විශ්වාස භංගයෙන් පළමුව රනිල් දිනවා දෙවනුව එජාපය ප්‍රතිසංස්කරණය කරන්න

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංගය ජය ගත්තත්, නැතත්, එය තීරණාත්මක කඩඉමක් වනු ඇත. එය පොදු ජන පෙරමුණට එතරම් බලපෑමක් කරන්නේ නැත. එහෙත්, ආණ්ඩුව දෙකඩ වීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යම් ආකාරයකින් කැඩී බිඳී යාමටත් එය හේතු වනු ඇත.

මෙම තත්වය නිර්මානය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායක දෙපළ වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අගමැති රනිල් වික්‍රමසිංහත් පැහැදිලිව ම වගකිව යුතු ය. ඔවුන් දෙදෙනා විසින් ම ඔවුන්ට ඡන්දය දුන්, යම් වෙනසක් අපේක්ෂා කළ 62 ලක්ෂය පාවා දෙන ලදී. ඔවුන්ට දුන් බලාපොරොත්තු ඉටු කරනු වෙනුවට හොර ඩීල් හා කොන්ද පණ නැති සෙවල වැඩ නිසා අද මේ ඩබල ම ඉන්නේ වල ගැට්ටේ ය.

මහජනතාව ලෙස අප හැම විට ම සිතිය යුත්තේ මේ පිංගුත්තර නායකයන්ට වඩා ඉදිරිගාමී ලෙස ය. බොහෝ විට, ඔවුන්ට අනුකම්පා කරන්නට අපට සිදු වේ.

මෙතැනදීත් අපි ඉතා පැහැදිලි තෝරා ගැනීමක් කළ යුතුව තිබේ. මෙම විශ්වාස භංගය ජය ගන්නට ඉඩ දී එක්සත් ජාතික පක්ෂය හා එහි නායකත්වය විනාශ කර දමා රට රජපක්ෂ ඒකාධිපතිවාදයට තල්ලු කරනවා ද, නැතිනම් විශ්වාස භංගයෙන් අගමැතිවරයා ජයග්‍රහණය කරවා, එක්සත් ජාතික පක්ෂයේත්, ආණ්ඩුවේත් පූර්ණ ප්‍රතිසංවිධානයකට යනවා ද යන්න තීරණය කළ යුතු ය. අප විසින් මහජන නියෝජිතයන්ට බලපෑම් කළ යුතුව තිබෙන්නේ මෙම පැහැදිලි තෝරා ගැනීම මත පිහිටා ය.

මෙම විශ්වාස භංගය පැරදවිය යුතු ය. එහි දෙකක් නැත. එය ජය ගැනීම නිසා ඇති වන අරාජිකභාවය අවසාන වශයෙන් සේවය කරන්නේ අන්ත ප්‍රතිගාමී රාජපක්ෂවාදයටයි. එයට හේතුව, මෙම විශ්වාස භංගය දිනවීමෙන් වාසි ලැබෙන ආණ්ඩුවේ පාර්ශ්ව රාජපක්ෂලා වැනි ම පිරිසක් නිසා ය.

මෙම විශ්වාස භංග යෝජනාව පසුපස යම් දුරකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිටින බව පෙනේ. මෙය ජය ගත නො හැකි බව පෙනුණහොත් ඔහු පමණක් නොව ඔහු මෙන් ම ලැජ්ජා විරහිත සුසිල් ප්‍රේම ජයන්ත පවා පස්ස ගසන්නට ඉඩ තිබේ. හෙටත් අගමැති රනිල් වික්‍රමසිංහ සමග රෙදි ඇඳගෙන කැබිනට්ටුවක වාඩි වෙන්නට තරම් මොවුන් දීන විය හැකි ය. තියෙන බල තුලනය වෙනස් කර මෙවැනි අයගෙන් යහපාලනයක් බලාපොරොත්තු විය හැකි ද?

අනෙක් පැත්තෙන්, එජාප නියෝජ්‍ය නායකත්වයේ සිටින සජිත් ප්‍රේමදාසට රටට අවශ්‍ය නායකත්වය දෙන්නට හැකියාව තිබේ ද? රටෙහි නොව, එජාපයෙහි හෝ ඔහුට කෙතරම් විශ්වාසයක් තිබේ ද? මහරාජා ප්‍රඩක්ට් එකක් වන ඔහුගෙන් මහරාජාට නම් වාසි විය හැකි ය.

2015 ජනවාරි මුල් සතියේත්, ජනාධිපතිවරණ කටේදී පවා තිස්ස අත්තනායක සමග අරගලය පාවා දෙන්නට සැරසෙමින් දෙකට දෙවාරේ සිටි සජිත් වැනි සිල්ලර නායකයකුට තව ගොඩනැගෙන්නට හා විශ්වාසය ගොඩනගා ගන්නට ඉඩ නො දී ඔහු අගමැතිකමට පත් කර ගන්නට යමෙකු සිතන්නේ නම්, ඒ එක්කෝ අංක එකේ මෝඩයෙකි. නැතිනම් තමන්ට ඇමතිකමක් වැනි පෞද්ගලික වාසියක් ලබා ගැනීම අරමුණු කර ගත් තක්කඩියෙකි.

එජාපය තුළ සජිත් පවා ගොඩනැගිය හැකි පරිදි නායකත්වයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් අවශ්‍ය ය. එහිදී පක්ෂයේ ඒකාධිපති ව්‍යවස්ථාව වෙනස් කර ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම අත්‍යවශ්‍ය ය. මහ ලොකු ලෝක ප්‍රජාතාන්ත්‍රිකයකු වන රනිල් වික්‍රමසිංහ ගෙදරට මරගාතේ නො වී එජාපය සැබෑ ප්‍රජාතාන්ත්‍රික පක්ෂයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු ය. එජාපයට රටේ තිබෙන තැන එතනයි. ඒ වනාහි ලිබරල්, ජාතිවාදී නො වන, ප්‍රජාතාන්ත්‍රික අවකාශයකි. එජාපය පොහොට්ටුව වෙන්නට යාම තේරුමක් නැත. ලොකු පොහොට්ටු හා පොඩි පොහොට්ටු ඕනෑ තරම් මේ රටේ තිබේ.

විශ්වාස භංගය පැරදවීම හා එජාපය රැක ගැනීම යනු මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමයි. එහෙත්, එජාපය රැක ගැනීමට නම් රනිල් එහි අභ්‍යන්තර ඒකාධිපති ස්වරූපය වෙනස් කිරීමට ද පියවර ගත යුතු ය. එසේ කරන්නේ නම් එය ලංකාවේ අභ්‍යන්තරිකව ප්‍රජාතන්ත්‍රවාදී එක ම පක්ෂය බවට පත් වනු ඇත. ඇත්ත ම කිව්වොත් වෙන එකක්වත් එහෙම නැත.

එජාප නායකයා දක්ෂ හෝ ජනප්‍රිය හෝ නායකයකු නො විය හැකි ය. එහෙත්, 1977-94 වකවානුවේ ඒකාධිපති, ධනවාදී පක්ෂයක් වූ එජාපයට ලිබරල්, ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිරූපයක් ගොඩනැගුණේ රනිල් වික්‍රමසිංහ නිසා බව ප්‍රතික්ෂේප කළ නො හැක. ඔහුගේ දුබලතා එමට ය. එහෙම තිබියදීත්, රනිල් යනු තවමත් මේ රටට සාධනීය වෙනසක් සිදු කරන්නට යම් හෝ හැකියාවක් ඇති දේශපාලකයෙකි. ඔහු කැපී පෙනෙන්නේ ඔහුගේ කිසිදු දක්ෂතාවක්, දීප්තියක් නිසා නො ව, ඔහු තරම් හෝ වෙනෙකෙකු ඒ මට්ටමේ නැති නිසා ය.

එවැනි දේශපාලකයකුට රාජපක්ෂලා, ග්‍රාමසේවකලා හා මීඩියා මුදලාලිලා ලවා කෙළවීම අන්ත ප්‍රතිගාමිත්වයකි. එසේ කිරීමෙන් පළවා හරිනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ පමණක් නො වේ. ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාව ද ඒ සමග පළවා හරිනු ලැබේ.

Please follow and like us:

8 thoughts on “විශ්වාස භංගයෙන් පළමුව රනිල් දිනවා දෙවනුව එජාපය ප්‍රතිසංස්කරණය කරන්න

  1. වෘත්තීයමය හොරි කසන්නෝ සහ රෙදි සෝදන්නෝ

  2. ඔය අන්ත රනිල් විරෝදී වියරුවකින් කෑගහන, බදුම්කරේ මත නහින්න හදන උන්ගේ තියෙන්නේ අන්ත සිංහලබෞද්ධ ෆැසිස්ට්වාදී ලේ පිපාසයම තමා… ගෝටාභයගෙ මාපිලා උන්ට හොදට ගැලපෙනව

  3. It is needed to reform the policies of the government. Then the UNP and SLFP (my3) have to get adjusted or leave the government. It dose not matter who does it . The result is the important factor.
    Think of following factors in the society. What they expected ?Are they happy now? Then we can see how to reform the policies.
    1. Farmers – selling the products, fertilizer at correct time and price
    2. Youth – Jobs creativity ,Either in private or public sector
    3. Pensioners- to live with peace of mind in the last stage of life with out any tax burdens
    4. Working Class- A reasonable salary, tax system, a good living standard
    The list can be updated.

  4. රනිල් වික්‍රමසිංහ මහත්මා හොඳ ම නායකයා නො විය හැකි මුත් දැනට අපට සිටින ප්‍රශස්ත ම නායකයා බව පිළිගන්නට සිදු වේ. වික්‍රමසිංහ මහත්මාගේ දේශපාලන භාවිතයේ ලුහුඬුකම් තිබුණ ද ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව තුළ එතුමා අවශේෂ නායකයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි. තමාට එරෙහි ව තම ප්‍රතිවාදීන් විසින් විශ්වාසභංගයක් ගෙන එනු ලබන කල ද සංවිධානාත්මක ව මාධ්‍ය කල්ලියක් විසින් අශිලාචා⁣ර ලෙස අවලාද නඟන කල ද වික්‍රමසිංහ මහත්මා අකම්පිත ව ඒවාට මුහුණ දෙන ආකාරය අගය කළ මනා ය. රාජපක්‍ෂ භීම සමයේ දී මෙවැනි නිර්දය විවේචනයක් රාජපක්‍ෂ නඩයේ කවරකුට හෝ එල්ල වූයේ නම් සිදුවන දෙය විශේෂ කර පැවසිය යුතු නැත. අවාසනාවකට ⁣ලාංකීය බොහෝ අයකුට එම අතීතය අමතක ව ඇත.

    රනිල් වික්‍රමසිංහ මහත්මා ගන වනාත්තරයක තේක්ක වෘක්‍ෂයක් නො ව කාන්තාරයක පතොකක් විය හැකි ය. ලාංකීය දේශපාලනය නම් නිරුදක කතරක වන් අප ඒ පතොක හෝ රැක ගත යුතු ය.

  5. හිතවත් පැරකුම්,

    ඔබ කවදත් වැදගත් ⁣සමාජ-දේශපාලන කතිකාවක් ඔබගේ වියුණුව පාදක ව ඇති කරවන වියත් පුද්ගලයෙක්. ඔබගේ වියුණුවේ ආරම්භයේ සිට ම පාඨකයන් වූ අපට ඒ බව නියත ව පැවසිය හැකි ය. අවාසනාවකට මෑත කාලයේ දී ඔබගේ වියුණුවේ ආලෝචන ඔස්සේ සිදුවන සංවාදය යටපත් ව ඇත. එම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඔබ ආලෝචන තියන්ත්‍රණය කිරීම ය. එසඳහා ඔබට සාධාරණ හේතු තිබිය හැකි ය. එනමුත් ආලෝචන තියන්ත්‍රණය නිසා ඒවා පළ වීම පමා වීමෙන් සක්‍රීය, සජීවී, සඵල සංවාදයක් ජනනය වීමට බාධා සිදු වේ. මේ තීරණාත්මක නිමේෂයේ හෝ ආලෝචන නිදහසේ පළ කරන්නේ නම් එය ඉතා සාධනීය එළඹුමක් බව අපගේ අදහස ය. ජනාදරයට පත් ප්‍රවීණ වියුණුකරුවකු ලෙස පැරකුම් වර්ධනය කර ගෙන ඇති ඛ්‍යාමප්‍රභාමණ්ඩලය පිළිබඳ මමංකාරක නො වී පැරකුම් ද යළි ආලෝචන සංවාද මණ්ඩපයට සක්‍රීය ව දායක වන්නේ නම් අගනා ය.

    පාඨක ප්‍රජාව ද පැරකුම් විසින් සැපයෙන නිදහස අයුතු ලෙස භාවිත නො කරත්වා!

    ස්තුතියි!

  6. හිතවත් පැරකුම්,

    ඔබ කවදත් වැදගත් ⁣සමාජ-දේශපාලන කතිකාවක් ඔබගේ වියුණුව පාදක ව ඇති කරවන වියත් පුද්ගලයෙක්. ඔබගේ වියුණුවේ ආරම්භයේ සිට ම පාඨකයන් වූ අපට ඒ බව නියත ව පැවසිය හැකි ය. අවාසනාවකට මෑත කාලයේ දී ඔබගේ වියුණුවේ ආලෝචන ඔස්සේ සිදුවන සංවාදය යටපත් ව ඇත. එම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඔබ ආලෝචන තියන්ත්‍රණය කිරීම ය. එසඳහා ඔබට සාධාරණ හේතු තිබිය හැකි ය. එනමුත් ආලෝචන තියන්ත්‍රණය නිසා ඒවා පළ වීම පමා වීමෙන් සක්‍රීය, සජීවී, සඵල සංවාදයක් ජනනය වීමට බාධා සිදු වේ. මේ තීරණාත්මක නිමේෂයේ හෝ ආලෝචන නිදහසේ පළ කරන්නේ නම් එය ඉතා සාධනීය එළඹුමක් බව අපගේ අදහස ය. ජනාදරයට පත් ප්‍රවීණ වියුණුකරුවකු ලෙස පැරකුම් වර්ධනය කර ගෙන ඇති ඛ්‍යාමප්‍රභාමණ්ඩලය පිළිබඳ මමංකාර නො වී පැරකුම් ද යළි ආලෝචන සංවාද මණ්ඩපයට සක්‍රීය ව දායක වන්නේ නම් අගනා ය.

    පාඨක ප්‍රජාව ද පැරකුම් විසින් සැපයෙන නිදහස අයුතු ලෙස භාවිත නො කරත්වා!

    ස්තුතියි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *