වගකීම් විරහිත සංඛ්‍යාලේඛන: කුරුණෑගල නව යොවුන් ළමයින්ගෙන් 60%ක් කුඩු ගහනවා ද?

කැටෝ ලොම්බ්
“සංඛ්‍යාන වාර්තා කියවන විට මට මගේ අවාසනාවන්ත සමකාලීනයකු වන සාමාන්‍ය මිනිහා ගැන පුදුම හිතෙනවා. සංඛ්‍යාන වාර්තා අනුව ඔහුට ළමයින් 0.66ක්, කාර් 0.032ක් හා රූපවාහිනී යන්ත්‍ර 0.046ක් තිබෙනවා.” – කැටෝ ලොම්බ්

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ ඩිස්රායලි “There are three kinds of lies: lies, damned lies, and statistics” යි කීවා. එහි තේරුම තුන් වර්ගයක බොරු ඇති බවයි. ඒ තුන් වර්ගය නම් බොරු, පල් බොරු හා සංඛ්‍යාලේඛන යි.

සංඛ්‍යාති කියන්නේ යම් ක්‍රමවේදයකට අනුව ගොනු කර ගනු ලබන දත්ත යි. එය විවිධාකාරයෙන් අර්ථකථනය කරන්නට පුළුවන්.

එසේ ම, දත්ත ලබා ගන්නා ආකාරයත් හැම විට ම විශ්වසනීය නො වෙන්නට පුළුවන්. වැරදි ආකාරයට ලබා ගත් දත්ත මත පදනම් ව විශ්ලේෂණ සිදු කිරීම කිසිම තේරුමක් නැහැ. එහෙත් විවිධ දේශපාලන, ආර්ථික, රාජකාරි හේතු මත වැරදි සමීක්ෂණ මත පදනම් වූ දත්ත සමාජයට මුදා හරිනු ලබනවා. ඇතැම් විට මේ වැරදි දත්ත මත පදනම් ව ප්‍රතිපත්ති ද සම්පාදනය වෙනවා.

සංඛ්‍යාති සම්බන්ධයෙන් වගකීම් විරහිතභාවය ලංකාවේ ඉතා සුලබ තත්වයක්. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවක්. කට වාචාලකමට ඕනෑ දෙයක් කියා දාන නිලධාරීන් වගේ ම, මෝඩකමට කිසිවක් සොයා නොබලා ඒවා වාර්තා කරන මාධ්‍යකරුවන් ද තත්වයන් විකෘති කරන්නට දායක වෙනවා.

කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පමණක්‌ අවුරුදු 15-19 අතර වයසේ පාසල් දරුවන්ගෙන් සියයට 60 ක්‌ පමණ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. මේවා අරක්‌කු, සිගරැට්‌, ගංජා, කුඩු, පෙති, ලොසිංජර ලෙස දරුවන් අතට පත්වෙයි.
– ප්‍රජා පාදක මත්ද්‍රව්‍ය නිවාරණ කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය සමන්ත කිතලවආරච්චි (දිවයින පුවත්පත)

මේ පුවතේ මාතෘකාව ඊටත් එහා. එහි තිබෙන්නේ මෙහෙමයි: “කුරුණෑගල පාසල් දරුවන්ගෙන් සියයට 60ක්‌ කුඩුවලට ඇබ්බැහි වෙලා – මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ සමන්ත කොළඹආරච්චි”. එතනදී මත්ද්‍රව්‍ය කුඩු බවට පත් වෙලා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මෙවැනි තත්වයක් තිබෙනවා නම් මුළු ශ්‍රී ලංකාවේ ම මේ තත්වය අඩු වැඩි වශයෙන් දක්නට ලැබිය යුතු යි. වයස අවුරුදු 15-19 අතර වයසේ පාසල් දරුවන් සිටින මව්පියන්ට, ඒ වයසේ නංගිලා මල්ලිලා සිටින සොයුරු සොයුරියන්ට, ඔවුන්ට උගන්වන ගුරුවරුන්ට, මේ වියේ දරුවන් ගැන දන්නා ජනතාවට මේ සංඛ්‍යාතිය පිළිගන්නට පුළුවන් ද?

මේ සොයාගැනීමට පදනම් වන්නේ කුමන සමීක්ෂණයක් ද?

මෙවැනි පදනම් විරහිත වාචාල කතා කියන නිලධාරීන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීතියක් නැද්ද?

“සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත,” යි විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස් පැවසුවේ සියවසකට පමණ පෙරයි. අද එය යථාර්ථයක් බවට පත් වී තිබෙනවා.

වැද්දාට ගොරකා දඩමස් කරන්නටත්, දඩමස් ගොරකා කරන්නටත් පුළුවන්. ඒ වගේ තමයි, විද්‍යාර්ථීන්, නිලධාරීන්, මාධ්‍යකරුවන්, දේශපාලකයන් හා ක්‍රියාකාරිකයන් සංඛ්‍යාති පාවිච්චි කරන්නෙත්.

තොරතුරු මත පදනම් වූ විධිමත් තීරණ ගැනීම සඳහා ගුණාත්මක දත්ත හා සංඛ්‍යා ලේඛන ඉතා වැදගත් වෙනවා. තිරසාර සංවර්ධන ඉලක්කවල 17වන ඉලක්කය මෙසේ යි: තිරසාර සංවර්ධනය ක්‍රියාත්මක කිරීම හා ඒ වෙනුවෙන් වන ගෝලීය සහභාගිත්වය පණගැන්වීම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම. රටවල් හා ආයතන තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම ආරම්භ කරමින් සිටින තත්වය තුළ විශ්වාසනීය හා කාලීන සංඛ්‍යාලේඛන හා දර්ශක අන් කවරදාටත් වඩා වැදගත්.

– අජිත් පැරකුම් ජයසිංහ

Please follow and like us:

5 thoughts on “වගකීම් විරහිත සංඛ්‍යාලේඛන: කුරුණෑගල නව යොවුන් ළමයින්ගෙන් 60%ක් කුඩු ගහනවා ද?

  1. පරිගණක තාක්ෂණය ජනතාවගෙන් ඈත් කරන්නත් හේතු වුණේ මෙවැනි බහුබූත මාධ්‍යවේදියෝ. නිල් චිත්‍රපට, ව්‍යාජ මුදල් නෝට්ටු තිබුණ හැමතැනම පරිගණක තිබුණ නිසා මැව්වේ වැරදි වැඩ සම්බන්ධයෙන් භීතිකාවක් නෙවෙයි., පරිගණක භීතිකාවක්.

  2. ඇබ්බැහිවුවන්න්ට පාසලක් තුල සැඟවී ඉන්න බෑ, හෙලිදරව්වෙනවා. සිසුන්ගෙන් 60% ඇබ්බැහි වෙලා නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනු ගැහැණු දරුවොත් බහුලවෙන්න වෙනවානේ, ඇබ්බැහිවීම කියන වචනය නිතර භාවිතා කරන්නන් ගෙන් බහුතරය එහි නියම අර්ථය නොදන්නා බවට නම් සැකයක් නෑ.

  3. ගිරිඋල්ල නගරයේ ඇපල් පෙති භාවිතා කරන 15 ත් 19 ත් අතර වයස් කාණ්ඩය 60% කෙසේ වෙතත් ඒ කාණ්ඩයේ බහුතරයක් වේ. පෙති අළෙවි කරන්නේද නගරය තුළම වෙනත් ව්‍යාපාර කරමින් සිටිනා පිරිස් විසිනි. මේවා ප‍්‍රසිද්ධ රහසිගත ස්ථානය. (ගිරිඋල්ල පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ය.)

    1. ගිරිවුල්ල, කුරුණෑගල පිහිටා ඇති නිසා ගිරිවුල්ලේ දත්ත කුරුණෑගල දත්ත ලෙස සැලකිය හැක. වැලිකඩ බන්දනාගාරයේ >90% රැඳවියන්ය, වැලිකඩ බන්දනාගාරය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේය, එනිසා ශ්‍රී ලංකාවේ >90% රැඳවියන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *