විශ්වාස භංගයේදී අප රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

M.A.Sumanthiran
එම්.ඒ. සුමන්තිරන්, ජාතික නායකත්වයකට විභවයක් ඇති මිනිහෙක්. රනිල් වෙනුවට විකල්පයක්.

2015 අගෝස්තුවේ මේ රටේ ජනතාව විසින් පස් වසරක කාලයක් සඳහා පත් කරන ලද ආණ්ඩුවේ ඉරණම හෙට දින තීරණය කරනු ලබන්නේ අප විසින් පත් කර යවන ලද මුදලට, ඇමති තනතුරට ඒ පැත්තට, මේ පැත්තට විකිණෙන මන්ත්‍රීවරුන් විසිනි. එහෙත් එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ය.

පළාත් පාලන ඡන්දයක ප්‍රතිඵලයක් පාර්ලිමේන්තුව අස්ථාවර වන්නට හේතුවක් විය නො හැකි ය. මහ මැතිවරණයකින් ලද ජන වරමක් පළාත් පාලන ඡන්දයකින් වෙනස් වී යයි තර්ක කරන්නන් මෝඩයන් නො වේ නම් අමනයෝ ය.

මේ රටේ ජනතාවට හැමදාම ආණ්ඩු හදන්නට හා කඩන්නට ඇති අමුතු අමාරුවක් නැත. ජනතාවටත්, රටටත්, ආර්ථිකයටත්, දේශපාලනයටත් අවශ්‍යව ඇත්තේ ස්ථාවර ආණ්ඩුවකි.

මහජන මුදලින් ජීවත් වන පක්ෂ, විපක්ෂ දේශපාලකයන්ට හා රටේ අර්බුදවලින් ජීවත් වන මාධ්‍යකාරයන්ටත්, දේශපාලන අස්ථාවරත්වය පිට දමා වැඩ නො කර හොර කොටන මහජන මුදලින් යැපෙන රජයේ නිලධාරීන්ටත් හැර පොදු ජනතාවට නිසි කලට පෙර ආණ්ඩු පෙරළීමේ කිසිදු ප්‍රයෝජනයක් නැත.

එහෙත්, එජාපය ඡන්දෙන් පැරදුණා ය කියා එහි නායකයා අගමැතිකමින් නෙරපීමේ තුච්ඡ වැඩේට මුල පිරුවේ වෙන කවුරුවත් නො ව, පළාත් පාලන මැතිවරණයෙන් යන්තම් තුන බේරා ගත් පක්ෂයේ නායකයා ද වන ආණ්ඩුවේ මහ ලොක්කා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය.

දැන් මසකට වැඩි කාලයක් තිස්සේ මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත වැනි නිවට දේශපාලකයන් මහජනතාවගේ වටිනා කාලය භක්ෂණය කරමින් කරන්නේ රට සංවර්ධනය වෙනුවෙන් වැඩ කරන එක නො ව, තමන් ම අයත් වන ආණ්ඩුව පෙරළන එක ය.

මේ අමන දේශපාලනය විවිධ දේශපාලකයන්ගේ තුච්ඡ ව්‍යාපෘති සමග කදිමට පෑහේ. මොවුන්ට අවශ්‍ය වැඩි වැඩියෙන් ගසා කෑ හැකි, වැඩි වැඩියෙන් මහජන මුදලින් වරප්‍රසාද භුක්ති විඳිය හැකි, වැඩි වැඩියෙන් සැප විඳිය හැකි ඇමති තනතුරු ය. තමන්ට ලැබෙන ඇමති තනතුරේ හෝ වැඩ කර ගන්නට දන්නේ නැති වුණාට හැම එකා ම හිතාගෙන ඉන්නේ රටේ නායකයන් වන්න ය.එබැවින්, හෙට විශ්වාස භංගය හමුවේ මේ මන්ත්‍රීවරුන්ගේ චර්යාව අනාවැකි කිව හැක්කක් නො වේ. ජන වරමට එරෙහි ඕනෑ ම දෙයක් හෙට දවසේ සිදු විය හැකි ය.

රනිල් වික්‍රමසිංහට කෙළවීමෙන් තමන්ට මහත් ඵල මහානිසංස ලැබේ යයි සිතාගෙන හෙට රෑ දියවන්නාවේ විශ්වාස භංග ඡන්දය බලන්නට කට ඇරගෙන බලා ඉන්න මුග්ධ ජනතාවට කල් තබා මේ ටික දැනුම් දිය යුතු ය.

රනිල් වික්‍රමසිංහ යනු විශිෂ්ට නායකයකු නො වුණත්, ඔහු ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයෙහි ප්‍රයෝජනවත් නායකයෙකි. කළ යුතුව තිබෙන්නේ ඔහු විනාශ කිරීම නො ව, ඔහුගෙන් රටට ගත හැකි ප්‍රයෝජනය ගැනීම ය. මහජනතාව ලෙස අප සිටිය යුත්තේ මේ සියලු දේශපාලකයන්ට ඉදිරියෙන් මිස පසුපසින් නො වේ.

රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එජාපයේ දෙවන පෙළක් ගොඩ නො නැගීම ගැන ඔහුට දොස් තබන අය එසේ දෙවන පෙළ ලෙස ගොඩනැගෙන්නට සිටි පුද්ගලයන්ට වූ දේ බලන්න. කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තිස්ස අත්තනායක, දයාසිරි ජයසේකර, රවී කරුණානායක වැනි අය තම තත්වය නැති කර ගත්තේ නො ඉවසිලිමත්, කෑදර, මුග්ධ තීරණ නිසා ය. බුද්ධික පතිරණලාට, ඩබල් පාලිතලාට තියෙන්නේ බැරිකම ය. ජෝන් අමරතුංගලාගේ පරම්පරාව දැන් කල් ඉකුත් වෙලා ය. මංගල සමරවීර වැනි අයෙකුට ආණ්ඩුවේ තිබෙන තැන එජාපය තුළ තහවුරු කර ගැනීම ඔය ඇතැමෙකු කියන තරම් ලෙහෙසි නැත.

සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වයට පත් වන්නට නම් ඔහු තව වටිනාකම් නිර්මානය කර ගත යුතු ය. එහෙත්, රනිල් වික්‍රමසිංහ ඉවත් කළහොත්, මේ මොහොතේ එජාප නායකයා වන්නේ අන් කවරෙකුවත් නො ව සජිත් ය. ඔහු නියෝජ්‍ය නායකයා බව කිසිවෙකුට නො තකා හැරිය නො හැකි ය.

රනිල් වික්‍රමසිංහ හදිසියේ ඉවත් කර දැමීම විසින් ඇති කරනු ලබන රික්තයේ තරම තේරුම් ගන්නට සජිත් ප්‍රේමදාසගේ ධාරිතාව ප්‍රමාණවත් ය. රනිල් ඉවත් කිරීමට අනවශ්‍ය තරම් හදිසියක් අප ඇති කර නො ගත යුත්තේ ඒ නිසා ය.

මේ පිළිබඳව තේරුම් ගන්නට ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් දක්වන ලද සීසෝ උදාහරණය කදිම ය. ඔබගේ පහන් සංවේගය සඳහා එම සංවාදය මෙහි නැවත පළ කරමි.

නිර්මාල්ගේ ප්‍රකාශයෙන් කොටසක් මෙසේ ය: රනිල් වෙනුවෙන් පෙනී සිටින පිරිස් අපට කීමට උත්සාහ කරන දෙය වන්නේ රනිල් සාධකයට වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ (මහින්ද සාධකය මෙන්) ස්වායත්ත පැවැත්මක් තිබේය වැන්නකි. එය මුළුමනින්ම වැරදි නිරීක්ෂණයකි. රනිල් ගේ සෑම කටයුත්තක්ම (අවම වශයෙන් ඔහුගේ මුවින් පිටවන වචනයක්, ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රකට කරන ශරීර ඉරියව්වක් වැනි දේ සිට බැදුම්කර සිද්ධිය වැනි දේ සහ ඔහුගේ සහ ඔහු වටේ සිටින කල්ලියේ ආර්ථික ප්‍රතිපත්ති දක්වා) මෙරට බහුතර ජන මනස කුපිත කරවන සුළු ඒවාය. ඒවාට පුළුවන් වන්නේ මහින්ද සාධකයට සීසෝවේ උඩට ඒටම අවශ්‍ය ප්‍රතිවරුද්ධ දිශාවට යොමුවූ ශක්තිය ලබාදීම පමණි. (සීසෝවේ එක් පාර්ශවයක් පහළට යාම සඳහා තමන්ගේ ශක්තිය යොදවන විට අනෙක් කෙළවර ඉබේම ඉහළ යයි.)

අපගේ ප්‍රතිචාරය මෙසේ ය: මේ සීසෝ උදාහරණය නම් පට්ට ය. නිර්මාල් කියන විදියට රනිල් ඉවත් කළ විට සීසෝවේ උඩ තියෙන පැත්ත පහළට අදින බලය නැති වී යයි. එතකොට සීසෝවේ ඒ පැත්ත හැමදාම උඩ ය. ඒ පැත්ත හිස් ම කර දැමූ විට මහින්දට කිසිදාක උඩට යන්නට ලැබෙන්නේ නැත. යකෝ විසඳුම එච්චර ම සරල ය.

කෙසේ වෙතත්, නිර්මාල්ගේ ගැටලුව ඇත්තෙන්ම මේ සීසෝ උදාහරණයේ තිබේ. බැඳුම්කර කතන්දරය හැර ඔය අනෙකුත් ජන මනස කුපිත කරවන රනිල්ගේ බොහෝ දේශපාලනයන් සම්බන්ධ වන්නේ ඇත්ත එක්ක ය.උදාහරණයක් ලෙස, වඩා ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු ජන මනස කුපිත කළ හැකි දෙයකි. ජන මනස කුපිත වුණත්, නැතත්, හම්බන්තොට වරායට වෙන කරන්නට දෙයක් මෙවැනි ආණ්ඩුවකට නැත.

රනිල් මහින්ද ද්වෛතය යනු යම් දුරකට ඇත්ත හා බොරුව අතර තුලනයකි. එම සීසෝවේ බොරුව අමුවෙන් ම නියෝජනය කරන මහින්ද රනිල්ට වඩා උඩින් ඉන්නවා විය හැකි ය. එහෙත් රනිල් ඉවත් කළ විට සිදු වන්නේ මහින්ද පහළ යාම නො ව, ද්වෛතය ම අහෝසි වී යාම ය. නිර්මාල් කියන විදියට නම් ලංකාවේ දේශපාලනය ඒ ද්වෛතය තුළ අඩස්සිගත වීම අහෝසි වී යාම ය. එවිට සිදු වනු ඇත්තේ මහින්දීය අද්වෛතයක් නිර්මානය වීමයි. එය ද අඩස්සිගත වීමකි. වඩා භයානක අඩස්සිගත වීමකැයි අපි සිතමු.

මහින්ද – රනිල් ද්වෛතය වෙනුවට මහින්ද – Someone ද්වෛතයක් නිර්මානය වන තුරු අප රනිල් සමග ඉන්නේ ඒ නිසා ය. ඒ දේශපාලනය පැහැදිලි කර දීම මේ තරම් සරල කර දීම ගැන නිර්මාල්ගේ සීසෝවට ස්තුතියි.

අප හිතවත් පාඨකයකු විසින් පසුගිය ලිපියේ තබන ලද සටහනකින් මෙම ලිපිය සමාප්ත කරමු. විශ්වාස භංගය පැරදවීමට එජාප ප්‍රමුඛ ප්‍රගතිශීලීන්ට ශක්තිය, ධෛර්යය පතමු.

රනිල් වික්‍රමසිංහ මහත්මා හොඳ ම නායකයා නො විය හැකි මුත් දැනට අපට සිටින ප්‍රශස්ත ම නායකයා බව පිළිගන්නට සිදු වේ. වික්‍රමසිංහ මහත්මාගේ දේශපාලන භාවිතයේ ලුහුඬුකම් තිබුණ ද ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව තුළ එතුමා අවශේෂ නායකයන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි. තමාට එරෙහි ව තම ප්‍රතිවාදීන් විසින් විශ්වාසභංගයක් ගෙන එනු ලබන කල ද සංවිධානාත්මක ව මාධ්‍ය කල්ලියක් විසින් අශිලාචා⁣ර ලෙස අවලාද නඟන කල ද වික්‍රමසිංහ මහත්මා අකම්පිත ව ඒවාට මුහුණ දෙන ආකාරය අගය කළ මනා ය. රාජපක්‍ෂ භීම සමයේ දී මෙවැනි නිර්දය විවේචනයක් රාජපක්‍ෂ නඩයේ කවරකුට හෝ එල්ල වූයේ නම් සිදුවන දෙය විශේෂ කර පැවසිය යුතු නැත. අවාසනාවකට ⁣ලාංකීය බොහෝ අයකුට එම අතීතය අමතක ව ඇත.

රනිල් වික්‍රමසිංහ මහත්මා ගන වනාත්තරයක තේක්ක වෘක්‍ෂයක් නො ව කාන්තාරයක පතොකක් විය හැකි ය. ලාංකීය දේශපාලනය නම් නිරුදක කතරක වන් අප ඒ පතොක හෝ රැක ගත යුතු ය.

Please follow and like us:

3 thoughts on “විශ්වාස භංගයේදී අප රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

  1. The politicians should have a practical knowledge and difficulties of that general public face for living. By providing duty free car permits from one hand and taxing bank interest of general people is not nice. What is the policy of the leadership?
    Even though the knife is gold should not be allowed to cut yourself.

    1. Ranil still have time to reform. Let him abolish the new tax on c bank interest, appoint Field Mar, Fonseka to the relevant minster post to take action against law violates and prove he(Ranil) is still with in the January 8 agenda.

  2. ඔය නිර්මාල්ලා ‘කුපිත වෙනවාය’ කියන ලංකාවේ ‘බහුතර ජන මනස’ කියන්නෙම මුග්ධ ගෝත්‍රික චිංතන හා මිත්‍යාදුශ්ටික පුරවාගත් මතවාදී තිරිසන් ශරීරයක්…. ඒක සභ්‍යත්වයට ගන්න හදනකොට ‘කුපිත වීම’ පුදුමයක් නෙමේ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *