වරණ නවකතාව: ඉතිහාසය පසුබිම් කරගෙන කතා ලිවීම

වරණ නවකතාවවරණ නවකතාව කියෙව්වා. රසය බෙදාගත යුතුයි කියා සිතෙන නිසා මෙම සටහන තබනවා.

වරණ ලොකු ඉතිහාස අධ්‍යයනයක පසුතලය මත කරන ලද ප්‍රබන්ධමය වියමනක්. ඒ ඉතිහාස අධ්‍යයනය ලිඛිත ඉතිහාස කෘතිවල සිට ජනප්‍ර‍වාද හා පුවත්පත් ලිපි දක්වා පුළුල් පරාසයක විහිදෙනවා. එකී ඉතිහාස අධ්‍යයනයේ සියලු විස්තර මේ නවකතාවට ඇතුළත් කර තිබෙනවා යයි සිතෙනවා. එහි තිබෙන්නේ කිසිවක් නවකතාවෙන් අත් නොහැරීමේ ලෝභයක්. ඇතැම් දේ ඔබ්බා තිබෙනවා කිව්වත් වැරැද්දක් නැහැ. එසේ එබ්බීම සඳහා කතාවත් යම් යම් ආකාරවලට හැඩගස්වාගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස කෝපි වගාවේ ආරම්භය පිළිබඳ සඳහන් කිරීම් එසේ අත්හැර දැමීමට ලෝභ සිතුණු කාරණා යයි මට සිතෙනවා. ඒවා කතා ශරීරය සමග හොඳින් බද්ධ වෙන්නෙ නැහැ.

පද්මිනී සෙනෙවිරත්න වරණ නවකතාව නිර්මාණය කරන්නේ ඉතිහාසයක් කතාවකින් ඉදිරිපත් කරන්නට ය කියා මට සිතෙනවා. ඒ වකවානුව වනාහි 1818 වෙල්ලස්සේ කැරැල්ලත්, 1848 මාතලේ කැරැල්ලත් අතර වකවානුව ලෙස සැලකිය හැකියි. ඒ වකවානුවේ සිදු වූ ආර්ථික වෙනස්කම්, සංස්කෘතික පරිණාමය සහ මෝදු වෙමින් තිබුණු සමාජ අසහනය වරණ නවකතාවේ ස්පර්ශ වී යනවා.

මේ දේවල් එක්ක මිනිස් සම්බන්ධතා විකාශනය වන හැටි ගැන ගැඹුරු කියවීමක් නොවුණත් යම් සාධාරණ විග්‍ර‍යක් එහි සිදු වෙනවා. පැරණි සිංහල කතා කලාවේ සම්ප්‍රදායන් අනුව යන අධියථාර්ථවාදී ස්වරූපයක් ද එහි තිබෙනවා. පැරණි සිංහල පවුල හා ලිංගිකත්වය පිළිබඳ එහි ඉදිිරිපත් වන අදහස සංවාදයට භාජනය කළ යුතු පුළුල් විෂය පථයක් විවෘත කරනවා.

මෑත වකවානුවේ ලංකාවේ නවකතා කලාවේ ජනප්‍රිය වූ සම්ප්‍ර‍දායක් වන්නේ දෙබස් ඔස්සේ පසුබිම් විස්තර ඉදිරිපත් කිරීමයි. එය වරණ නවකතාවේ මූලික ලක්ෂණයක්. කන්ද උඩරට පරම්පරා ගණනාවක් තිස්සේ සිදු වූ දේ, ඉංග්‍රීසි පාලකයන් හා පිළිමතලව්වේ වැනි නිලමෙවරුන්ගේ විස්තර ආදිය කැළෑ කෝරාල සමග සංවාද කරන විවිධ පිරිස් ඔහුට කියනවා.

ඔහු සමග එකතු වී මේ විස්තර අපට කියන්නට ම ජෝන් ඩොයිලිගේ අවතාරයත් නවකතාවේ චරිතයක් වෙනවා. ඔහු විසින් ඉදිරිපත් කරන ලද විස්තර ඇතුළේ ශ්‍රී වික්‍ර‍ම රාජසිංහ රජුගේ කෘරත්වය පිළිබඳව ප්‍ර‍සිද්ධ කතා නවකතාකරුවා අභියෝගයට ලක් කරනවා.

ඒ අනුව පෙනෙන ආකාරයට රජුට එරෙහිව ජනමතය වෙනස් කිරීම සඳහා ඉංග්‍රීසීන්, ඔවුන්ට පක්ෂපාතී වූ උඩරට නායකයන්, ඇතැම් භික්ෂූන් හා පිලිප්පු සිංඤෝ වැනි නාඩගම් කලාකරුවන් විසින් සැලසුම් සහගත ‘මාධ්‍ය මෙහෙයුමක්’ දියත් කර තිබෙනවා.  මාධ්‍ය මෙහෙයුමක් කියන යෙදුම එතනදි වැදගත්. හේතුව පද්මිනී සෙනෙවිරත්න ඉතිහාසයේ සිදුවීම් දෙස බලද්දි බොහෝ විට එවැනි නූතන සංකල්ප රාමු ඔස්සේ ඉතිහාසය කියවන ආකාරයක් දකින්නට ලැබෙන එකයි.

පරම්පරා කීපයකට ඉහත අතීතයේ ජන ජීවිතය ගැන හරි විස්තරයක් සොයා ගන්නට පුළුවන් ඒ වකවානුවේ නිල ලේඛන, සාහිත්‍ය කලා ආදියෙනුයි. ඒත්, 19වන සියවසේ මුල් යුගය පිළිබඳ පූර්ණ චිත්‍ර‍යක් නිර්මාණය කර ගන්නට තරම් මූලාශ්‍ර‍ අප සතුව නැහැ. කොච්චර මූලාශ්‍ර‍ තිබුණත් පරිකල්පනයට තිබෙන ඉඩකඩ සීමා වෙන්නෙත් නැහැ. ඓතිහාසිකව කොයි තරම් තහවුරු වෙලා තිබෙන දෙයක් ගැන වුණත් අලුත් පරිකල්පනයක් කරන්නට නවකතාකරුවාට නිදහස තිබෙනවා. එය කලාකරුවන්ට සුවිශේෂ වූ වරප්‍ර‍සාදයක්.

ඉතිහාසය පාදක කරගත් නිර්මාණ කරද්දි අපට මුහුණ දෙන්නට සිදු වන තවත් එක් තත්වයක් වන්නේ අප ඉතිහාසය කියා ලියන්නේ ඇත්තට ම වර්තමානය වන්නට තිබෙන ඉඩයි. එයට හේතුව, අපට වර්තමානය විසින් නිර්මාණය කර දී තිබෙන සංකල්ප රාමුවෙන් මිදෙන්නට ඉතා අපහසු වීම. වරණ නවකතාව ඇතුළු බොහෝ නවකතාවල මේ ලක්ෂණය දකින්නට ලැබෙනවා. ඒක වරදක් ය කියා මා කියන්නේ නැහැ. ඉතිහාසය මත පදනම්ව වර්තමානය ලියන්නට වුව නවකතාකරුවාට නිදහස තිබෙනවා. වර්තමානයේ උගුලේ සියලු වරපටවලින් මිදෙන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. එහෙම නොමිදෙන එක තුළින් වුණත් කලාව උපදිනවා.

සමාජ දැක්ම පැත්තෙන් ගත් විට වරණ යනු ගතානුගතික ජාතිකවාදී ඉතිහාස කතිකාවේ සීමා තුළ රැඳෙන කෘතියක්. අහිමි වූ අතීත ශ්‍රී විභූතියක් පිළිබඳ ව්‍යාජ පශ්චාත්තාපයක් සහ නූතනවාදයට විරුද්ධ ආස්ථානයක් එහි දක්නට ලැබෙනවා. ජනප්‍රිය හා ගතානුගතික යටත් විජිත විරෝධය එහි සීමාවන් නිර්ණය කරනවා.

හැබැයි, වරණ කියවීම රසවත් අත්දැකීමක්. එහි හොඳ කතා රසයක් ගැබ්වෙනවා.

Please follow and like us:

4 thoughts on “වරණ නවකතාව: ඉතිහාසය පසුබිම් කරගෙන කතා ලිවීම

  1. //ඒ වකවානුව වනාහි 1918 වෙල්ලස්සේ කැරැල්ලත්, 1948 මාතලේ කැරැල්ලත් අතර//
    පොඩි අත්වැරැද්දක් තියෙනවා නේද?

  2. “1818 වෙල්ලස්සේ කැරැල්ලත්, 1848 මාතලේ කැරැල්ලත් අතර ” විය යුතුයි. කමෙන්ට් පළ කරන්න අවශ්‍ය නැහැ. මකල දාන්න.

  3. 1818 වෙල්ලස්සේ කැරැල්ලත්, 1848 මාතලේ කැරැල්ලත් ලෙස නිවැරදි විය යුතු යැයි සිතමි.

  4. Appreciate you writing this introduction. I wouldn’t know of this novel otherwise. By the way the years 1815 and 1848 have been mis-typed as 1915 and 1948 here.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *