වාරණය අත්තනගල්ල කර ගැනීම

man kelin minihekකලා කෘති සම්බන්ධයෙන් පසුගිය දිනවල සිදු වූ රාජ්‍ය වාරණයන් හා වෙනත් අංශවලින් වාරණය සඳහා කරන ලද බලපෑම් හේතුවෙන් ලංකාවේ මේ වන විට වාරණය සම්බන්ධයෙන් කතිකාවක් ඇති වී තිබේ. නිදසුනක් ලෙස, සකලවිධ වාරණයන්ට එරෙහි විය යුතු ය යන රැඩිකල් ස්ථාවරය සමාජ මාධ්‍යවල හා කලාකරුවන් අතර ජනප්‍රිය වෙමින් තිබේ.

මේ කලාකරුවෝ ම කලාවට අතහිත නොදෙන බවට රජයට චෝදනා කරති. රජයෙන් අනුග්‍ර‍හ යදිති. සුබසාධනය අපේක්ෂා කරති.

මේ කලාකරුවන් අතරින් කොටසක් රජය අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය පමණක් නොව පෙට්‍ර‍ල් ගැසීම, හාල් බෙදීම වැනි දේ ද ඒකාධිකාරී ලෙස පාලනය කළ යුතු යයි විශ්වාස කරති. ඔවුන්ට දැවැන්ත රජයක් අවශ්‍ය ය. එහෙත්, රජයේ නිලධාරීන් හා දේශපාලකයන් ශක්තිමත් නොවීම ද අවශ්‍ය ය. රජය ආයුධ සන්නද්ධ වීම ප්‍ර‍ශ්න කරන එක ද ඇතැමෙක් ප්‍ර‍ශ්න කරති. දැවැන්ත රජයක අවශ්‍යතාව කතා කරන ගමන් අහිංසක රජයක් ගැන කතා කිරීම ලංකාව වැනි රටක නම් එසේ මෙසේ විහිළුවක් නොවේ.

කලාවට රජය පටලවා ගන්නා ගමන් රජය වාරණය පමණක් නොකළ යුතු යයි සිතීම තේරුමක් නැත.

රජයක් නොමැති සමාජයක් පිළිබඳ සිතන්නට තරම් ලොව කිසිදු ජන සමාජයක් දියුණු වී නැත. ශ්‍රී ලංකාව ගැන නම් කතා කරන්නට හෝ දෙයක් නැත. ලංකාවේ තිබෙන්නේ සමාජයට ගැලපෙන පසුගාමී රජයකි. ලංකාවේ කලාව ද එයට දෙවෙනි නැත.

නූතන නොවන දැනුම් පද්ධති මත පදනම් වූ බලවත්, ආවේගශීලී ප්‍ර‍ජාවන් කුපිත කරගෙන ප්‍ර‍සිද්ධ වීමේ කලාවේ පිකාසෝලා ද කලාකරුවන් අතර සිටිති.

ඔබ කලාව කරන්නේ සමාජය වෙනස් කිරීම වැනි අරමුණකින් නොවූවත්, ඔබගේ අදහස් ප්‍ර‍කාශනය වුව හුදෙක් විමෝචනයක්  පමණක් කරගන්නට ඔබට උවමනා නැත. සෑම කලාකරුවකුට ම තම කෘතිය සමාජය රසවිඳීම අවශ්‍ය ය.

සමාජය සම්බන්ධයෙන් රජයට තිබෙන ආධිපත්‍යය තුළ රජය කලාකෘති සමාජ තීරු වෙනුවෙන් ශ්‍රේණිගත කිරීමට ඉදිරිපත් වන්නා සේ ම එම කොන්දේසි උල්ලංඝනය කළ විට වාරණය කිරීමට ඉදිරිපත් වීම ද ගැන පුදුම විය යුතු නැත.

ප්‍ර‍කාශනයේ නිදහස යනු හුස්ම ගැනීමේ නිදහස වැන පරම අයිතියක් නොවේ. ශිෂ්ටත්වය යනු ම ප්‍ර‍කාශනයේ නිදහස වාරණය කරගැනීමකි. ඒ නිසා කිසිදු ආකාරයක වාරණයකින් තොරව කලාවට අවසර ඉල්ලා සිටීම හුදු ෆැන්ටසියක් පමණි.

අනෙක් පැත්තෙන් කලාවත්, සමාජයත් යනු මාළුවාට වතුර වැනි දෙයකි. කලාව පවතින්නේ සමාජයේ ය. සමාජයෙන් තොරව කලාවකට පැවැත්මක් නැත. යමක් කලාවක් වන්නේ එය රස විඳින විට ය. කලාකරුවා යනු සමාජය සමග සියුම් ගනුදෙනුවක යෙදෙන්නෙකි. එය කැරැල්ලක් විය හැකි ය. එහෙත්, එය කළ යුතුව තිබෙන්නේ සියුම් ලෙස ය. ගාල කඩාගෙන යන හරකුන් සේ නොවේ.

නූතන නොවන දැනුම් පද්ධති මත පදනම් වන්නන් හා බලවත් අන්තවාදීන් කුපිත කරවා ගැනීම ඔස්සේ විරුද්ධ සමාජ කණ්ඩායම් අතර ජනප්‍රිය වන්නට උත්සාහ කිරීම ද, රජය ලවා තහනම් කරවාගෙන ප්‍ර‍සිද්ධ වන්නට උත්සාහ කිරීම ද බොළඳ ක්‍රියා ය.

කලාකරුවන් නිර්මාණ කරන්නට රජයෙන් අවසර ගත යුතු නැත. එහෙත්, රජයක් ඇති බව හා සමාජයේ විවිධත්වය නොතකා නිර්මාණ කරන්නට යාම ද එතරම් හොඳ තත්වයක් නොවේ. කලාවට ද සමාජ සම්මුතියක් ඇත. සමාජ සම්මතයන් පුපුරුවා හැරීම පවා කළ හැක්කේ යම් සම්මුතීන් තුළ ය. අරගලය යනු උපායමාර්ග මිස හුදු පරමාදර්ශ නොවේ. එසේම මෙය වාරණයට පක්ෂව ලියූ සටහනක් ද නොවේ.

– අජිත් පැරකුම් ජයසිංහ

Man Kelin Minihek

 

Please follow and like us:

2 thoughts on “වාරණය අත්තනගල්ල කර ගැනීම

  1. ජීවිතේ හැම සිදුරකට ම රජය ඇගිලි ගැසිය යුතුයි කියන අය කලාවට විතරක් එහෙම නොවිය යුතුයි කියන එක විකාරයක්. උසස් අධ්‍යාපනය රජය විසින් විතරක් ලබා දිය යුතුයි, රජය බස්, කෝච්චි ධාවනය කළ යුතුයි, හාල් සිල්ලර විකිණිය යුතුයි, පෙට්‍රල් ගහන එක පවා කළ යුතුයි කියලා කටින් කියන ගමන් කලාවට අත නොතැබිය යුතුයි කියන්නෙ මොන පැත්තෙන් ද?

    ප්‍රකාශනයේ නිදහස කියන එක පරමාදර්ශයක් නෙමෙයි. රාජ්‍යයක් ඇතුළෙ ඒක නියාමනය කළ යුතුයි. ශිෂ්ටත්වය කියන්නෙම ප්‍රකාශනයෙ නිදහස සීමා කිරීමක්. රජයක් තියෙනවා නම් කලා සංස්කෘතික අවකාශයෙදි ඒ රජයට නියාමනයන් කරන්නට සිදු වෙනවා. ඒකෙ එක අන්තයක් තමයි වාරණය.

    දැවැන්ත පොලිසියක් නැතිව දැවැන්ත රජයක් පවත්වාගෙන යන්න බැහැ. දැවැන්ත රජයක් ඉල්ලා සිටින ගමන් රජයට ආයුධ මොකට ද අහන එක මාර විරුද්ධාභාසයක්. කලාවෙදි නවලිබරල් වෙමින් ආර්ථිකයෙදි සමාජවාදී වෙන්න හදන එක පට්ට ජෝක් එකක්.

    මාත් අත්තනෝමතික වාරණයට විරුද්ධයි. ඒත්, හැම වාරණයකට ම විරුද්ධ නැහැ. රැලි ආවට අපි ගහගෙන යන්නෙ නැහැ. අපි පෙනී ඉන්නෙ නියාමනයක් සහිත වෙළඳපොළක් වෙනුවෙන්. ඒක කලාවටත් අදාළයි. අපි පරස්පර නැහැ. අපට පාර පැහැදිලියි.

  2. අජිත් තර්කයේ ඇති වැරැද්ද මෙයයි.
    රාජ්‍යයේ මූලික කාර්යය නම් මහජනතාවෙන් බදු අය කර, ඒ බදු මුදල් ජනතාවගේ යහපත පිණිස නැවත බෙදා හැරීමයි. ලෝකයේ හැම රාජ්‍යයක්ම කරන්නේ මූලිකවම ඒ කාර්යයි. රජය විසින් කළ නොකළ යුතු දේ ගැන කතා කිරීම යනු, ඒ බදු ආදායම කොයි ලෙසින් නැවත බෙදා හැරිය යුතු ද යන කාරණය ගැන කෙරෙන පුරවැසි සාකච්ඡාවයි. දේශපාලනය කියන්නේ ඒ සාකච්ඡාවටයි. රජයේ බදු ආදායමෙන් කොපමණ කොටසක් කලාව වෙනුවෙන් වැය කළ යුතු ද යන්නද ඒ සාකච්ඡාවේ කොටසකි.

    මීට අමතරව රජය විසින් නීතිය හා සාමය පවත්වාගෙන යෑමද අපේක්‍ෂා කෙරේ. ඒ පිළිබඳව කතා කිරීමද ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. කලා කෘති වාරණය යනු නීතිය පිළිබඳ ප්‍රශ්නයකි.

    කලා කෘති වාරණය කළ යුතු ද, කළ යුතු නම් ඒ කවර පදනමක මත ද යන්න, නීතිය හා සමය පවත්වාගෙන යෑමේ රජයේ කාර්යය පිළිබඳ ඇති කතා බහේ කොටසකි. වාරණය පිළිබඳ සාකච්ඡා කිරීම හෝ එයට විරුද්ධ වීම යනු, මරණ දඬුවමහෝ වෙනත් නීතියක් පිළිබඳ සාකච්ඡා කිරීම හෝ ඒවාට විරුද්ධ වීම වැනි තවත් ප්‍රජා අයිතියකි.

    බදු ආදායම බෙදා හැරීමේ සූත්‍රය පිළිබඳ සාකච්ඡා කළා ය කියා, වාරණය ගැන සාකච්ඡා කිරීමේ අයිතිය අහෝසි නොවේ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *