වකුගඩු රෝගය ගැන හැමදාම ඇහෙන දුක්ඛිත කතා

ජයතිලක බණ්ඩාර සිය සොයුරු සිතාර් ප්‍රේමෙ සමග
ජයතිලක බණ්ඩාර සිය සොයුරු සිතාර් ප්‍රේමෙ සමග

මේ ජයතිලක බණ්ඩාර කලාකරුවාගේ වැඩිමහල් සොයුරු ප්‍රේමදාස ඉරුගල්බණ්ඩාර හෙවත් සිතාර් ප්‍රේමේ. පානියංකඩවල ගමෙන් පැවත එන මේ පරපුරේ අය පොඩ්ඩයියා යන ආදර නමින් හඳුන්වන මේ නොදුටු මිනිසාත් මිය ගොස් තිබෙන්නේ රජරට උරුමයක් වී තිබෙන වකුගඩු රෝගයෙන්.

අප දන්නා හඳුනන වකුගඩු රෝගියකු මිය ගිය හැටියේ ම ආණ්ඩුවට බණින එක අපේ පුරුද්ද වුණාට, මේ වකුගඩු රෝග තත්වය තවමත් හඳුනා නොගත් තත්වයක් වගේ ම බහුවිධ හේතු මත සිදු වන දෙයක් වෙන්නටත් පුළුවන්. වකුගඩු රෝගය ලංකාවේ සුලබ තත්වයක් වුණාට අපේ මිනිසුන් තමන් ඒකට ගොදුරු වන තෙක් ම එයින් ආරක්ෂා වෙන්නට එතරම් උත්සාහ කරනවා ද යන්න ප්‍රශ්නයක්.

මාත් එක්ක ගමේ (මතුගම) පාසල් කාලෙ ක්‍රිකට් සෙල්ලම් කරපු, පස්සෙ කාලෙක ජවිපෙ දේශපාලනයත් දිගට ම කරපු මගේ මිතුරකු මැරෙන්නට ටික දිනකට කලින් මා හමු වෙන්නට ආවා. ඒ වෙනකොට ඔහු ආර්ථික අරගලයෙනුත් පැරදිලායි හිටියෙ. ඒ වන විටත් ඔහු සිටියෙ දැඩි දියවැඩියා තත්වයක. දශකයකටත් වැඩි කාලයක් දියවැඩියාවෙන් පෙළෙමින් හිටියත්, ඔහු කිසි දාක ස්ථාවරව සායනයකට යමින් විධිමත් අන්දමින් පරීක්ෂණ කරගෙන තිබුණෙ නැහැ. රුධිරයේ සීනි වැඩි වන විට ෆාමසියෙන් බෙහෙත් ගෙන බීම තමයි ඔහු කර තිබුණේ. දොස්තර කෙනෙකු හමු වුණත්, දෙන්නෙ ඒ බෙහෙත් ම තමා ය කියලා යි ඔහු කිව්වෙ. එතකොට මගේ බිරිඳ ඔහුට පැහැදිලි කර දුන්නා දියවැඩියා රෝගියෙකු ස්ථාවරව සායනයකට යා යුත්තෙ ඇයි ද කියලා. කවදාවත් වෛද්‍යවරයකු තමන්ට ඒ උපදෙස දී නැති බව ඔහු කිව්වා. විප්ලවය කරන හැටි දැන හිටියාට ඔහු මේ සරල දේ දැන සිටියෙ නැහැ. ඒ වෙනකොටත් ඔහු සෑහෙන්න පමා වෙලා යි තිබුණෙ. වෙහෙසකර දෑසින් සමු අරගෙන, සිය ඩිමෝ බට්ටා රියත් අමාරුවෙන් හරවාගෙන වැහිබර හැන්දෑවක ඔහු නික්ම ගියේ තව කෙටි කලකින් ලෙඩ ඇඳට වැටෙන්න. මට මේ ලියන විටයි මතක් වුණේ මේ දිස්ත්‍රික්කයේ ජවිපෙ මන්ත්‍රීවරයාත් වෛද්‍යවරයෙක්.

ජයතිලක අයියාත් දන්නා තවත් අපේ මිත්‍රයෙක් අවුරුදු 18කට විතර ඉස්සර වකුගඩුවක් බද්ධ කර ගත්තා. ඔහු දිළිඳු ගැමි කලාකාරයෙක්. වානිජ චිත්‍ර‍ ශිල්පය තමයි කළේ. ඒ වෙනකොට ඩිජිටල් ප්‍රින්ටිං ඇවිත් ඔහුගේ රැකියාව අහිමි වෙමින් තිබුණා.

ඔහු වෙනුවෙන් වකුගඩු බද්ධයක් කරන්නට මුදල් සොයා ගන්නට ඔහුගේ මිතුරන් බොහෝ දේ කළා. ජයතිලක අයියා සිංදුත් කිව්වා. ඔහුගේ අක්කා තමයි වකුගඩුව පරිත්‍යාග කළේ.

වකුගඩු බද්ධය කළේ මගේ බිරිඳ වැඩ කළ රෝහලේ. ඇය ඔහු බලන්නට ගිය විට ඔහු සතුටින් හිටියා. වකුගඩු බද්ධයෙන් පසුවත් ප්‍ර‍තිකාර සඳහා විශාල මුදලක් වැය කළ යුතුයි.

පස්සේ කාලෙක ආරංචි වුණෘ, මගේ මිතුරා ගෙල වැලලාගෙන මිය ගිය බව. ඔහුට ඒ ගැන කියන්නට කතාවක් ඇති. ඒත්, මම නම් හිතන්නේ ඔහුට මැරෙන්න අයිතියක් තිබුණේ නැහැ. මම සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ තමන් ජීවත් වෙනවා ද, ජීවිතය අවසන් කර ගන්නවා ද යන්න තීරණය කිරීමේ අයිතියක් මිනිසුන්ට තිබෙනවා කියායි.

ඒත්, මගේ මිත්‍ර‍යාට ඒ අයිතිය නැතැයි කියා මා කියන්නේ ඔහු තවත් අයෙකුගේ ජීවිතය ඔහු වෙත පවරා ගත් නිසායි.

දෙවෙනි කතාව මගේ තවත් මිත්‍ර‍යකු ගැන. ඔහු වැඩිහිටියෙක්. ප්‍ර‍සිද්ධ කෙනෙක්. මම නම සඳහන් කරන්නේ නැහැ.

ඔහුගේ පුතා කුඩා කාලයේ සිට දියවැඩියා රෝගයෙන් පීඩා විඳ තිබෙනවා. තුරුණු වියට එළඹෙද්දී ඔහුට වකුගඩු බද්ධ කිරීමක් කරන්නට සිදු වුණා. පුතාට වකුගඩුව දන් දුන්නේ පියායි.

පුතා පසු කලෙක වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනවා. ඒත්, හදිසියේ පැපොල රෝගය වැළඳීම නිසා පුතා මිය යනවා.

පුතාගේ දේශපාලන අදහස් ක්‍රියාවට නගන්නට මේ වියපත් තාත්තා පුතා ආදරය කළ දේශපාලන ව්‍යාපාරය සමග සම්බන්ධව දැඩි අනතුරුදායක තත්වයකට මුහුණ දෙනවා.

තුන්වන කතාව වකුගඩුවක් දන් දුන් පෙම්වතෙකු ගැන කවියක තිබුණ එකක්. මේක නම් මං කියෙව්වේ ෆේස්බුක් එකෙන්. කවුරු ලිව්වා ද කියා මට මතක නැහැ. පෙම්වතියට වකුගඩුවක් බද්ධ කරනවා. ඇය සුව වෙමින් ඉන්නවා. ඒත්, පෙම්වතා ඇය බලන්නට එන්නේ නැහැ. ඇය හිතන්නේ පෙම්වතා ඇය මගහැර යන්නට ඇති ය කියායි. එහෙත්, ඒ වන විට පෙම්වතා ඒ රෝහලේ ම වෙනත් වාට්ටුවක ප්‍ර‍තිකාර ලබනවා. ඇයට වකුගඩුව දන් දුන්නේ ඔහු බව පෙම්වතිය දන්නේ නැහැ.

වකුගඩු දන් දෙන පුද්ගලයන් කරන්නේ විස්මිත පරිත්‍යාගයක්. මුදලට විකිණුවත්, එය මුදලින් මිළ කළ හැකි දෙයක් නොවෙයි.

වකුගඩු රෝගීන් හා ඔවුන් විඳින දුක ගැනත්, ඒ මරණයන් ගැනත් දුක්ඛිත කතා හැමදාමත් අසන්නට ලැබෙනවා. එ් අයට හරි හමන් උපකාරයක් කරන්නට ශක්තියක් නොමැති වීම නිසා නිතර ම වරදකාරී හැඟීමකුත් දැනෙනවා. සමාජයක් විදියට අපි වරදකාරී ද? මේක දුප්පතුන්ගේ විතරක් ලෙඩක් ද? ඇති හැකි ඇතැමෙකුට මේකත් ව්‍යාපෘති කරන්නට, විදේශ පුහුණුවීම් ආදියට යන්නට අවස්ථාවක්.

මා සම්බන්ධයෙන් නම් මා හිතන්නේ මරණය මා ළඟට ආවොත් තවත් අයෙකුට බරක් නො වී නිහඬව එය වැළඳ ගැනීම තමයි මා කළ යුත්තේ. අප කාටත් කවදා හෝ යන්නට සිදු වෙනවා වගේ ම අප වැඩි දෙනෙක් රෝගීන් ලෙස ජීවත් වීමෙන් සමාජයට කරන වැඩකුත් නැහැ. ඒ මගේ අදහසයි. එහෙත්, මට අනෙක් අයට කිසිවක් කියන්නට බැහැ.

වකුගඩු වැනි ශරීර අවයව තමන්ට බද්ධ කර ගැනීම පවා ඉතා කල්පනාකාරීව කළ යුතු දෙයක්.

රජරට ගොවීන්ට වැළඳෙන වකුගඩු රෝගය නම් අතිශය කණගාටුදායක තත්වයක්. මේ අවුරුදු 10කට විතර ඉහත කාලයේ මම, ෂමිල රත්නසූරිය, සම්පත් බාලසූරිය, ලක්ප්‍රිය නානායක්කාර, දුෂ්‍යන්ත කුමාර, චමින්ද ආරියරත්න ඇතුළු පිරිසක් පදවියේ ගිහින් පදවියේ එච්.ඩී. පෙරේරා හා එස්.කේ. සේරසිංහ සහෝදරයින් සමග එක්ව පදවියේ වකුගඩු රෝගය ගැන වාර්තා චිත්‍රපටයක් නිර්මානය කළා.

මේ චිත්‍රපටයේ කතා කරන මිනිස්සු වැඩි දෙනෙක් දැන් ජීවතුන් අතර නැතිව ඇති. කොටස් තුන ම බලන්න. හරිම දුක්ඛිතයි. මේ මිනිසුන් විතරක් නෙමෙයි අපත් අසරණයි.



Please follow and like us:

One thought on “වකුගඩු රෝගය ගැන හැමදාම ඇහෙන දුක්ඛිත කතා

  1. පැරා, දැනට අවුරුදු 20ටත් වැඩි කාලයක් මෙය හදුනා නොගත් වකුගඩු රෝගය ලෙසයි හදුන්වන්නේ, මේවා හදුනාගන්න බැරි විද්‍යාව දියුණු නැති නිසා නෙමෙයි, මේ කෘමිනාශක විකුණන සමාගම් වල මුදල් බලය නිසා සෑම කාලයකම මේවා හදුනාගන්න බැරි වෙනව.

    මේ සරල උදාහරණය බලන්න https://www.youtube.com/watch?v=fDsdmJ8I3ks මෙයට විනාඩි 3ට අඩු කාලයක් තමයි යන්නේ
    මෙහිදී රසදිය බැක්ටීරියා නාශකයක් ලෙස බොහෝ එන්නත් වලට දමනවා, මේ රසදිය පිළිබද අවසාන පරීක්ෂණය කරන්නේ 1929 තරම් ඈත කාලයේදී
    බලන්න ඉහලම දොස්තරවරුන් ඊට දෙන පිළිතුර.

    යම් හානිකර රසායනිකයක් බලවත් සමාගමක් නිපදවන යම් භාණ්ඩයක අන්තර්ගත වෙනවනම් ඊට අදාළ ආරක්‍ෂිත පරීක්ෂණ කිසිවිටකත් සිදුවන්නේ නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *