වැරදි සමාජ මාධ්‍ය විතර ද? දිවයින ගැන මොක ද කියන්නෙ?

burnt shop in kandy
ගිනි තබන ලද මහනුවර ප්‍රදේශයේ වෙළඳසලක්

ලංකාවේ ඇති වූ වාර්ගික ගැටුම් ඇවිළවීම සඳහා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හා වට්සැප් වැනි පණිවුඩ සන්නිවේදන මාධ්‍ය ඉවහල් වූ බවට චෝදනා එල්ල වේ.

මේ පිළිබඳ මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මෙසේ පැවසී ය: ‘දිගු කලක් තිස්සේ වෛරී ප්‍රකාශ සහ ප්‍රචණ්ඩ කුපිත කිරීම් නො තකා හරිනු ලැබුවේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය නිදහසේ නාමයෙනි. එය නතර විය යුතු ය. එවැනි ක්‍රියාවල යෙදෙන අයට එරෙහිව නීතියේ සියලු විධිවිධාන ක්‍රියාත්මක වනු ඇත.’

දෝෂාරෝපණය මූලික වශයෙන් එල්ල වන්නේ ෆේස්බුක් වෙතයි. එහි වරදක් නැත. කිසිදු විධිමත් මාධ්‍ය අධ්‍යාපනයක්, වගකීම්සහගතබවක්, ආචාරධර්මයක් නැති පිරිසක් පසුගිය සමයේ ලක්ෂ ගණන් පාඨකයන්ට ෆේස්බුක් හරහා සන්නිවේදනය සිදු කරන පේජ් ඇඩ්මින්ලා බවට පත් වූ අතර, ඔවුන් හිට් ලබා ගැනීම වෙනුවෙන් නො කළ ජරා වැඩක් නැත. ඒ අතර, අල්ලේ පැළ වෙන බොරු, නොමග යැවීම්, අපහාස, අපචාර පමණක් නොව අපරාධ ක්‍රියා ද තිබිණි. ඒ පිළිබඳ කිසිවෙකු සැලකිලිමත් වූයේ නැත. ඒ සියල්ල ආවරණය කර ගත්තේ මාධ්‍ය නිදහසේ නාමයෙනි.

වගකීමක් නැති මාධ්‍ය භාවිතාව සමාජ මාධ්‍යවලට සීමා වූයේ නැත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද වගකීමකින් තොර අන්තර්ගතයන් සීමාවකින් තොරව මුදා හරිමින් සිටියි. බොහෝ ඒවා කෙළින් ම ජාතිවාදය ඇවිළවීමට ඉවහල් නො වන මුත්, ඒවා මිනිසුන් මෝඩයන් කිරීම සඳහා හේතු වේ. ඇතැම් ඒවා කෙළින් මිථ්‍යාව, අවිද්‍යාව, අවිචාරය හා වෛරය ප්‍රවර්ධනය කරන ආකාරය ඉතා සුලබ ය.

පසුගිය තුන් වසර තුළ රජයේ මාධ්‍ය සිය ගුණාත්මකභාවය හා මධ්‍යස්ථබව වැඩි කර ගන්නට උත්සාහ කරන අතරතුර, පෞද්ගලික මාධ්‍ය වැඩි වැඩියෙන් ගුණයෙන් පිරිහෙමින් ලාබ වෙළඳපොළට යොමු විය. මේ සඳහා හොඳ ම උදාහරණ වන්නේ සිරස, හිරු, දෙරණ වැනි රූපවාහිනී හා ඔවුන්ට සම්බන්ධ රේඩියෝ, නෙත් එෆ් එම් වැනි රේඩියෝ ආදියයි. තාක්ෂණික පැත්තෙන් ඔවුන් දියුණු වන්නට පුළුවන. එහෙත්, අන්තර්ගතය පැත්තෙන් ඉතා ම පසුගාමී විය.

පහත දැක්වෙන්නේ පසුගිය ඉරිදා, මාර්තු 4දා, දිගන ගිනි ගනිමින් තිබියදී පළ වූ දිවයින පුවත්පතෙන් උපුටා ගත් ලිපියකි. මෙවැනි මාධ්‍ය භාවිතාවන් ද පිටුදැකිය යුතු ය. මෙම ලිපියේ විශේෂයෙන් ම මුල් කොටස්වල තිබෙන මූලාශ්‍ර රහිත ඕපාදූප, ප්‍රචණ්ඩ ක්‍රියා වීරත්වයට නගමින් විස්තර කර තිබෙන ආකාරය ආදිය ජනතාව නො ම යවන හා ගැටුම් අවුළුවන්නට හේතු වන ඒවායි.

වඳ පෙත්ත ගැන වද වෙන්න හේතුව මෙන්න

vadaවඳ පෙති කථාව කරළියට එන්නේ කලක සිටය. තැන් තැන්වලින් ඇති හෝටල් වලින් වඳ පෙති දමන බව විටින් විට අවස්‌ථා ගණනාවකම තොරතුරු ආනාවරණය විය. දියතලාව ප්‍රදේශයේදී මාස කිහිපයකට පෙර මෙවැනි කථාවක්‌ ඇති වුණි. සියඹලාකොටුව ප්‍රදේශයේ ආපන ශාලාවකද මාස 03 කට ඉහතදී මෙවැනි කතාවක්‌ මතු විනි. ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිසුවකු මීට මාස කිහිපයකට පෙර මා හට පැවසුවේ අයියේ ලැබෙන කෑම ගැනනම් කියලා වැඩක්‌ නැහැ. අපට සමහර දවස්‌වල එළවළු වල පෙති තිබිලත් හමුවුණා යනුවෙනි. නමුත් අයියේ මේක පත්තරේ දාන්න එපා. මොකද අපිට ලොකුම ගැටලුව තියෙන්නේ පාරිපාලනයත් එක්‌ක. මේවා දැම්මොත් අපිට තවත් ගැටලුවක්‌ වෙයි යනුවෙන් ඔලුවිල් විශ්වවිද්‍යාලෙයේ සිසුවෙක්‌ පැවසුවේය. මේ ආකාරයෙන් තවත් බෙහෝ තැන් වලින් ඇසුන වඳ පෙති කතාව මෙකක්‌ද යනුවෙන් හැමෝටම ගැටලුවක්‌ව පැවතිණී.

මේ කතා කුමක්‌ වුවත් වද පෙත්තක කතාවක්‌ නිසා පසුගියදා අම්පාර නගරය ගිනියම් වූවේය.

අම්පාර නගරයේ පන්සල් හංදියට නුදුරින් ඇති කාසීම් හෝටලයට බොහෝ දෙනෙක්‌ ගොඩවදින්නේ කටට රසට හොඳ කොත්තුවක්‌ කෑමටය. එසේ නැතිනම් ෆ්‍රයිඩ් රයිස්‌ එකක්‌ කෑමටය. පසුගියදා තරුණයන් තුන්දෙනෙක්‌ අම්පාර කාසීම් හෝටලයට ගොඩවූයේ වෙනදා මෙන් රසට කොත්තුවක්‌ කෑමටය. කොත්තු කතාව මෙච්චර දුරක්‌ යෑයි කියා එම තරුණයින් ද සිතන්නට නැතිව ඇත. හෝටලයට ගිය පසු මද වේලාවක්‌ යද්දී ඔවුනට දුම් දා සුවඳ හමන කොත්තුවක්‌ ලැබෙන්නට විය. ඒ සමග ලබා දුන් මස්‌ හොද්ද නිසා හෝටල් හිමියන් කිසිදා අපේක්‌ෂා නොකළ සිදුවීමක්‌ ඇතිවන්නට වූහ. එහි තිබුණ භාගෙට දියවුණ යමක්‌ මෙම තරුණයන්ගේ නෙත ගැටුණි. මොනවද භාගෙට දිය වෙලා තියෙන්නේ. මුන් අපට වඳ පෙති දාලාවත් දෙනවාද කියා ඔවුන්ට සිතුණි.

vada1සැනෙකින් මුදල් අයකැමිගෙන් මේ පිළිබඳ විමසා සිටින්නට වූහ. ඇත්ත කියපල්ලා උඹලා කෑමවලට වඳ පෙති දානවා නේද? යනුවෙන් විමසා සිටියදී නිරුත්තරුවූ ඔහු නෑ නෑ යනුවෙන් පවසා සිටින්නට වූවේය. නැවතත් තරුණයන් ඇත්ත කියනවා මේ වඳ පෙති නේද උඹලා මේවා කෑමවලට දානවා නේද? යනුවෙන් දැඩිව පවසා සිටි කල ඔව් යනුවෙන් ඔහු පවසා සිටියේය.

මොහොතක්‌ ගත වුණි. මෙම සිදුවීම දැනගත් සැනින් එම ස්‌ථානයට සියකට ආසන්න තරුණයන් පිරිසක්‌ එකතුවී වඳ පෙති දමා අහාර දුන්නා යෑයි කියු වෙළෙඳසලට පහරදී කඩා බිඳ දමන්නට වූහ. ඒ ආසන්නයේ තිබූ වෙළෙඳසලේ තිබූ ගෝනි ගෙන මහා පාරට දමා ගිණී තබන්නට වූහ. ඉන් නොනැවතී එම ස්‌ථානයට මදක්‌ දුරින් තිබුණු ආගමික මධ්‍යස්‌ථානයට සහ තවත් වෙළෙඳසල් දෙකකට සහ පහර දෙන්නට මෙම පිරිස පිටත්වන්නට විය. අම්පාර නගරයේ මළ ගෙවල් කිහිපයක්‌ තිබෙන අතර ඒවාට සහභාගි වෙමින් තිබුණු ඇතැම් පිරිස්‌ සහ එහෙන් මෙහෙන් දැනගත් විශාල පිරිසක්‌ මෙම ස්‌ථානයට පැමිණෙන්නට වූහ. මෙම ආගමික ස්‌ථානය ආසන්නයේ වෙළෙඳසලට පහර දෙන්නට උත්සාහ කරන විට පොලිසීය එය පාලනය කරන්නට දැඩි උත්සාහයක්‌ ගන්නා ලදී. නමුත් කෙසේ හෝ කලහකාරී පිරිස මෙම වෙළෙඳසලට පහර දුන් අතර ගිනි තබන්නට පොලිසියෙන් ඉඩ නොදෙන ලදී.

vada2ඒ අවස්‌ථාවේදී සැනකින් පිරිස ආගමික මධ්‍යස්‌ථානය තිබුණු භූමියට පැන යන්නට වූහ. සිද්ධිය එසේ වන විට කලහකාරීන් පාලනය කරන්නට පොලිසිට නොහැකි වන ලදී. එහි තිබුණු වෑන් රියක්‌ පෙරළා ගිනි තැබූ අතර ලොරි රථ තුනකට සහ යතුරුපැදි කිහිපයටද පහර දෙන්නට වූහ. එම ආගමික මධ්‍යස්‌ථානයේ තාප්පයටද පහරදී පෙරළා දමන්නට වූහ. එම අවස්‌ථාවේ සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ගෙන්වා කලහකාරී පිරිස පාලනය කරන්නට පොලීසිය විසින් කටයුතු යොදන්නට වූහ. මෙම සිදුවීම නිසා එම අවස්‌ථාවේ ආගමික සිද්ධස්‌ථානයේ සිටි තිදෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කරන්නට විය.

මෙම සිදුවීම සිදුවු ස්‌ථානයට ඒ මොහෙතේ පැමිණි අම්පාර මහා දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා සහ අම්පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා ඇතුළු පොලිස්‌ නිළධාරීන් සහ 24 වැනි සේනාංකයේ සේනාංකාධිපති මහින්ද මුදලිගේ මහතා ඇතුළු ආරක්‌ෂක අංශ නිළධාරීන් සමග අලුයම 4.00 වන තෙක්‌ මෙම ස්‌ථානයේ සිට මෙම ගැටුම දුර දිග යැම වැලැක්‌වීම සඳහා ගතයුතු පියවර යොදා මාර්ගවලට විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්නට වුහ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවයක්‌ මතු නොවුනි. ඒ නිසා වෙරළබඩ තීරය ඇතුළු ප්‍රාදේශවල තත්ත්වය සාමන්‍ය ලෙස පැවතුනි. මනා ආරක්‌ෂක පියවරක්‌ තිබීමද එයට එක්‌ හේතුවක්‌ වන්නට ඇත.

27 වැනිදා උදෑසන මෙම සිදුවීමට විරෝධය පාමින් අම්පාර අක්‌කරපත්තුව මාර්ගයේ කොළතාවලි හංදියේ ටයර් සහ කොන්ක්‍රීට්‌ කණු දමා මාර්ගය හරස්‌ කර තිබුණ අතර විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් විසින් ඒවා ඉවත් කරන ලදී. කෙසේ නමුත් අම්පාර දිස්‌ත්‍රික්‌කය පුරා දැඩි විරෝධයක්‌ ඇතිවෙන බවට විවිධ කටකතා දිගින් දිගටම ප්‍රචාරය වෙමින් එහේ ගහනවා මෙහේ ගහනවා යනුවෙන් විවිධ අදහස්‌ වේගයෙන් පැතිරෙන්නට විය. නමුත් යුද හමුදාව පොලිසිය විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්‌ෂක නිළධාරීන් ඉතා හොඳින් සිද්ධිය පාලනය කරමින් මෙම සිදුවීම පිළිබඳව එම ආහාර මිලදී ගත් තරුණයකු අම්පාර පොලිසියටද පැමිණීලි කර තිබෙන අතර එම ආහාර සාම්පලය අධිකරණ නියෝගයක්‌ ගෙන වැඩිදුර පරීක්‌ෂාව සඳහා රජයේ රස පරීක්‌ෂකවරයා වෙත යොමු කරන බව අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිළධාරියකු පැවසුවේය.

මෙම ගැටලුව විසඳීම සඳහා 27 වැනිදා දහවල් අම්පාර දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්‌ෂක අංශ සහ අදාළ පාර්ශවයේ දේශපාලන නායකයන් සාකච්ඡාකර මෙම ගැටලුව සාමකාමිව විසඳීමට කටයුතු කිරීමට සාකච්ඡා ‘කරන ලදී. දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, ශ්‍රියානි විඡේවික්‍රම, ඇතුළු පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් ද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. මේ වන විට අම්පාරේ ප්‍රදේශයේ තත්ත්වය සාමකාමී අයුරින් පවතින අතර ප්‍රදේශයේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව සහ පොලිසිය යොදවා දැඩි ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ යොදා ඇත. ඒ නිසා බොහෝ ප්‍රදේශවලට සහ ආගමික මධ්‍යස්‌ථානවලට දැඩි රැකවල් යොදවා ගැටුම් ඇතිවීම පාලනය කරන්නට වූහ.

මේ සම්න්ධයෙන් රිෂාද් බදියුදීන් ඇමැතිවරයා විසින් ජනපතිට සහ අගමැතිවරයාට නිසි පරීක්‌ෂණයක්‌ කර අදාළ වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඉල්ලා සිටින්නට විය. ඒ අනුව මෙම කලහාකාරී සිදුවීමට සම්බන්ධ අය සොයා පොලිසිය විසින් පරීක්‌ෂණ ආරම්භ කරන්නට වූහ.

ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට 05 දෙනකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 02 වැනිදා සවස අම්පාර මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇති අතර 02 වැනිදා වනතෙක්‌ රක්‌ෂික බන්ධනාගාර ගතකොට නැවතත් 02 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

ඒ සමගම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා අම්පාරේ භීක්‌ෂූන් වහන්සේලා සහ පක්‌ෂ විපක්‌ෂ දේශපාලන නායකයන් උන්නදුවෙන් කටයුතු කරන්නට වුහ. මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකාච්ජා කිරීම සඳහා පොළොන්නැරුව ජනාධිපති මැඳුරු වෙත වාහන හය හතකන් විශාල පිරිසක්‌ යන ලදී. ඒ අතර ගිරිතලේ ගුණානන්ද නාහිමි, කිරිඳිවල සෝමරතන නාහිමි, සේනාපතියේ ආන්නද, සුහදගම සිලරතන යන හිමිවරුන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා 15 කට ආසන්න ප්‍රමාණයක්‌ සහ දේශපාලන අධිකාරියේ විශාල පිරිසක්‌ පිටත්ව ගියත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුණගැසීමට අවස්‌ථාව නොලැබ නැවතත් හිස්‌ අතින් ආපසු හැරී එන්නට සිදුවූහ.

මේ අත්අඩංගුවට පත්වූයේ ඇත්තටම මෙයට සම්බන්ධ පිරිසද යනුවෙන් ගැටලුවක්‌ මේ වන විට පැන නැඟී තිබුණී. කෙසේ නමුත් එම පිරිස ඇප ලබා ගැනීම සඳහා බොහෝ දෙනෙක්‌ ප්‍රබල උත්සාහයක්‌ ගනිමින් සිටින ලදී. මෙය සටහන් තබන 02 වැනිදා දහවල් වන විටත් එම පිරිස නැවතත් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. මේ වන විටත් මෙයට සම්බන්ධ තවත් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය මගින් පරීක්‌ෂණ පවත්වමින් සිටිති.

කෙසේ නමුත් මුස්‌ලිම් පුජකවරයෙක්‌ගෙන් මේ ගැන විමසූ විට මෙසේ පවසුවේය.

මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීම ගැන අපි කනගාටු වෙනවා. කුඩා පිරිසක්‌ තමයි මේ ආකාරයෙන් මේ දේට සම්බන්ධ වුණේ. ඔය හෝටලයේ හිමිකරුට සිංහල වැඩිය බැහැ. ඒ වෙලේ බයට තමයි එහෙම කියලා තියේනනේ. මේ කාරනේ ඇත්ත කියලා ඔප්පු නුණොත් ඔහුට දඬුවම් කරන්න. අපි සිංහල ජනතාවත් එක්‌ක සුහදතාවෙන් තමයි කටයුතු කරන්නේ. යනුවෙන් ඔහු පවසා සිටියේය.

මේ වන විට මෙම ගැටුම නිමා නොවුණත් උණුසුම පහව ගොස්‌ ඇත. යළිත් මෙවන් කතන්දර ඇතිවන්නට ඉඩ ඇත. ඒ නිසා ජාතියක්‌ වඳ කරන වඳ පෙති කථාව සහජීවන කඩතුරාව යටින් සොයාගත යුතුය. එය එසේ නොවුණහොත් මේ වඳ පෙති කතාව සැබෑ නම් මේ ගැන ජාතියට දැනෙන්නේ තවත් වසර පනහක්‌ පමණ ගිය පසුය. ඒ අපි මහජාතිය නොවුණ විටය.

සුසන්ත අමර බන්දු

Please follow and like us:

One thought on “වැරදි සමාජ මාධ්‍ය විතර ද? දිවයින ගැන මොක ද කියන්නෙ?

  1. මම නම් හිතන්නේ මේ වගේ කරන හැම මාධ්‍යක්ම නියාමනය කරන්න ඕනේ.
    අද උදේ දෙරනේ චතුර කියනවා, බොන්න වතුර නැති, සහල් වලට නියම් මිලක් නොලැබෙන, වකුගඩු රෝගයට නිසි පිළියමක් නැති, බඩු මිල අහස උසට ගිය රටක ඒවා නෙවෙයි ප්‍රශ්ණ, මේවා කියලා. මිනිහා නොකියා කියන්නේ මේ ජාතිවාදී කෝලාහල ප්‍රශ්ණ නෙවෙයි කියලා. මේ වගේ පොල් බූරුවෝ මාධය වල තියාගෙව ඉන්න උන්ගේ ඉඳලා තහනම් කරන්න ඕනේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *