රත්මලාන ගුවන් තොටුපළ වරාය නගරයේ ගුවන් තොටුපළ වෙන්නට යයි

2030 වසර වන විට කොළඹ නගරයට පිවිසෙන සුවිශේෂ පිවිසුම බවට රත්මලාන ගුවන් තොටුපළ පත් කිරීමේ සැලැස්මක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙම සැලැස්ම ක්‍රියාත්මක වන්නේ කොළඹ වරාය නගරය හා සම්බන්ධ ඉහළ පෙළේ ජාත්‍යන්තර ව්‍යාපාරිකයන්ට පහසු ප්‍රවේශය ලබා දීමේ අරමුණ සහිතව බව වාර්තා වේ. වරාය නගරයට කිලෝමීටර් 20කට අඩු දුරකින් මෙම ගුවන් තොටුපළ පිහිටා තිබේ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට වරාය නගරයට කිලෝමීටර් 32ක් තිබේ.

ගාලු පාර හා සමාන්තරව දිවෙන මැරීන් ඩ්‍ර‍යිව් වෙරළ මාර්ගය සංවර්ධනය කිරීමට දැනටමත් රජය තීරණය කර තිබේ. දැනට මෙම මාර්ගය ඇත්තේ දෙහිවල සිට කොල්ලුපිටිය දුම්රිය නැවතුම්පොළ දක්වා පමණි. කොල්ලුපිටිය සිට වරාය නගරය දක්වා උමං මාර්ගයක් ඉදිකිරීමට ශක්‍යතා අධ්‍යයනයක් දැනට සිදු වෙමින් තිබේ. එහිදී ගෝල්ෆේස් පිටියේ හා හෝටලයේ සුන්දරත්වයට හානි නො වන පරිදි එය සිදු කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. මෙම මාර්ගය කොළඹට උතුරින් කැලණි පාලමේ සිට කණු මත ඉදි වීමට නියමිත මාර්ගයකට සම්බන්ධ වනු ඇත.

කෙසේ වෙතත්, මැරීන් ඩ්‍ර‍යිව් දකුණු දෙසට සංවර්ධනය කිරීම දෙහිවල ප්‍රදේශයේ ඉදිකිරීම් නිසා නතර වී තිබේ. මෙම මාර්ගය මොරටුව දක්වා ම කඩින් කඩ දැකිය හැකි ය. අන්තර් සම්බන්ධතා ඇති කරමින් එය පහසුවෙන් සංවර්ධනය කළ හැකි ය.

සංවර්ධන සැලැස්ම යටතේ රත්මලාන ගුවන් තොටුපළ සමාගම් ගුවන් යානා මෙහෙයුම්, දේශීය ගුවන් ගමන් මධ්‍යස්ථානයක්, කලාපීය ගුවන් පුහුණු මධ්‍යස්ථානයක්, මෙහෙයුම් හා නඩත්තු මධ්‍යස්ථානයක් ලෙස ද සංවර්ධනය කිරීමට නියමිත ය.

ශ්‍රී ලංකාවේ දැනට ද ලියාපදිංචි දේශීය ගුවන් ගමන් සේවා සමාගම් 15ක් තිබේ. රත්මලාන ගුවන් තොටුපළ සමාගම් දහයකට හැඟර් හෙවත් ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් ද සපයයි. දැනට එම ගුවන් තොටුපළ විසින් දිනකට ගුවන් ගමන් වාර 70ක් පමණ මෙහෙයවනු ලැබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *