ලංකාවේ සරසවි සිසුවා සංකේතවත් වීම

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් හොලිවුඩ් නිළි ඈෂ්ලි ජඩ් සමග
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් හොලිවුඩ් නිළි ඈෂ්ලි ජඩ් සමග

විශ්වවිද්‍යාල කිව්වාම අපට හැම විට ම මතක් වෙන්නේ උද්ඝෝෂණ, පංති වර්ජන හා නවක වධය වැනි දේයි. මාධ්‍යවල වාර්තා වන්නේත් ඒවායි. ඒ නිසා සාමාන්‍ය පුරවැසියන් ලෙස සාමාන්‍ය සරසවි සිසුවා පිළිබඳ චිත්‍ර‍ය නිර්මානය වන්නේ ළහිරු වීරසේකර වැනි අයෙකුගෙන් වීම ස්වාභාවිකයි. විශ්වවිද්‍යාල සිසුන් ගැන සාධනීය වාර්තා මාධ්‍යවල පළ වන්නේ ඉතා අඩුවෙන්.

ඒත්, පසුගිය දිනවල රැකියාව සම්බන්ධ කාරණා නිසා විශ්වවිද්‍යාල කීපයක සිසුන් සමග විවිධ වැඩසටහන් ගණනාවකට සහභාගි වන්නට අවස්ථාව මට ලැබුණා. එයින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ගැන බාහිර පුද්ගලයකු ලෙස මා තුළ තිබුණ චිත්‍ර‍ය සාධනීය ලෙස වෙනස් වුණා.

එයින් වැඩසටහන් කීපයක් ම පදනම් වුණේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය අධ්‍යාපනය මතයි. අප මූලිකව උත්සාහ කළේ විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව සංවර්ධනය කළ ඉන්ටනෙට් පාදක ලිංගික අධ්‍යාපන මෙවලමක් හඳුන්වා දෙන්නටයි. මෙතනින් ගිහින් ඒ පාඨමාලාව කරන්නට ඔබට වුණත් පුළුවන්. එහි ඔබට පවා වැදගත් දැනුම තිබෙනවා. එම සාකච්ඡාවලට සිසුන් ඉතා උනන්දුවෙන් සහභාගි වුණා. ඔවුන්ගේ ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍ය දැනුම ද හොඳ මට්ටමක තිබුණා.

හොලිවුඩ් නිළි ඈෂ්ලි ජඩ් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ඇය පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිසක් සමග ෆෝරම් තියටර් වැඩසටහනකට සහභාගි වුණා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වන ප්‍ර‍චණ්ඩත්වය පිළිබඳ වූ මේ සාකච්ඡාවලට තරුණ සිසුන් සහභාගි වූ ආකාරයත්, ඔවුන් පළ කළ අදහසුත් ඉතා ම සාධනීයයි.

iVoice ව්‍යාපෘතියක් ලෙස තරුණයන්ට සමාජ ප්‍ර‍ශ්නයක් විසඳීම සඳහා ව්‍යාපෘතියක් කරන්නට ආධාර කළා. ආධාර කළ ව්‍යාපෘති 10න් දෙකක් කළේ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙක්. ඒ ගැන ලියැවුණ ලිපි දෙකක් තමයි මේ.

සුරක්ෂිතව සමාජ මාධ්‍ය පරිහරණය කිරීම වෙනුවෙන් තරුණයන්ට කතා කරන දිනිති

යාළු මාමා සමග එන ලක්මි නිලංකා

තවත් ව්‍යාපෘතියක් කළ සිසුවෙක් ඒ වන විට කැලණිය විශ්වවිද්‍යාලයට තේරී සිටියා. මේ ඔහු ගැන සටහනක්.

මෝටර් සයිකල් අනතුරුවලින් තරුණයන් මිය යාම වළක්වමු – සුජිත් සමරසිංහ

මෑතදී කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වුණ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ තරුණ උළෙලත් තවත් වැදගත් අවස්ථාවක්. මේ සටහන ඒ ගැනයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සාධාරණත්වය හා සමානාත්මතාව වෙත ගමනක් – අන්තර් විශ්වවිද්‍යාල තරුණ උළෙල

සමස්තයක් ලෙස ගත් විට ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ සංකේතය ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන ශිෂ්‍යයන් සැලකීම තේරුමක් නැති බවයි බාහිර පුද්ගලයකු ලෙස මගේ අදහස. .

විශ්වවිද්‍යාල නවක වධය යනු ඇත්තට ම මෙම සාමාන්‍ය ශිෂ්‍යයාගේ ප්‍ර‍තිරූපය විකෘති කරන අවස්ථාව බවයි මගේ අදහස. විශ්වවිද්‍යාලවල සාමාන්‍ය තත්වය ඇති කරන්නට පුළුවන් නම් මේ සිසුන්ගේ හැකියාවන් මල්ඵල ගන්වන්නට අවශ්‍ය වටපිටාව නිර්මානය කරන්නට පුළුවන් වේවි. අපේ රටට බරපතල ගැටලුවක් වී තිබෙන සමාජ, දේශපාලන නායකත්වයේ ගැටලුව විසඳා  ගන්නටත් එය ඉවහල් වේවි.

(කවරයේ ඡායාරූපය: පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හොලිවුඩ් නිළි ඈෂ්ලි ජඩ් සමග)

Road to Adulthood සොයන කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණ පිරිසක්
Road to Adulthood සොයන කැලණිය විශ්වවිද්‍යාලයේ තරුණ පිරිසක්

– පැරකුම් ජයසිංහ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *