රාජපක්ෂ ක්‍රමය යනු කුමක් ද? එය පැරදවිය යුත්තේ ඇයි?

– අජිත් පැරකුම් ජයසිංහ (අනිද්දා පුවත්පත 2018-12-02)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ අතර ඇති වූ කුමන්ත්‍රණකාරී ප්‍රතිසංවිධානය මගින් දියත් කරන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට මේ වන විට මාසයක් ගත වී තිබේ. බහුතර සහයෝගය නොමැති ආණ්ඩුව මෙම සටහන තබන මොහොත වන විට පාර්ලිමේන්තුව වර්ජනය කරමින් කැළෑ වැදී තිබේ. පාලනය අස්ථාවර තත්වයට පත් වී තිබෙන අතර එය අමාරුවෙන් තුලනය කරගෙන පවත්වාගෙන යන ලද ආර්ථිකයට මරු පහරක් එල්ල කර තිබේ. පසුගිය මාසයක ආර්ථික හානියෙන් මේ රටට ගොඩ ඒමට සැලකිය යුතු කාලයක් ගත වනු ඇත.

නිදසුන් ලෙස, මූඩි ණය දර්ශකය විසින් ශ්‍රී ලංකාව පහළ මට්ටමක ශ්‍රේණිගත කිරීම ණය ලබාගැනීමේදී බරපතල ගැටලු ඇති කරයි. සහන පොළී මත විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබා දෙන ලද ණය වාරිකය නවතා තිබේ. විදේශ සංචිත දුර්වල වීම ශ්‍රී ලංකාවේ ණය ලබාගැනීමේ හැකියාවට දැඩි ලෙස බලපාන අතර මුල්‍ය වෙළඳපොළෙන් ඉහළ පොළියට ණය ලබාගැනීමේ විකල්ප වෙත ඊනියා ආණ්ඩුව දැනටමත් යොමු වී තිබේ. එක්සත් ජනපදය, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකාව සමග ගිවිසගැනීමට නියමිතව තිබූ සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවා තිබේ. යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කර තිබේ. කොටස් වෙළඳපොළෙන් හා බැඳුම්කර ද්විතීයක වෙළඳපොළෙන් විදේශ ආයෝජන විශාල වශයෙන් ඉවත් කරගනිමින් තිබේ. සංචාරක වාරය උපරිම තලයට පිවිසෙමින් තිබියදී සංචාරක වෙන් කරගැනීම් අවලංගු කරමින් තිබේ.

මේ සියල්ලම මැද පවා බලලෝභී ලෙස හා පෞද්ගලික ගැටලු ඉදිරියට දමමින් ජනාධිපති සිරිසේන හා මහින්ද රාජපක්ෂ කටයුතු කරන ආකාරය දැකිය හැකි ය. මෙම තත්වය විසින් එක පැත්තකින් ජනාධිපති සිරිසේන හා ඔහු නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනික වශයෙන් විනාශයේ මුවවිටට ම තල්ලු වී ගොසිනි. අනෙක් පැත්තෙන් රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ දේශපාලන පක්ෂය වන පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් නිර්මාණය වී තිබූ බලාපොරොත්තුවල හිස්බව ද හෙළිදරව් වෙමින් තිබේ.

මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය දෙනු ලබන දේශපාලනය වනාහි හුදු පවුල්වාදයකට ලඝු කළ නොහැකි දෙයකි. එය දේශපාලන ධාරාවකට පමණක් ලඝු කරන්නට ද බැරි ය. එය දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික දේහය වසා පැතිරෙන ආගමික ස්වරූපයක් ගත් දෘෂ්ටිවාදයකි. අප එය හඳුන්වන්නේ රාජපක්ෂවාදය හෝ රාජපක්ෂ ක්‍රමය හෝ ලෙසයි. අප එය නිවැරදිව විග්‍රහ කර ගත යුතු ය. එය ධනවාදය, ෆැසිස්ට්වාදය, නව ලිබරල්වාදය, බටහිර විරෝධය, මුස්ලිම් විරෝධය, සිංහල ජාතිවාදය, සිංහල-බෞද්ධ ආගම්වාදය, ගොවිගම කුලවාදය, පුරුෂෝත්තමවාදය වැනි දෘෂ්ටිවාදයන් රැසක් රැසක් ඒකරාශී කරගෙන ගොඩනැගෙන අනන්‍ය දෘෂ්ටිවාදයක් ලෙස සැලකීමේ වරදක් නැත.

රාජපක්ෂවරුන්ගේ හා ඔවුන්ගේ අනුගාමිකයන්ගේ භාවිතාව තුළින් රාජපක්ෂවාදය සරලව තේරුම් ගත හැකි ය. නිදසුනක් ලෙස, බැසිල් රාජපක්ෂ ප්‍රසිද්ධ වී තිබෙන්නේ මන්ත්‍රීවරුන්, නිලධාරීන්, විනිසුරුවරුන්, ව්‍යාපාරිකයන් වැනි ඕනෑම කෙනෙකු මිළ දී ගත හැකි අපූරු තැරැව්කරුවකු ලෙස ය. එය රාජපක්ෂවාදයේ බල ව්‍යාපෘතියේ මූලික ලක්ෂණයකි. එසේ ම, එසේ විකිණුන පුද්ගලයන්ට හෘදය සාක්ෂියක් නොපැවතීම ද, ඔවුන් රාජපක්ෂවරුන් කියන ඕනෑම දෙයක් අනුමත කරන්නන් බවට පත් වීම ද, රාජපක්ෂ අනුගාමිකයන්ගේ සිට ඡන්දදායකයන් දක්වා ම තර්ක බුද්ධිය වළලා දැමූ අන්ධ ඇදහිලිවන්තයන් වීම ද රාජපක්ෂවාදයේ ලක්ෂණයි.

මේ මොහොතේ රාජපක්ෂවාදයේ නැගීම මූලිකව ම පදනම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි දක්වන නුරුස්නාබව සහ ඒකාධිපතිවාදයක් ඔස්සේ ලංකාවට ගොඩ යාමට පාරක් සොයාගත හැකි ය යන අන්ධ විශ්වාසය මත ය. එකී අන්ධ විශ්වාසය හැරෙන්නට වෙනත් කිසිදු ආකාරයක රට ගොඩනැගීමේ වැඩපිළිවෙලක් රාජපක්ෂවරුන්ට නැති බව පසුගිය මාසයක කාලය තුළ සක්සුදක් සේ ඔප්පු විය. මූලික වශයෙන් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල රාජ්‍ය කේන්ද්‍රීය ධනවාදයකි. එහිදී ඔවුන් තම ධනෝපායන මාර්ග කේන්ද්‍රගත කරන්නේ ම රජයට ය. එක පැත්තකින් රජයෙන් අති විශාල වැටුප්, වරප්‍රසාද හා විශාල රාජ්‍ය ධනයක් හැසිරවීමේ බලය තමන් අතට ගන්නා ඔවුන් අනෙක් පැත්තෙන් රජය සමග කොන්ත්‍රාත් හසුරුවමින් එයින් විශාල වශයෙන් කොමිස් ලබාගනිති. මෙම මුදල් නිර්ලෝභී අන්දමින් තම ප්‍රතිරූප ගොඩනැංවීමේ හා ප්‍රචාරණ ව්‍යාපෘති වෙනුවෙන් ද, තමන්ට පක්ෂ සංවිධාන ගොඩනගාගැනීම වෙනුවෙන් ද වැය කරති. ඒ තුළ සිදු වන අති විශාල නාස්තිය පිළිබඳ ඔවුන්ගේ සැලකිල්ලක් නැත. තම වාසිය වෙනුවෙන් දැවැන්ත රජයක් ගොඩනැගීම රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණයකි. උදාහරණයක් ලෙස තමන් වෙනුවෙන් දේශපාලන කටයුතුවලට යොදාගැනීම සඳහා ම ඔවුන් විසින් සමෘද්ධි නිලධාරි බලකායක් නිර්මාණය කරගන්නා ලදී. විමල් වීරවංශ පසුගියදා සමෘද්ධි විෂය භාර ඇමති ධුරයට පත් වූ හැටියේ ම පවා ඔහු කළේ මේ සමෘද්ධි බලකාය ශක්තිමත් කරගැනීමයි. රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය රජයට පවරා ගන්නා ලදී. මිහින් එයා නමින් තවත් ගුවන් සේවාවක් ආරම්භ කරන ලදී. තම ඥාති හිතවතුන් ඒවායේ ඉහළ නිලධාරී තනතුරු සඳහා පත් කර ඉහළ වැටුප් හා වරප්‍රසාද ලබා දෙන ලද අතර මිළ දී ගැනීම් හරහා ද දැවැන්ත දූෂණ කරන ලදී.

රාජපක්ෂවාදය මත පදනම් වන රාජපක්ෂ ක්‍රමයේ මූලික ම ආර්ථික ගැටලුව නිර්මාණය කරන්නේ ද මෙම දැවැන්ත රජය විසිනි. වැඩ නොකරන අති විශාල පිරිසක් විසින් සාරය උරා බොනු ලබන රජය නඩත්තු කිරීම සඳහා අතිවිශාල බදු බරකට මුහුණ දීමට වැඩ කරන ජනතාවට හා ව්‍යවසායකයන්ට සිදු වේ. මේ රජය පවත්වාගෙන යාම සාධාරණීකරණය සඳහා ඔවුන් රටට ඔරොත්තු නොදෙන තරමේ, ඇස් ගිනිකණ වට්ටන මෙගා සංවර්ධන ව්‍යාපෘති වෙත යොමු වෙති. ඒ වෙනුවෙන් අති විශාල වශයෙන් විදෙස් ණය ලබාගැනීමට ද, ඒ ණයට ගෙවීමට සිදු වන පොළිය හා අනාගතයේ ඒ ණය ගෙවන ආකාරය ගැන නොසිතා සිටීමට ද ඔවුන්ට පුළුවන. රජය යනු මහජන සේවය සඳහා පවත්වාගෙන යන, රටට සෞභාග්‍යය උදා කරන, ඒ අන්දමින් ම රැකගත යුතු දෙයක් ය යන ව්‍යාජය ඔවුහු සමාජය තුළ නිර්මාණය කරති. එය විඥානයක් ලෙස කෙතරම් සමාජ දේහය පුරා පැතිරී තිබේ ද යත්, අද වන විට රජය පවත්නා සැටියෙන් ආරක්ෂා කරගැනීම සඳහා දිවි හිමියෙන් පෙනී සිටින්නේ වාමාංශිකයන් සහ විප්ලවවාදීනුයි.

රජය මූලික කරගත් ආර්ථිකය එතනට සීමාවෙන්නේ නැත. එය සමාජ විඥානයක් බවට ද පත් වේ. සමාජයේ ජීවන පරමාදර්ශ නිර්මාණය වන්නේ රජය හා එහි කළමනාකරුවන් වන දේශපාලකයන්, නිලධාරීන් හා රජයේ සේවකයන්ගේ ජීවන විලාසය අනුවයි. අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ලැබීම, මහජන මුදලින් විදෙස් චාරිකාවේ සිට දුම්රිය සීසන් ටිකට්ටුව දක්වා වරප්‍රසාද ලබාගැනීම, සෙසු වැඩකරන ජනයාට අහිමි විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාගැනීම ආදිය අනුව ගොඩනගාගන්නා ශ්‍රමය පිළිබඳ මූලික ආකල්ප රාජපක්ෂ ක්‍රමයේ මූලික ලක්ෂණයි. ඉක්මණින් හා පහසුවෙන් සල්ලි හෙවීමට නම් රජය සමග සම්බන්ධ විය යුතු ය. දේශපාලකයකු, දොස්තර කෙනෙකු විය යුතු ය. කය, මනස මෙහෙයවා වැඩ කිරීම කාලකණ්ණිකමකි.

රාජපක්ෂ ක්‍රමයේ වින්දනීය අක්ෂය සරල විනෝදාස්වාදයක් මත පදනම් වේ. ඔක්ටොපෑඩය මූලික කරගත් රාත්‍රී සංගීත සංදර්ශනවල සිට කඨින පෙරහැර දක්වා වන චොකා බයිලා සංදර්ශන හැර ගැඹුරු රසවින්දනයක් රාජපක්ෂ සංස්කෘතියේ නැත. උසස් කලාව හා රසාස්වාදය රාජපක්ෂ සංස්කෘතියට අරහන් ය. එහි හිස්බව වසාගන්නේ ජාතිවාදයේ හා ආගම්වාදයේ දීප්තිමත් වර්ණ යෙදූ ඝන අයිසිං තට්ටුවකිනි. එතනින් එහාට රාජපක්ෂ ක්‍රමය වන්නේ අධික පාරිභෝජනයයි. නිරුවත් භාණ්ඩ වන්දනාවයි. සරලව කිවහොත්, වස්තුව හා දේපල මිළ දී ගැනීම හා ගොඩගසාගැනීමයි. ඒ වෙනුවෙන් දුක් විඳීමයි.

මේ සියලු තත්වයන් සමග සමාජය තුළ දිනෙන් දින මෝදු වන ආතතිය පාලනය කරගැනීම සඳහා රාජපක්ෂවාදය හැමවිට ම සරණ යන්නේ ජාතිවාදය හා ආගම්වාදය ඇතුළු සකලවිධ පසුගාමිත්වයන් මත ය. එහි ප්‍රචණ්ඩත්වය වරින් වර තීව්‍ර කිරීමට ද ඔවුන්ට සිදු වේ. මෙම ස්වෝත්තමවාදී ප්‍රවණතා බොහෝ විට ස්ත්‍රීන්, සමලිංගිකයන්, සංක්‍රාන්ති ලිංගිකයන් වැනි අය වෙත ද යොමු වේ.

රාජපක්ෂ ක්‍රමය තුළ තිබෙන මෙම මූලික ලක්ෂණ එක්සත් ජාතික පක්ෂය මූලික කරගත් පාලනය තුළ නැති බවක් එයින් අදහස් වන්නේ නැත. එසේම, රාජපක්ෂ ක්‍රමය රාජපක්ෂ ජනාධිපති වෙන්නට පෙර සිට ම මේ රටේ පැවති එකකි. රාජපක්ෂ පාලන සමය තුළ එය රාජපක්ෂ විසින් බුක්තියට ලියාගන්නා ලදී. නිදසුනක් ලෙස රාජපක්ෂට පෙර බොහෝ සිංහල ජාතිවාදී ප්‍රවණතා තිබුණමුත්, දැන් එය රාජපක්ෂවාදය විසින් තනි බුක්තියට අත්පත් කරගෙන හමාර ය. ලංකාවේ පසුගාමිත්වය රාජපක්ෂ ක්‍රමය ලෙස නාමකරණය වන්නේ රාජපක්ෂවාදය එහි නායකත්වය අත්පත් කරගත් නිසා ය. රාජපක්ෂ ක්‍රමයට එරෙහි ප්‍රවණතා රාජපක්ෂ අනුගාමිකයන් අතර මෙන් ම ඇතැම් විට රාජපක්ෂ පවුලේ පවා තිබේ. උදාහරණයක් ලෙස බැසිල් රාජපක්ෂ අනුගාමිකයන් හා බැසිල් රාජපක්ෂ ම පවා යම් ලිබරල් ලක්ෂණවලින් යුක්ත ය. විටෙක මහින්ද ළඟ පවා ඒ ලක්ෂණ තිබේ.

රාජපක්ෂවාදය හා රාජපක්ෂ ක්‍රමය තව දුරටත් විග්‍රහ කළ යුතු එකකි. එසේම, කොන්දේසි විරහිතව පරාජය කළ යුතු එකකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *