වණ්ණදාසි; වාර්තාවෙන් ඔබ්බට නවකතාව

 

වණ්ණදාසි

යන්නට පෙර ඔහු මගේ අත අල්ලා ගත් මොහොතේ, එක්තරා දුක්බර දවසක, කෑලි හැලේ යයි සිතෙන තරම් කබල් බස් රථයක පිටුපස ආසනයේ වාඩි වී අප අත් අල්ලාගෙන ගිය හැටි සිහියට නැගිණි.

එදා මෙන් ඔහුගේ අත උණුසුම් නැත. එය සීතල ය.

රිසානා මා වැළඳ ගනිද්දී, ඇගේ වමතෙහි වූ මුදුවක් මගේ ගෙලෙහි දැවටුණු කෙස් රොදක යන්තමින් පැටලී, ඇය යළිත් අත ආපසු ඇද ගන්නා වෙලාවේ සියුම් වේදනාවක් ඇති කළේය.
– වණ්ණදාසි, පි. 253

කත්‍යානා අමරසිංහ ලියූ වණ්ණදාසි නවකතාව කියවද්දී සිතට නැගුණු අදහසක් විස්තර කිරීමට හොඳම උදාහරණය අශෝක හඳගමගේ ‘තනි තටුවෙන් පියාඹන්න’ චිත්‍රපටය යයි සිතමි.

ස්ත්‍රී සමලිංගික යුවලක් පිළිබඳ වූ මෙම චිත්‍රපටයට පසුබිම් වන්නේ එකල පළ වූ පුවත්පත් වාර්තා කීපයකි. මූලික වාර්තාවේ තිබුණේ පිරිමි වෙස් ගත් ගැහැණියක තවත් ගැහැණියක සමග අඹු සැමියන් ලෙස ජීවත් වීමෙන් පසු එය හෙළිදරව් වීම පිළිබඳවයි. එම ව්වාහයේ අඹුව වූ ස්ත්‍රිය පොලිසියට කියා තිබුණේ සැමියා ගැහැනියක බව තමා නොදැන සිට් බවයි. ලිංගික එක්වීමකදී සිශ්නය වෙනුවට භාවිතා කළ හැකි ලිංගික කෙළිබඩු තිබේ. එහෙත් මෙහිදී භාවිතා වන්නේ කොහු මිටි කැබැල්ලක් වැනි දණ්ඩකි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ ස්ත්‍රී සමලිංගිකත්වය ගැන තිබු⁣ණේ බොළඳ ප්‍රකාශනයකි.

කත්‍යානා අමරසිංහ

සාමාන්‍යයෙන් පුවත්පත් වාර්තාවලදී පදනම් වන්නේ වැරදිකරුවන් හා වින්දිතයන් නීතියට අවශ්‍ය පරිදි පොලිසියට දෙන කටඋත්තර මත ය. පුවත්පත් වාර්තා මත පදනම්ව නිර්මානකරණයෙහි යෙදීම උගුලකි. නිර්මානකරුවා මේ උගුල කඩාගෙන යාමට සමත් විය යුතු ය. නැතිනම්, නවකතාවට / චිත්‍රපටපයට වාර්තාව ඉක්මවා යාමට නොලැබේ. නවකතාවක් යනු ඉතිහාස වාර්තාවකට වැඩි දෙයකි. එය යථාර්ථය වාර්තා කරනවා වෙනුවට එය කලාත්මක ලෙස ප්‍රතිනිර්මානය කරයි. මිනිසුන් අතර හා මිනිසුන් හා සමාජයන් අතර සියුම් අන්තර් සම්බන්ධතා හා ගැටුම් කලාත්මක ලෙස විවරණය කළ හැකි වන්නේ එසේ ය. පාඨකයා විඳින රසය හා ලබන ජීවිත ඥානය පුළුල් වන්නේ එමගිනි.

කත්‍යානා අමරසිංහ වණ්ණදාසි තුළින් මේ හා සම්බන්ධ දුබලතාවත්, ප්‍රබලතාවත් යන දෙක ම ප්‍රකාශ කරයි. අප ඉහත උපුටා දැක්වූයේ රූපකාර්ථ සහිතව, එවැනි අවස්ථාවක් සියුම් ලෙස චිත්‍රණය කර තිබෙන අවස්ථාවකි.

වණ්ණදාසි නවකතාවෙහි ප්‍රධාන චරිතය වන අමා රන්බණ්ඩාර ඇය වැඩ කරන තරුපති ටීවී ආයතනයේ සභාපතිවරයා සමග ඇති වන සම්බන්ධය හා ඇය එහිදී ස්වකැමැත්තෙන් පාවිච්චි වන ආකාරය මෙම නවකතාවේ නිරූපණයන් අතර අති විශිෂ්ට ය. එය සිංහල නවකතාවක එවැනි සම්බන්ධයක් නිරූපණය කර තිබෙන විශිෂ්ට ම සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීමක් ලෙස හැඳින්විය හැකි ය.

අමා සහ මව අතර, අමා සහ හසන් අතර මෙන් ම සමලිංගික පිරිමියකු වන සාෂා හා අමා අතර සම්බන්ධය වැනි අන්තර් සම්බන්ධතා නිරූපණය කර ඇති ආකාරය කත්‍යානාගේ විශිෂ්ටත්වයේ සංකේත ය.

එහෙත්, කත්‍යානාගේ මූලික දුබලකම වන්නේ දේශපාලනය සම්බන්ධයෙන් ඇගේ නො ගැඹුරු ඉදිරිපත් කිරීම් ය. මගේ අදහස නම්, ඇය දේශපාලන ඉදිරිපත් කිරීම්වලදී වාර්තාකරණය ඉක්මවා නවකතාව වීමට අසමත් වන බවයි.

එයට හොඳම උදාහරණය මාධ්‍යවේදී සේනක මාලියද්දගේ චරිත නිරූපණයයි. එය පැතලි සාධු චරිතයකි.

අමාගේ පියාගේ මරණය හා ඇගේ ලොකු මාමාගේ මරණය දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධි දෙකකි. එහෙත් එම චරිත හා සිද්ධි මැනැවින් ව්වරණය වන්නේ නැත.

නවකතාවේ අවසානය ද ව්‍යාජ එකකැයි මට සිතෙන්නේ එය දේශපාලනයෙන් පිරි අවසානයක් නිසා වන්නට පුළුවන. මා සිතන පරිදි, දේශපාලනය කලාවට හසු කර ගැනීමේදී ලංකාවේ සාහිත්‍ය කලාදිය ඉන්නේ බොහෝ පසුපසිනි.

එනමුත්, කාන්තාව මුහුණ දෙන විෂමතා, දේපල හිමිකාරිත්වයේ ගැටලු, ලිංගික බලපෑම්, ව්‍යවසායකත්වය, ලිංගික ශ්‍රමිකයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වැනි ප්‍රශ්න ස්පර්ශ කිරීමේදී කත්‍යානා සිය සංවේදීභාවය වඩා හොඳින් විෂධ කරයි.

කත්‍යානා ලියන්නේ රූපකාර්ථ බහුල බසකිනි. වණ්ණදාසි නවකතාවේ පසුබිමින් වාදනය වන බටනලාව ජනප්‍රිය සිංහල ගීත ඇසුරෙන් අමාගේ හැඟීම් ඉදිරිපත් කරන ආකාරය ද අපූර්ව ය. ඒ බටනලා වාදකයා කවුරු ද?

කතා කිරීමට තරම් දෙයක් ඇති නවකතා එතරම් නොලියවෙන පසුබිමක කත්‍යානාගේ වණ්ණදාසි අනිවාර්ය අවධානයට ලක් විය යුතු, කතා බහ කරන්නට යමක් ඇති හොඳ නවකතාවකි.

Please follow and like us:

One thought on “වණ්ණදාසි; වාර්තාවෙන් ඔබ්බට නවකතාව

  1. ඇය පේරාදෙණිය සහ නාට්‍යකලාව වැනි දේ සම්බන්ධ කරගනිමින් ලියූ ගීතයක් වැනි අපූරු ලිපියක් මා ලක්බිම පුවත්පතේ කියවා තියෙනවා. මේ පොතත් ලංකාවෙන් රැගෙන ආවත් තවම කියවන්නට අවකාශයක් ලැබුණේ නෑ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *