවයක් අපේක්ෂා කරති. එවැන්නක් නැති විට ලිපි ගොනු යට ගසති. නැතිනම් මේවාට අමුතු දේශපාලන මැදිහත් වීම් අත්‍යවශ්‍ය නැත.

පොලිස් පරීක්ෂක රංගජීව සම්බන්ධයෙන් ඇතැම් අය පවසන්නේ ඔහු දක්ෂ නිලධාරියකු බවයි. විශේෂයෙන් ම මත් ද්‍රව්‍ය සම්බන්ධ මෙහෙයුම්වලදී ඔහුගේ නම කැපී පෙනිණි. මත්ද්‍රව්‍ය සම්බන්ධ පාතාලය විසින් ඔහුට වෙඩි තබා දරුණු අන්දමින් තුවාල ද සිදු කළේ ය. ඔහු මරණයෙන් ගැලවුණේ අනූ නමයෙනි. එහෙත් ඒ කිසිවක් නීති විරෝධී ක්‍රියා සිදු කිරීමට හෝ සමූහ ඝාතන වැනි බරපතල අපරාධ වසන් කිරීමට බලපත්‍රයක් වන්නේ නැත.

2012 නොවැම්බර් වැලිකඩ ඝාතනය යනු රංගජීව වැනි පහළ පොලිස් නිලධාරීන්ට හිතු මනාපෙට කළ හැකි දෙයක් නො වේ. මේ සම්බන්ධ තීරණ ගැනීමේ ක්‍රියාවලියට තව බොහෝ ලොකු ලොක්කන් සම්බන්ධ වන්නට ඇත. අවසානයේදී රංගජීව පිට තබා ඔවුන් සිය පව් සෝදා ගන්නට ඉඩ තිබේ. එම තත්වය වෙනස් කළ හැක්කේ මෙවැනි මරාලවලට උර දීමේදී පරිස්සම් වීමට නිලධාරීන් පෙළඹීමෙනි.

2000 වසරේ දෙසැම්බරයේදී යාපනයේ මිරුසුවිල්හි සිදු වූ අට පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අවසානයේදී වැරදිකරු වූයේ මිනිසුන් කැපූ කෙටූ බවට සාක්කි තිබුණු පුද්ගලයා වූ සාජන් සුනිල් රත්නායක පමණි. අණ දුන්නෝ ඔහු පාවා දී බේරුණ හ.

නිල ඇඳුම් ඇඳි සොරකු සහ ඝාතකයකු වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ද අවසානයේදී මරණීය දණ්ඩනයට ලක් වූයේ ඔහු විසින් කරන ලද ඝාතනයකට කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා රජයේ සාක්කිකරුවකු වී නිදහස ලබද්දී ය. වාස් ගුණවර්ධන බලාපොරොත්තු වූ දේශපාලන හයිය ඔහුට ලැබුණේ නැත.

මෙවැනි නිලධාරීන් බලාපොරොත්තු වන්නේ තම කෘර ආශාවන් සංතෘප්ත කර ගන්නට, මුදල් හා තනතුරු වෙනුවෙන් කරනු ලබන ඝාතන සම්බන්ධයෙන් තමන්ට රජයෙන් හා ආණ්ඩුවෙන් රැකවරණය ලබා ගත හැකි ය කියා ය. තම කෘර ආශාවන් ආවරණය කර ගැනීම සඳහා ඔවුන් මුවා වන්නේ දේශප්‍රේමය, පාතාල මර්දනය, මත්ද්‍රව්‍ය මර්දනය වැනි දේවලට ය. එහෙම නැතිනම් දේශපාලනයට ය.

මෙවැනි නිලධාරීන්ට පාඩම් ඉගැන්වීම තව පිරිසක් එම තත්වයට පත් වීම වැළැක්වීමට ඉවහල් වේ. එහෙත්, මෙය ද පාතාලය වැනි ම තත්වයකි. කෘර ආශාවන් ඇති පුද්ගලයන් හෙට ද මෙවැනි ක්‍රියාවලට පෙළඹෙනු ඇත. සමාජයක් ලෙස අප කළ යුත්තේ නීතිය ක්‍රියාත්මක නො වන තත්වයක් පැවතීම වැළැක්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වීමයි.

Please follow and like us:

3 thoughts on “රංගජීවලාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැදගත් ඇයි?

  1. පැරාගේ ජොබ් එකට සොරි වෙයි වගේ! පැරාට ගුවන් විදුලියයි රෑපවාහිනියයි දෙක ම දීලත් වැඩක් කළේ නැහැනේ. දැන් වෙනසක් අවශ්‍ය යි. පැරා අවුල් වෙන්න එපා මෙයා…

    https://www.facebook.com/lankaenews/posts/1820359014695922

  2. පරණ පොලිස් ඇමති සාගල රත්නායක ගිය පසු පැමිණි අලුත් පොලිස් ඇමති ටිකක් තදේට ඉන්න පාටයි වගේ. එහෙමත් නැත්තම් පළාත් පාලන චන්දෙන් ආණ්ඩුව පාඩමක් ඉගෙන ගෙනද?

    sudukukula.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *