රා…….

තල් ගස් මැදීම (ඡායාරූපය චන්ද්‍ර ජයසිංහ)

චන්ද්‍ර ජයසිංහ විසිනි

මං එතකොට හිටියෙ හතරෙ පංතියෙ හරි පහේ පංතියෙ හරි වෙන්න ඕන. අපේ ගෙදරට ටිකක් ඈතින් සීයගෙ ඉඩමක් තිබුණ. ඒකෙ තිබුණ කිතුල් ගහක් මැද්ද පැණි හකුරු හදන්න. තෙලිජ්ජ මුට්ටියක් හැන්දෑවට අපේ ගෙදරට ගෙනත් දෙනව. අපේ අම්මයි ලොකු අම්මයි එකතුවෙල ඒක උණු කරල පැණි හදනව. දවසක් තෙලිජ්ජ මුට්ටිය ගේන්න කවුරුත් නැති හිංද මායි මල්ලියි ගිය ඕක අරන් එන්න. පාලු දෙවටක් දිගේ ආපහු එන ගමන් මං මල්ලිට කිව්ව චුට්ටක් බීල බලමුද කියල. හපෝ අම්මගෙන් ගුටි කන්න වෙයි කියල මිනිහ වැඩේ අත හැරිය. ගුටි කන එක අළුත් දෙයක් නොවෙන හිංදත් තෙලිජ්ජ බොන එක අළුත් දෙයක් හිංදත් මං මුට්ටිය බිමින් තියල බිම වාඩිවෙල උගුරක් දෙකක් බීල බැලුව………

ඕන් ඔතනින් තමයි පටන් ගත්තෙ.

ඊට පස්සෙකදී ඉස්කෝලෙ යාලුවෙක්ගෙ ගෙදරදි කිතුල් රා ටිකක් සප්පායම් උනා. තම්බපු මඤ්ඤොක්කා එක්ක. ඒත් ගෙදර ආවෙ පේරකොල ටිකක් හපල කරාබු නැට්ටක් කටේ දාගෙන.

පාසැල් කාලය අවසන් වෙල මාස කිහිපයක් මට ඉන්න වුනා බේරුවල හෙට්ටිමුල්ලෙ අපේ ලොකු නැන්දාගෙ ගෙදර. එහෙ තිබ්බ පොල්වතු ඔක්කොගෙම කලේ පොල් රා මදින එක. කඹ වලින් හදපු අතුරු දිගේ සීරුවට ගහින් ගහට මදින්නා ගමන් කරන හැටි, බේරුවල ස්කාගාර සංස්ථාවට ලොකු හල්මිල්ල පීප්ප වල පුරවල ගොන් කරත්ත වලින් රා අරන් යන හැටි ඒකාලෙ සුන්දර දසුනක් උනා. නැන්දගෙ ගෙදර පිටිපස්සෙ මඩුවෙ මල් මදින්නා පොල් රා මුට්ටියක් ගෙනහැල්ල තියෙනව සිරිතක් විදිහට හැමදාම. ගෙදරට එන අමුත්තන්ට බොන්න. රා මුට්ටිය ගෙනත් තිබ්බට පස්සෙ මාත් ඉතින් අමුත්තෙක් විදිහට තමයි හැසිරුනෙ…….

ජාතික රූපවාහිනියට ඇවිදින් ටික කාලෙකට පස්සෙ යන්න වුනා ඩෙල්ෆ් දූපත ගැන වාර්තා වැඩසටහනක් කරන්න. ඒක හරි අපූරු ගමනක්. ඒ කාලෙ ඩෙල්ෆ් දූපතේ තල් ගස්වල තල් රා මදින කාලෙ. කොළඹින් ආපු අපට දූපතේ මිනිස්සු සැලකුවෙ තල් රා බොන්න දීල. සිංහල නොදන්න ඔවුන් සර් කල්ලු කල්ලු කියල අපිට රා බොන්න දුන්නෙ තල් කොලෙන්ම හදපු අපූරු ගොට්ටකට……

මට මේ රා ගැන සිතුවිළි පහල වුනේ ඇයි…..

ලඟකදි සිංහරාජ මායිමේ ඉන්න යාලුවෙක්ගෙ ගෙදර ගියහම කිතුල් රා ටිකක් බොන්න ලැබුණ.
මදින මාම රා මුට්ටිය අරන් ආවෙ සිංදුවක් කියාගෙන.
කාගෙද පෙනදාන මේ රා ⁣කලේ…….
කාගෙද ඉතින් සර්ලගෙ මිසක්…….

ඔහු ටිකක් හාස්‍යයට බර දොඩමළු මිනිහෙක්.
උදේ ඉඳන්ම රා වලින් සංතර්පණය වෙල ඉන්න මාම කිව්ව කවිය මේ.

කිතුල් රා වල ගුණයත්
එහි ඇති මියුරු රසයත්
බොන සුදනෝ දනිත්
නොබොන දුදනෝ නොදනිත්
….. ……
මට එන අපභ්‍රංස සිතුවිළි මොනවද කියල හිතුන ඔහුට එන සිතුවිළි ඇහුවම.

මහත්තයො දැං ඔය නාලාගිරි ඇතාට රා කල හතක් පොවලනෙ බුදුන්වහන්සේ ලඟට එවල තියෙන්නෙ. එතකොට ඌට පෙව්වෙ කිතුල් රා ද, පොල් රා ද නැත්නම් තල් රා ද……

ඕන් දීපල්ලකො උත්තර…….

මං ලොකු නිසා ඕක ගේන්න හුඟක් දවසට මාරම්මුල්ලට ගියෙ මං. මං නං පළවෙනි දමසෙම ඒක ටේස්ට් කරලා බැලුවා. නිකම් අමිහිරි පැණි රහක් නිසා අල්ලලා දැම්මා. මොකද, වදින එකක් යැ. අනෙක මතකද, තෙලිජ්ජ ගෙනාවෙ ඇලුමිනියම් පෝච්චියක. බොන්න හරි ලේසියි. කෙමියට කට තියල එන ගමන් ම බොන්න පුළුවන්. අපේ ගම්වල තෙලිජ්ජ කියන වචනෙ පාවිච්චි වුණේ නැහැ. අපි කිව්වෙ තෙල්දිය කියලා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *