වාර්ගික ගැටුම් සම්බන්ධ මංගලගේ යෝජනාව ක්‍රියාත්මක කරනු!

මංගලගේ ට්වීට් පණිවුඩය

රටේ ඇති වී තිබෙන ජාතිවාදී කලබල පාලනය කිරීම සඳහා දින 10කට හදිසි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ. හදිසි නීතිය විසින් විශේෂයෙන් ම ආරක්ෂක හමුදාවලට සිවිල් කටයුතු සඳහා මැදිහත් වීමට වැඩි බලතල ප්‍ර‍මාණයක් ලබා දෙයි.

තත්වය පාලනය කිරීමට පොලිසිය අසමත් බව අම්පාර හා දිගන, තෙල්දෙනිය සිදුවීම්වලින් ඔප්පු වීම මෙම තීරණය ගැනීමට හේතුව බව පැහැදිලි ය. අවස්ථානුකූලව එහි වරදක් නැත.

මෙවැනි ජාතිවාදී රැළි පැන නැගීමට මූලික හේතු කීපයක් තිබේ.

  • දේශපාලන වාසි ගැනීම සඳහා ජාතිවාදය පාවිච්චි කිරීම
  • ජාතිවාදයට එරෙහිව ක්‍රියා කිරීමට සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, ආණ්ඩුව හා රජය පසුබට වීම
  • ව්‍යාපාරික තරගකාරිත්වයන්
  • මාධ්‍ය තරගකාරිත්වය
  • සමාජ මාධ්‍ය වගකීම් විරහිතබව
  • සමාජය ඉහවහා පැතිර පවතින අවිද්‍යාව හා මිථ්‍යා විශ්වාස
  • බහුතර වාර්ගික හීනමානය හෙවත් තමන්ට අහිමි වූ යමක් සුුළු ජාතීන්ට ඇතැයි සිතීම
  • සුළු ජාතික ජාතිවාදය හෙවත් මහ ජාතිය කුපිත කරන චර්යා
  • සමාජ පසුගාමිත්වය

ජාතිවාදය ඉතා පහසුවෙන් ජනප්‍රිය කළ හැකි ය. එය මත යැපෙන්නෝ එක පැත්තකින් එයින් ධනය හා කීර්තිය ද උපයා ගනිති.

අවිචාරවත් වීම ඉතා පහසු ය. අපහසු කාරණය නම් විචාරවත් වීමයි. අධ්‍යාපන පද්ධතිය, ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, කටකතා ආදී මේ සියල්ල අති සරල අවිචාරයක් ප්‍රවර්ධනය කරන තත්වයක් තුළ සමාජ විචාරශීලිත්වය වෙනුවෙන් දැවැන්ත අරගලයක් කළ යුතුව තිබේ. එහෙත්, ඒ වෙනුවෙන් රජය හෝ සිවිල් සමාජය හෝ ප්‍ර‍මාණවත් ලෙස උර දෙන්නේ නැත. සිරස, හිරු, දෙරණ වැනි රූපවාහිනී හා ඒ හා සම්බන්ධ රේඩියෝ ද ලංකාදීප, දිවයින, මව්බිම වැනි පුවත්පත් ද, සිය ගණනක් ඕපාදූප වෙබ් අඩවි ද, කිසිදු ආචාර ධර්මයක් නො දත් සමාජ මාධ්‍ය ගැහැණු හා පිරිමි ද අවිචාරය අවුළුවන තරමට සාර්ථකව එයට මුහුණ දෙන්නට සමත් ප්‍ර‍ගතිශීලී ජන අරගලයක් සමාජයේ නැත.

මෙම තත්වය තුළ දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විසඳුමක් නැත. කිසිදු ජාති භේදයකින් තොරව සියලු ජාතිවාදී ප්‍ර‍චණ්ඩත්වයන් අනුකම්පා විරහිතව මර්දනය කළ යුතු ය. අවශ්‍ය නම් වෙඩි තැබීම වුව කළ යුතු ය.

එහෙත්, ජාතිවාදී නො වන සිදුවීම්වලට ජාතිවාදී අර්ථකථන නො සැපයීමට ද වග බලා ගත යුතු ය.

විශේෂයෙන් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය දැඩි පාලනයකට ලක් කළ යුතුව තිබේ. මේ කාරණය ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින අයගේ විරෝධයට ලක් විය හැකි වුවත්, මම ඒ වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිමි. ලංකාවේ ජනමාධ්‍යවලට ස්වයංව නියාමනය වන්නට බැරි බව පමණක් නොව, ජනමාධ්‍ය නිදහස ඔවුන් වල් බූරු නිදහස ලෙස වරදවා වටහා ගන්නා බව ද පසුගිය අවුරුදු තුන තුළදී ඔප්පු විය.

ලංකාවේ ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව දුර්වල ය. ඔවුන් මාධ්‍ය සමග අන්තර් ක්‍රියා කරන හැටි පසුගාමී ය. එවන් ජනතාවක් අතට සමාජ මාධ්‍ය මෙවලම පත් වීමෙන් සිදු වී ඇත්තේ දැවැන්ත විනාශයකි.

මාධ්‍ය සම්බන්ධයෙන් ඇත්තේ ආචාර ධර්ම විරෝධයකටත් වඩා නීති විරෝධී ස්වභාවයකි. අපරාධකාරී ස්වභාවයකි. මේවා ශික්ෂණය කළ යුතුව තිබේ.

ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර ට්වීට් පණිවුඩයක් මගින් පවසන අදහස මේ මොහොතේ ඉතා දේශපාලනික ය. එය ක්‍රියාත්මක කළ යුතු ය.

  • වාර්ගික ප්‍ර‍චණ්ඩත්වය ඇප දිය නො හැකි චෝදනාවක් බවට පත් කර නඩු ඇසිය යුතු ය.
  • වැරදිකරුවන්ගේ ප්‍ර‍ජා අයිතිය අහෝසි කළ යුතු ය.

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *