ලංකාවේ අර්බුදයට ජාත්‍යන්තර බලපෑම් සිදු වන පසුබිම

– අජිත් පැරකුම් ජයසිංහ (2018 ඔක්තෝබර් 18 ලංකා පුවත්පතෙනි)

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී ඔහු විසින් පරාජය කරන ලද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග කරන ලද කුමන්ත්‍ර‍ණය සමග මතු වූ දේශපාලන අර්බුදය තවමත් දිග්ගැසෙමින් තිබේ.

මෙම අර්බුදය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කර තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම අර්බුදයට පෙර සිට ම කඩාවැටෙමින් තිබුණු අතර දැන් එය තීව්‍ර‍ වී තිබේ. රුපියල බාල්දු වීමට එක් හේතුවක් වූයේ එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප්‍ර‍තිපත්ති හේතුවෙන් ඩොලරය ශක්තිමත් වීමයි. අනෙක් පැත්තෙන් ලංකාව අපනයනවලට වඩා ආනයන සිදු කිරීම හේතුවෙන් ගෙවුම් ශේෂයේ ඇති වුණ වැඩි වීම ද රුපියල බාල්දු වීමට බලපෑවේ ය. මහින්ද බලයට පැමිණි පසු රුපියල බාල්දු වීම පාලනය කිරීම සඳහා කළේ වහ වහා සල්ලි අච්චු ගැසීමයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වල තිබුණු ඩොලර් මිලියන 50ක් මුදාහැරුණු බව වාර්තා විය.

ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය යනු කෘත්‍රිමව නිර්මාණය කරන ලද්දකි. එය සැබෑ සංචිතයක් නොවේ. එහි තිබෙන්නේ ද ණය ම ය. එහෙත්, විදේශ සංචිත පවත්වාගෙන යාම මහේක්ෂ ආර්ථික කළමනාකරණයේදී වැදගත් ය. ශ්‍රී ලංකා රජය ආර්ථිකය පවත්වාගෙන යන්නේ ණය මත ය. ණය ගැනීමෙහිදී ලංකාවේ ණය ගැනීමේ හැකියාව පෙන්වීම වැදගත් ය. නැතිනම් මුල්‍ය වෙළඳපොළේ පොලිය වැඩි වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි සංවිධාන විසින් කොන්දේසි මත සහන පොළියට දෙන ණය ලබාගැනීම දුෂ්කර වෙයි. විදේශ සංචිත පවත්වාගැනීම වැදගත් වන්නේ ඒ නිසා ය. එහි තිබෙන මුදල් පටු දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා සල්ලි අච්චුගැසීමට මුදාහැරීම බරපතල ප්‍ර‍තිවිපාක ඇති කරන්නකි.

ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට ඇති මාර්ගය වන්නේ දේශීය නිෂ්පාදනය හා අපනයන ඉහළ නැංවීමයි. එහෙත්, එය සිතන තරම් වේගයෙන් හා පහසුවෙන් සිදු කළ නොහැකි ය. එයට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රාග්ධන ගැටලුවයි. ශ්‍රී ලංකාවේ රජය යනු අතිශය වියදම්කාරී, කාර්යක්ෂමතාව බෙහෙවින් අඩු ව්‍යූහයකි. එය නඩත්තු කිරීම හා සංවර්ධන කටයුතු වෙනුවෙන් දෛනිකව ණය ලබාගන්නා අතර පොළිය සමග ඒ ණය ගෙවීම රජයේ මුල්‍ය කළමනාකරණයේ මූලික කාර්යය වී තිබේ.මේ වන විට සමස්ත රාජ්‍ය ආදායම ම රජයේ ණය ගෙවීම සඳහා ප්‍රමාණවත් නැත. මිලියන 1.5ක් පමණ වන රජයේ සේවකයන්ගේ වැටුප් හා රජයේ සේවය කර විශ්‍රාම ගිය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වෙනුවෙන් මේ වසරේ රජය රුපියල් බිලියන 900ක් පමණ වැය කරයි. මෙම සංදර්භය තුළ රජයට නව ආයෝජන සඳහා මුදල් නැත. දේශීය පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ආයෝජන හැකියාව ද රටේ නිෂ්පාදනය නැංවීමට තිබෙන අවශ්‍යතාව තරම් නොවේ. ඍජු විදේශ ආයෝජන හා ඒ සමග දේශීය හවුල්කාරිත්වයන් වැදගත් වන්නේ එහිදී ය. ඍජු විදේශ ආයෝජන එක පැත්තකින් රටේ අලුත් ව්‍යවසායන් ආරම්භ කරමින් නිෂ්පාදන, සේවා හා රැකියා සම්පාදනයට මැදිහත් වෙයි. අනෙක් පැත්තෙන් ඒ ඔස්සේ රටට දැඩිව ම අවශ්‍ය විදේශ විනිමය පැමිණෙයි.

ලංකාවේ ආනයන වියදමෙන් වැඩි ප්‍රතිශතයක් වැය වන්නේ ඛනිජ තෙල් සඳහා ය. මේ වන විටත් ඉදිරි වසර පහක පමණ අවශ්‍යතාවන්ට ගැලපෙන වාහන තොග ශ්‍රී ලංකාවේ ගොඩගසාගෙන තිබේ. දිනපතා මගීන් 1000ක් පමණ පොදු ප්‍රවාහනයෙන් ගිලිහෙන බව මාස කිහිපයකට ඉහතදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසී ය. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ පෞද්ගලික වාහන භාවිතයයි. පොදු ප්‍රවාහන යටිතලය සංවර්ධනය නොවීම වෙන් ම මහජනතාව අතර ප්‍රචලිත වෙමින් තිබෙන පාරිභෝජන ප්‍රවණතා ද ආනයන ඉහළ නැංවීමට හේතු වේ.

ලංකාවේ ජනතාවගේ ආනයන අවශ්‍යතා වෙනුවෙන් විදේශ විනිමය සොයා ගන්නා ප්‍රධාන ම ක්‍රමය විදේශ රැකියා ය. මේ වන විට මිලියන 1.5ක් පමණ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ විදේශ රැකියාවල යෙදෙමින් රටට මුදල් එවති. 2017 වසරේ මෙසේ රටට ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන හතකට වැඩි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදනයක් වන්නේ රෙදි හා නිමි ඇඳුම් ය. 2016දී සමස්ත ආනයනවලින් 47%ක් ම රෙදි හා නිමි ඇඳුම් විය. වාර්ෂිකව එක්සත් ජනපද ඩොලර් බිලියන පහකට වඩා එයින් උපයා ගනු ලැබේ. ශ්‍රී ලංකාවේ රෙදි හා ඇඟලුම් නිෂ්පාදන සඳහා ප්‍රධාන වෙළඳපොළවල් වන්නේ එක්සත් ජනපදය හා යුරෝපා සංගමයයි. එහිදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට පසුගිය මැයි මාසයේ සිට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය අතිශය වැදගත් ය. මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති ක්‍රියාත්මක නොකිරීම නිසා 2010දී යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන ශ්‍රී ලංකාවට අහිමි කළේ ය. මේ වසරේ එම සහන නැවත ලැබීමත් සමග රෙදි හා ඇඟලුම් අපනයනවල 3%ක පමණ වර්ධනයක් සිදු වනු ඇතැයි අපේක්ෂා කෙරේ්‍

ඉහත කරුණු ටික සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙතරම් විදේශ රටවල් සමග බැඳී තිබේදැයි පෙන්වා දීමට ය. මෙම බැඳීම ආර්ථිකයෙන් ඔබ්බට ජන ජීවිතය දක්වා ගැඹුරින් ම විහිදෙන බැඳීමකි. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයක ය. දුරාතීතයේ සිට ම මෙම දිවයිනෙහි වැසියෝ ලොව විවිධ රටවල් සමග සම්බන්ධතා පැවැත්වූ බවටත්, වෙළහෙළඳාම් ආදියෙහි යෙදුණු බවටත් පුරාවිද්‍යාත්මක සාක්ෂි එමට ය. ලාංකිකයන්ගේ සංස්කෘතිය පොහොසත් කිරීමට ඈත අතීතයේ පටන් ම විදේශයන්ගෙන් බොහෝ වටිනාකම් ලැබෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ අර්බුදයක් ඇති වූ කල ජාත්‍යන්තර ප්‍රජාව ඒ කෙරෙහි අවධානයෙන් සිටීම මෙම සංදර්භය තුළ කිසි සේත් ම පුදුම විය යුතු තත්වයක් නොවේ. ඔක්තෝබර් 26දා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයත් සමග මෙරට කෙරෙහි ජාත්‍යන්තර අවධානය වැඩි විය. මේ වන විටත්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ නිවේදන ගණනාවක් ම නිකුත් කර හමාර ය. මූලික වශයෙන් එම නිවේදනවලින් ඉල්ලා සිටිනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් කටයුතු කරන ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015දී තමන් විසින් පරාජය කරන ලද අපේක්ෂකයා සමග එක් වී කුමන්ත්‍රණයකින් ආණ්ඩුව වෙනස් කිරීම කෙරෙහි මෙම රටවල හා ජාත්‍යන්තර සංවිධානවල විරෝධය පැහැදිලිව මේ ඔස්සේ ප්‍රකාශ විය.

ඊනියා දේශප්‍රේමීන් මෙම තත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට එම රටවල් කරන අනවශ්‍ය අතපෙවීමක් ලෙස විග්‍රහ කරන්නට උත්සාහ කළත්, එම රටවලට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරදර වීමට තිබෙන අයිතිය නිර්මාණය වන්නේ කෙසේ ද යන්න අප ඉහත ඉදිරිපත් කරන ලද කරුණුවලින් පැහැදිලි වේ. සරලව කිවහොත්, ශ්‍රී ලංකාව ලෝකයෙන් ගන්නා ණය මත යැපෙන තාක් කල්, ණය දෙන සංවිධාන හා රටවල් තම ණයකරුවාට ණය ගෙවීමට තිබෙන හැකියාව ගැන සංවේදී වීම වැළැක්විය නොහැකි ය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතනවලින් ණය ලබාගන්නවා නම්, එම සංවිධානයේ කොන්දේසිවලට යටත් වන්නට සිදුවීම අනිවාර්ය ප්‍රතිඵලයකි. නිදසුනක් ලෙස ඉන්ධන මිළ සූත්‍රය වැනි ප්‍රතිපත්තිමය පියවර ගන්නට සිදු වන්නේ ඒ නිසා ය. ලෝක වෙළඳපොළේ මිළ උච්චාවචනයන් සමග ලාංකිකයන්ට ද ඉන්ධන වෙනුවෙන් ගෙවනු ලබන මිළ වෙනස් කරගන්නට ඒ අනුව සිදු වේ.

ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ රෙදි හා ඇඟලුම් සඳහා ප්‍රධාන වෙළඳපොළවල් ය. ගැනුම්කරුවන් නිෂ්පාදකයන්ට හා සැපයුම්කරුවන්ට ගණන් උස්සනවා මෙන් ම සැපයුම්කරුවන්ට ද ගණන් උස්සන්නට බැරිකමක් නැත. එහෙත්, වෙළඳපොළ තරගකාරිත්වය නිසා අපට ඒ තරම් ගණන් උස්සන්නට හැකියාවක් නැත. ඇඟලුම් වැනි අපගේ ප්‍රධාන අපනයන බොහොමයක් පෙට්‍රෝලියම් ඉන්ධන හා වෙනත් වටිනා ඛනිජ වැනි ගණන් උස්සන්නට පුළුවන් දුර්ලභ නිෂ්පාදන නොවේ. යම් හේතුවක් නිසා අපගෙන් වෙළඳපොළ ගිලිහෙන්නේ නම්, එය අල්ලාගැනීමට බලා සිටින තරගකරුවෝ එමට ය. ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට ත්‍රීඩා කරන්නට සිදු වී තිබෙන්නේ අවාසිදායක පිටියක ය.

මා මේ පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සබඳකම් පැවැත්වීමේදී කෙතරම් සියුම් ලෙස කටයුතු කළ යුතු ද යන්න ය. රට තුළ මෙවැනි අනවශ්‍ය බල අරගල ඇති කර ගත් විට, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් මත පදනම්ව රටෙහි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ අවස්ථාවක් ජාත්‍යන්තරයට නිකම් ම ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, කාන්තා අයිතිවාසිකම්, ළමා හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පරිසර ප්‍රතිපත්ති, සංක්‍රමණිකයන් සම්බන්ධ සම්මුති, දේශගුණික විපර්යාස සම්බන්ධ සම්මුති ආදී කරුණු සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති රැසකට ශ්‍රී ලංකාව අත්සන් තබා ක්‍රියාත්මක කරන්නට ඇපකැප වී තිබේ. ශ්‍රී ලංකාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම සඳහා ඒවා ඉතා වැදගත් ය. වෙන මොකවත් නැතත්, මැති ඇමතිවරුන් හා නිලධාරීන් මහජන මුදලින් ලොව වටා රවුම් ගසන්නේ හෝ මේවා නිසා ය. එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, විශේෂයෙන් ම අපගේ අපනයන මිළ දී ගන්නා රටවලටත් ලංකාවට බලපෑම් කරන්නට තිබෙන හැකියාව අපට මගහැර යා හැකි තත්වයක් නොවේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උත්පාදන මාර්ගය වන මැදපෙරදිග රැකියා සම්බන්ධයෙන් නම් ජාත්‍යන්තර දේශපාලන මැදිහත්වීම් අවම ය. ශ්‍රී ලංකාවේ ගැහැණුන් වහල් මෙහෙය සඳහා යොදාගන්නා අරාබි රටවලට මෙම රටවල කුමන දේශපාලන වියවුලක් ඇති වුණත් ප්‍රශ්නයක් නැත.

ශ්‍රී ලංකාවේ පවත්නා අර්බුදය හමුවේ ඉන්දියාව හා චීනය ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා වැදගත් ය. ඉන්දියාව මෙහිදී බෙහෙවින් මධ්‍යස්ථ, නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කැපී පෙනන ලක්ෂණයකි. චීනය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැවැන්ත මැදිහත්වීමක් කර තිබෙන බලවත් රටකි. එම තත්වය ඉන්දියාවේ සියුම් පරීක්ෂාවට ලක් වී තිබෙන්නකි. ශ්‍රී ලංකාවට ආසන්නයෙන් ම පිහිටි බලවත් රාජ්‍යය වීමේ භූගෝලීය අාධිපත්‍යය මත පිහිටා ඉන්දියාව ශ්‍රී ලංකාවේ චීන මැදිහත්වීම එතරම් රුස්සන්නේ නැත. එහෙත්, ඉන්දියාවට එය වැළැක්වීමේ හැකියාවක් නැත. ශ්‍රී ලංකාවේ සෑම රජයක් ම මේ රටවල් දෙක සමග ම සම්බන්ධතා තුලනය කර ගන්නට උත්සාහ කරයි. කලින් කල යම් යම් ගැටලු ඇති වුව ද ලංකාවේ රජයන් සාමාන්‍යයෙන් ගත් කල මේ රටවල් තුලනය කර ගනියි. චීනය ශ්‍රී ලංකාව තුළ විශාල වශයෙන් ආයෝජනය කර තිබේ. එහෙත්, චීන ආයෝජන අතරින් වැඩි ප්‍රමාණයක් ඉදිකිරීම් කොන්ත්‍රාත්තු සමග සම්බන්ධ ය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, අධිවේගී මාර්ග ආදී චීන ආයෝජන සමග චීන බැංකු ණය, චීන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හා ශ්‍රමිකයන් ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මැදිහත් වී තිබේ. චීන ව්‍යාපෘති සමග ශ්‍රී ලංකාව දරුණු ණය අර්බුදයක ගිලී ගොස් තිබෙන අතර, ණය බරින් මිදීම සඳහා හම්බන්තොට වරාය වැනි චීන ඉදිකිරීම් විකුණා දමන්නට පවා රජය කටයුතු කර තිබේ. චීනය පවා නැවත බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග සම්බන්ධකම් පවත්වන්නේ තරමක් පරිස්සමෙන් බව පෙනේ. මේ රටවල් දෙකට ම ශ්‍රී ලංකාව අපනයන වෙළඳපොළකි. ඔවුන් ශ්‍රී ලංකාවේ අපනයන මිළ දී ගන්නේ ඉතා අඩුවෙනි.

අප මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ ශ්‍රී ලංකාවත් ලෝකයත් අතර තිබෙන ආර්ථික සම්බන්ධතා පාදක කරගෙන ලංකාවට බලපෑම් සිදු වන ආකාරයයි. මෙයට අමතරව, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටුමෙහි සුවිශේෂභාවය මත පදනම් වූ මූලෝපායික බලපෑම් ද තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හමුවේ ජාත්‍යන්තර බලවේගවල ප්‍රතිචාර තේරුම් ගන්නට සිදු වන්නේ මෙම සංදර්භය තුළ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *