රනිල්ට එරෙහි විශ්වාස භංගය නැති විශ්වාසයක් ඇති කරන එකක් ද?

රනිල් මෛත්‍රී
කලියුග කාලෙට උපන්න
නුවණක්කාරයො දෙන්නෙක්

මේ වන විට රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංගය වෙනුවෙන් විශාල ධනයක්, බලයක් යෙදවී තිබේ. එබැවින් ඒ වෙනුවෙන් වූ විශාල ශ්‍රමයක් ද මාධ්‍යවල දැකිය හැකි ය.

රනිල් වික්‍රමසිංහ යනු හොඳ නායකයකු නො වේ. එහෙත්, රටේ පවත්නා නායකත්වයේ අර්බුදයේ තරමට සාපේ්ක්ෂව ඔහු නායකයෙකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුටත් වඩා දුර්වල නායකයකු බව මේ වන විට තබන, තබන පියවරක් පාසා පෙන්නුම් කරමින් සිටියි. එහෙත්, මේ දෙපළ වනාහි 2015 ජනවාරි 8න් පසු වසර පහක කාලයක් සඳහා මේ රටේ ජනතාව විසින් බලයට පත් කරන ලද මේ රටේ නායකයෝ ය.

හැමදාම ආණ්ඩු හදන එකත්, ඒ හදපු ආණ්ඩු කඩන එකත් මහජන මුදලින් යැපෙන, සමාජයට ප්‍රයෝජනයක් නැති, රට ඉදිරියට යොමු කරන්නට තරම් චින්තනයක් නැති පිංගුත්තර දේශපාලකයන්ගේ වැඩකි. එය ජනතාවට අදාළ නැත.

ජනතාව අති විශාල මුදලක් වැය කර ඡන්ද පවත්වා, යම් නිශ්චිත කාලයකට ආණ්ඩුවක් පත් කරන්නේ එම කාලය තුළ රට මැනැවින් පාලනය කරන්නට ය. ජනතාව‍ගේ උවමනාව වන්නේ තමන් අපේක්ෂා කළ හා තමන්ට පොරොන්දු වූ දේ දේශපාලකයන් ලවා ඉටු කර ගැනීමයි. ඔවුන් එසේ ඉටු කරන්නේ නැතිනම්, ඔවුන්ට ඊළඟ මැතිවරණයේදී පාඩමක් ඉගැන්විය යුතු ය.

යම් දේශපාලකයකු සිය ජනවරමට බරපතල අන්දමින් එරෙහි වන්නේ නම්, එම දේශපාලකයා බලයෙන් පහ කිරීමට මහජනයා ඉක්මණින් කටයුතු කළ යුතු ය.

බලලෝභී දේශපාලකයන් හැම විට ම උත්සාහ කරන්නේ තම ප්‍රතිවාදියා බලයෙන් පහ කරන්නට ය. එය පරිණත විපක්ෂ දේශපාලනයක ලක්ෂණයක් නො වේ. තමන්ගේ මීළඟ අවස්ථාව එන තෙක් ඉවසීම හා පාලනයට අවශ්‍ය සහයෝගය දීමත්, අවශ්‍ය තැනදී විරුද්ධ වීමත් යහපාලන විපක්ෂයක ලක්ෂණයි. කවුරු මොනවා කීවත්, අත්දැකීම් සහිත දේශපාලකයකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට එය යම් දුරකට කරමින් සිටියි. එහෙත්, ඔහු ද හොඳ නායකයකු නො වන නිසා, තම ගෝල බාලයන්ට ඕනෑ හැටියට නටන්නට ඉඩ දී තිබේ.

අද වන විට රටේ විපක්ෂ භූමිකාව ද ජනාධිපතිවරයා විසින් ම භාර ගෙන තිබෙන බවක් දැකිය හැකි ය. හවුල් ආණ්ඩුවකදී ප්‍රවණතා දෙකක සමබරතාවක් පැවතිය හැකි ය. එහෙත්, හවුල් ආණ්ඩුවක එක් පාර්ශ්වයක් කඩාකප්පල්කාරී විපක්ෂයක භූමිකාව රඟන විට ආණ්ඩුවට වැඩ කිරීම ඉතා දුෂ්කර ය.

පෙබරවාරි 11දා සිට මේ දක්වා මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හා ඔහුගේ පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ හවුල් ආණ්ඩුවේ අගමැතිවරයා පන්නා දැමීමයි. ඒක කර ගන්නට අවශ්‍ය ශක්තිය ගොනු කර ගැනීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ ද යන්න පැහැදිලි නැත. එහෙත්, අගමැතිගෙන් පළි ගැනීම හැර වෙන වැඩක් මේ දිනවල ඔහුට නැත.

මේ විශ්වාස භංග ව්‍යායාමය පසුපස තිබෙන්නේ මෙවැනි වූ පෞද්ගලික අරමුණු ය. ඒ වෙනුවෙන් ලොකුවට ම දඟළන මහරාජා කොම්පැනිය, ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න, පාලිත රංගෙ බණ්ඩාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි කාටත් ඒ ඔස්සේ ඉටු කර ගැනීමට තිබෙන්නේ අතිශය පෞද්ගලික අරමුණු ය. ඔවුන් විසින් විසි කරන මුදල් මේ වන විට මාධ්‍ය අවකාශයට දැවැන්ත බලපෑමක් කරමින් තිබේ.

පෙබරවාරි 10න් පසු රනිල් පැන්නීම ප්‍රධාන ම දේශපාලන කාර්යය වී තිබෙන ඇතැමෙකු පසුගිය පළාත් පාලන ඡන්දයෙන් කුජීත වූ අයයි. තව බොහෝ දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට කිසිදු සම්බන්ධයක් ඇති අය නො වේ. තවත් බොහෝ දෙනෙකුට තිබෙන්නේ රනිල් තමන්ට කිසිවක් නො කිරීම පිළිබඳ ප්‍රශ්නයකි.

රනිල් ගුණමකුවෙකු බව සැබෑ ය. ඔහුගේ ගුණමකුභාවය ප්‍රධාන වශයෙන් ම ඇත්තේ ජනතාවට ය. ඒ දේශපාලක චෞරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි ජනතා අපේක්ෂාවන් ඉටු නො කිරීම නිසා ය. ජනතාව අපේක්ෂා නො කළ බැඳුම්කර මගඩිය වැනි දේට පැටලුණු නිසා ය.

රනිල් වික්‍රමසිංහගේ ගුණමකුකම මහින්ද රාජපක්ෂ තම ගෝලබාලයන්ට සැලකූ අන්දමත් සමග සන්සන්දනය කර රනිල්ට එරෙහි වීම දේශපාලනිකව ප්‍රතිගාමී ය. රනිල් ළඟ දිගු කලක් සේවය කර ඉවත් වූ කාර්ය මණ්ඩල සාමාජිකයකු වූ සුදත් චන්ද්‍රසේකර විසින් ඉල්ලා අස් වෙද්දී ප්‍රසිද්ධ කරන ලද ලියුමෙන් පෙන්නුම් කරන ලද පරිදි රනිල් එවැනි අයට හිමි වැටුප් හා සාමාන්‍ය වරප්‍රසාද හැර අන් කිසිවක් ලබා දී නැත. එය මහින්ද සිය ශරීරාරක්ෂකයකු වූ තිස්ස නමැති ගැටයකුට ධන කුවේරයකු වන්නට හා හමුදාවේ අයථා උසස්වීම් මගින් කපිතාන්වරයකු වන්නට දුන් අවස්ථා සමග සන්සන්දනය කර මහින්ද තමයි පොර යි කියන දේශපාලනය අන්ත ප්‍රතිගාමී එකකි.

රනිල් සෙසු දේශපාලකයන්ට සාපේක්ෂව වඩා ඉදිරිගාමී නායකයකු ලෙස සලකන්නට අප පෙළඹුණු කිසිදු තත්වයක් පෙබරවාරි 10න් පෙර හෝ පසු තීරණාත්මක ලෙස වෙනස් වී නැත. ඔහු ඉන් පෙර ද මහින්ද රාජපක්ෂ වැනි උද්වේගකර ජනප්‍රිය දේශපාලකයකු නො වේ. ඔහු සාපේක්ෂව වඩා යහපත් ප්‍රජාතාන්ත්‍රිකයෙකි. සාපේක්ෂව පරිණත දේශපාලන වෘත්තිකයෙකි. නිදසුනක් ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා ගුණමකු ලෙස ඔහුගෙන් පළි ගනිමින් සිටින මෙවැනි මොහොතකදී පවා ඔහු එයට මුහුණ දෙන්නේ මෛත්‍රීගේ ග්‍රාමසේවක මානසිකත්වයෙන් නො වේ. මේ සියල්ල සාපේක්ෂව හොඳ දේ මිස පරම තත්වයන් නො වේ. මේ ලක්ෂණ ඔහු තරම් හෝ පෙන්නුම් කළ වෙනත් නායකයන් නැති තරම් ය.

එක්සත් ජාතික පක්ෂය තුළ පමණක් නොව රටේමත් ඔහුගේ නායකත්වය යනු එළියේ සිට පහර ගහන අය සිතන අන්දමින් පහසුවෙන් බිඳ දැමිය හැකි එකක් නො වේ. එසේ වීමට හේතු ඇත. එයට එක ම හේතුව එජාප ව්‍යවස්ථාවේ තිබෙන ඒකාධිපති ස්වරූපය පමණක් නො වේ. එය ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල තත්වයයි. වාමාංශික පක්ෂවලට යන විට තත්වය තවත් නරක ය. නිදසුනක් ලෙස, කෑල්ලෙන් කෑල්ල ගැලවී යද්දීත්, නව සමසමාජ පක්ෂයේ නායකයා වික්‍රමබාහු ම තමා ය. ඔහු එම පදවියට පත් වූයේ රනිල්ටත් කලින් යයි මම සිතමි.

දේශපාලන පක්ෂවල තත්වය එසේ තිබියදී රටේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසකට මහින්ද රාජපක්ෂ මහ රජාණනේ විය. රනිල් ඒකාධිපතියකු යැයි කියමින් එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට ඔහු පන්නන්නට දඟලන ඇතැමෙකු රට හදන්නට නම් ගෝඨාභය වැනි ඒකාධිපතියකු අවශ්‍ය බව ද කියති.

ආණ්ඩුවේ ද, ජනාධිපතිවරයාගේ ද, අගමැතිගේ ද, ඇමතිවරුන්ගේ ද, දේශපාලන පක්ෂවල ද, සිවිල් සමාජයේ ද, මාධ්‍යවල ද, ජනතාවගේ ද බොහෝ පරිවර්තන සිදු විය යුතු ය. අගමැති රනිල් වික්‍රමසිංහ පමණක් ඉලක්ක කළත්, ඔහුගේ චර්යාවන්, නායකත්ව ලක්ෂණ ආදිය වෙනස් විය යුතු ය. ඒ වෙනුවෙන් බලපෑම් කළ යුතු ය. එහෙත්, මහින්ද රාජපක්ෂගේ ප්‍රතිගාමී ජනප්‍රියවාදය අනුගමනය කරමින් රනිල් වෙනස් විය යුතු යයි කීම විහිළුවකි. මේ රටට එක මහින්ද කෙනෙකු ප්‍රමාණවත් ය. කොපමණ උත්සාහ කළත් වෙන කාටවත් මහින්ද වන්නට බැරි ය.

අප කියන්නේ මෛත්‍රීපාලගේ ගුණමකුකම, සිරසේ බිස්නස් ඇරියස්, ශිරාල්ගේ හා මෛත්‍රී ගුණරත්නගේ ඉච්ඡා භංගත්වය, සුසිල් ප්‍රේම ජයන්තගේ කොන්ද, පාලිත රංගෙ බණ්ඩාරලාගේ තදියම, රාජපක්ෂ කඳවුරේ අයගේ නඩු සම්බන්ධ හදිසිය, හිරු එකට දුමින්ද සිල්වා නිදහස් කර ගන්නට තිබෙන හදිසිය, දෙරණේ ආර්ථික අරමුණු, ජාතිවාදීන්ගේ කඩාකප්පල්කාරී අවශ්‍යතා, ෆේස්බුක් වීරයන්ගේ පොඩි පොඩි කොන්ත්‍රාත් ආදිය නිසා රනිල් පිළිබඳ විශ්වාසය භංග නො වන බව පමණි. එයින් අවසානයේදී සිදු වන්නේ රනිල් කෙරෙහි නැති විශ්වාසයක් ඇති වීම වන්නට ද පුළුවන.

Please follow and like us:

5 thoughts on “රනිල්ට එරෙහි විශ්වාස භංගය නැති විශ්වාසයක් ඇති කරන එකක් ද?

  1. මෛත්‍රී තම දේශපාලන අවමංගල්‍යය සඳහා වැඩ පටන් ගත්තේ බලයට පත්වූ අලුත සිටය.දැන් එය වේගවත් කරමින් සිටි

    විශ්වාස භංගය පිළිබඳව මා සුදුකුකුලා බ්ලොගයට ලිව් ලිපිය පහත ලින්කුව එබීමෙන් කියවිය හැක

    විශ්වාස භංගය රනිල් විශ්‍රාම යවයිද?
    http://sudukukula.blogspot.com/2018/03/blog-post_30.html

  2. Read Malith Jayaweera’s ” After January 8th ” book and find about deals of all politicians with Mahinda to get the voter basis in villages. Actually I did n’t trust at the beginning , since nobody has denied the facts it made me think these facts are true. It is like an extension to your article.

  3. 1/2

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් පලවා හැරීම යනු හුදු පුද්ගලයකු පලවා හැරීමක් නො වන්නේ ය

    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කවදත් අභීත ව තම හඬ අවදි කරන අජිත් පැරකුම් ජයසිංහ සහෝදරයා ඉතා කාලෝචිත මාතෘකාවක් කරා එළඹ සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයනට එරෙහි ව විශ්වාසභංගයක් ගෙන ඒමට තතමන නඩයේ වගවාසගම් විමසා බැලීමෙන් වුව එකී ඊනියා විශ්වාසභංගයේ අසාරාභිලාෂයන් ඥානනය කර ගත හැකි ය.

    ඔවුනගෙන් බහුතරයක් වික්‍රමසිංහයන් අනුයන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිමූල දේශපාලන භාවිතය පිළිබඳ විශ්වාසභංග වූවෝ ය; අයෙක් රාජපක්‍ෂ පන්නයේ වරප්‍රසාද වික්‍රමසිංහයන්ගෙන් නොලැබීමෙන් ඉච්ඡාභංගත්ව වූවෝ ය; තවත් අයෙක් ඊනියා ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදී, ගෝත්‍රවාදී මානසිකත්වයන්ගෙන් ව්‍යාධි වූවෝ එකී ආශාවන් තෘප්තකරන නායකයකු අහිමි වීමෙන් අපේක්‍ෂාභංග වූවෝ ය. එකී කිසිවකුට හෝ රාජ්‍යය පිළිබඳ සාධනීය විකල්පයක් නොමැත; නිර්මාණශීලී අස්ත්‍යාත්මක විවේචනයක් ද නොමැත.

    වරක් අජිත් පැරකුම් ජයසිංහ සහෝදරයා පැවසූ ලෙස ම ලාංකීය ජනතාව අබියස ඇත්තේ තෝරාගැනීම් දෙකක් පමණි: ඒකාධිපති රාජපක්‍ෂ නඩය ද? නැත හොත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පක්‍ෂය ද? යන්න ය. ලංකා රාජ්‍යයේ අභිවෘද්ධිය පතන වාමාංශික-දක්‍ෂිණාංශික ප්‍රගතිශීලී රටවැසියා මේ සුනිශ්චිත මොහොතේ සිටිය යුත්තේ ද සිටින්නේ ද එක්සත් ජාතික පක්‍ෂය සමඟ ය. ඒ කිනම් එක්සත් ජාතික පක්‍ෂයක් සමඟ ද යන කරුණ මේ සුනිශ්චිත මොහොතේ ඉතා වැදගත් ය.

    ලංකා රාජ්‍යය අනාගතයට මෙහෙයවීමට නිසි එක්සත් ජාතික පක්‍ෂය යනු රාජපක්‍ෂ මූලාකෘතියේ ගෝත්‍රික නායකයකු විසින් මාර්ගෝපදේශකත්වය දෙනු ලබන පක්ෂයක් නොවිය යුතු ම ය. අභියෝගයට ලක් කළ නොහැකි යයි සැලකුණු නින්දිත රාජපක්‍ෂ පාලනය අජිත් පැරකුම් ජයසිංහ සහෝදරයා ප්‍රමුඛ ප්‍රගතිශීලී සමාජ බලවේගය විසින් අවසන් කරනු ලැබුවේ රාජපක්‍ෂ පන්නයේ වෙනත් පුද්ගලයකු බලයට ගෙන ඒමට නො වේ. වර්ෂ 2015 දී සිදු වූ වෙනස වූ කලී පුද්ගලයා පිළිබඳ අරගලයක් ම නො ව ක්‍රමය පිළිබද අරගලයකි. ගෝත්‍රික පාලනක්‍රමය වෙනස් නො කර එක් රාජපක්‍ෂ කෙනකු වෙනුවට ඒ ආකාරයේ ම වෙනත් රාජපක්‍ෂ කෙනකු ආදේශ කර ගැනීමෙන් හෝ එතැනට ඒ ආකාරයේ ම සිරිසේන කෙනකු හෝ ප්‍රේමදාස කෙනකු හෝ ජයසූරිය කෙනකු හෝ ආදේශ කර ගැනීමෙන් හෝ වර්ෂ 2015 දී වාමාංශික-දක්‍ෂිණාංශික ප්‍රගතිශීලී ජනතාව අපේක්‍ෂා කළ වෙනස ඇති වන්නේ නැත.

    ලාංකීය ධනපති දේශපාලනය විසින් එදා මෙදා තුර බිහි කළ විශිෂ්ටතම ප්‍රගතිශීලී දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහයන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ද පක්‍ෂ නායකත්වයෙන් ද නෙරපා දමන්නට තතමන පක්‍ෂ-විපක්‍ෂ නඩය ව්‍යාවෘත වන ප්‍රතිගාමී කාර්යභාරය නම් ජනප්‍රියවාදී ගෝත්‍රික පාලනයක් සඳහා අවශ්‍ය පරිසරය රට තුළ ද ලංකා ඉතිහාසයේ අතිදැවැන්ත ම තනි පක්‍ෂ දේශපාලන බලවේගය වන එක්සත් ජාතික පක්‍ෂය තුළ ද ඇති කිරීම ය. මෙය ඉතා භයානක සහ කනගාටුදායක ප්‍රවණතාවකි.

    වර්ෂ 2015 දී රාජපක්‍ෂ මහත්මාගේ පරාජයෙන් ද අවධාරණය වූ වැදගත් දේශපාලන යථාර්ථයක් ඇත. එනම් ලාංකීය පොදු ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් තවමත් රාජපක්‍ෂ පන්නයේ ගෝත්‍රික රාජ්‍යයකට ද ගෝත්‍රික පාලනයකට ද ගෝත්‍රික පාලකයකුට ද ලොල් බව ය. රාජපක්‍ෂ විරෝධී මහා බලවේගයක් හමුවේ වුව රාජපක්‍ෂ මහත්මා වර්ෂ 2015 දී පරාජය වූයේ සුළු ඡන්ද ප්‍රතිශතයකින් ය. පසුගිය පළාත් පාලන ඡන්දය විසින් ද එකී යථාර්ථය හඬ නඟා පැවසිණි.

    එක්සත් ජාතික පක්‍ෂයේ ඊනියා ප්‍රතිසංස්කරණවාදී හෙවත් සත්‍ය ලෙස ම වික්‍රමසිංහවිරෝධී කල්ලියේ අරමුණ වී ඇත්තේ ලාංකීය සමාජයේ පවතින පෙර කී ප්‍රතිගාමී ගෝත්‍රික චින්තනය ප්‍රයෝජනයට ගෙන බලය රසවිඳීමේ පටු අරමුණ පමණි. ඔවුන් විසින් ඉදිරිපත් කෙරෙන සාටෝපවත් වෙනත් විවේචන හුදු අලංකරණයන් පමණි. රාජපක්‍ෂ පන්නයේ ගෝත්‍රික රාජ්‍යකරණයක් පවත්වා ගන්නට නම් ඒ සදහා එක්සත් ජාතික පක්‍ෂයක් අවශ්‍ය නැත. ඒ සඳහා ශූර ගෝත්‍රික නායකයකුගේ චර්යා ඇති රාජපක්‍ෂ මහත්මා ම බලයේ තබා ගන්නට හැකි ව තිබිණි.

    සමාජ-දේශපාලන විප්ලවය යනු කෙටි සහ පහසු මඟක් ඔස්සේ යථාකරණය කර ගත හැකි සාරාභිලාෂයක් නො වේ. ඒ මඟ වැටී ඇත්තේ විප්ලවීය විඥානය ජනමන ස්ථාපිත කරවීමේ දිගු සහ කටුක මඟ ඔස්සේ ය. අජිත් පැරකුම් ජයසිංහ සහෝදරයා දශකයක කාලයක් පුරා මිනිමුතුවන් ලිපි පන්දහසකට ආසන්න සංඛ්‍යාවක් ලියමින් සිදු කරමින් සිටින්නේ ඉතිහාසය විසින් ප්‍රගතිශීලීන් වෙත හිමිකර දුන් එකී ඵෙතිහාසික කාර්යභාරය ය. අතිශය සරලමතික විධායකයක අනවරත බාධක මධ්‍යයේ වුව පසුගිය සමයේ දී වික්‍රමසිංහයන් ලාංකීය රාජ්‍යයේ වැදගත් ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සඳහා මුලපුරා ඇත. රාජපක්‍ෂ පාලන සමයේ සිදු වූ ප්‍රදර්ශනකාමී මූල්‍ය අපහරණයන් ද අදූරදර්ශී තීන්දුතීරණ ද නිසා අගාධයට වැටෙමින් තිබූ ලාංකීය ආර්ථිකය මෙපමණකින් හෝ පණනල රැකගෙන සිටින්නේ වික්‍රමසිංහයන්ගේ දූරදර්ශීභාවය නිසා ය.

    Ctd…

  4. 2/2

    එහෙත් එපිළිබඳ සාධනීය ජනමතයක් ගොඩ නඟන්නට වික්‍රමසිංහයන් වටා සිටිනවුනට උවමනාවක් නැත; වික්‍රමසිංහයනට ද උවමනාවක් නැත. නොබැඳි සමාජ බුද්ධිමතකු වන අජිත් පැරකුම් ජයසිංහ සහෝදරයා වික්‍රමසිංහයන් පිළිබඳ යථාඥානය ජනගත කළ තරමින් සියයට දහයක් හෝ වික්‍රමසිංහයන් වටා සිටිනවුන් කර නැත. වර්ෂ 2001 දී වික්‍රමසිංහයන් රට බෙදති යි අසත්‍ය ප්‍රචාර කළ වාචාල නඩය ම වර්තමානයේ දී ද වික්‍රමසිංහයනට එරෙහි ව දුර්මත ම නන් දෙස පතුරවති; අවසන වර්ෂ 2001 දී සේ ම වික්‍රමසිංහයන් බලයෙන් නෙරපන්නට මාන බලති. ඔවුන්ගේ මෙකී අභිලාෂය වික්‍රමසිංහයන් පන්නා දැමී ම පමණක් නො වේ. ලාංකීය ධනපති දේශපාලනයේ යම් තරමකට හෝ බලාපොරොත්තු තැබිය හැකි, ගෝත්‍රික නො වූ, ප්‍රජාතන්ත්‍රවාදී නායකයා රනිල් වික්‍රමසිංහය මහත්මා ය. එතුමන් පන්නා දමනවුන් පන්නා දමන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ප්‍රගතිශීලී දෘඪාපේක්‍ෂාව ය.

    ප්‍රජාතන්ත්‍රවාදය පලවා හැර ඒකාධිපතිවාදයට මං විවර කිරීමෙන් අප අපේක්‍ෂා කළ සාරසමාජය ළඟා කර ගත නොහැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය බිඳ වැටී ම මහත් දේශපාලන-ආර්ථික-සමාජීය අර්බුදවල ආරම්භය ය. අප වර්තමානයේ දී මුහුණ දෙන රාජ්‍ය සම්බන්‍ධ බොහෝ ගැටලුවල මූලය ප්‍රජාතන්ත්‍රවාදයේ විතැන් වීම සමඟ බැඳී ඇත. ඒ බව නො සලකා විසඳුම් සෙවීමෙන් වෙහෙසට පත් වන්නේ වුව විසඳුම් නම් නො ලැබේ. අප නැති වූ ඉඳිකටුව සෙවිය යුත්තේ ඉඳිකටුව නැති වූ තැන විනා පහන් කණුව යට නො වේ.

    End.

  5. Let me add some more to earlier comment. If you in a way this is a no confidence motion against the government there is some merit in it.
    1.Because the people who were defeated in the election are working as cabinet ministers. Who is responsible for this?
    2.The government says it has positive balance in the budget now but in the other hand they introduce withholding tax even for the elderly people who have no income other than bank interest to live. Government taxes telephone bills also. Mean time some people get tax free cars which is a contradictory situation.
    In this context can we expect people have confidence in government?
    Therefore the no confidence should be aimed towards correct direction not against a person. Mr Parakum write on this also.

Leave a Reply to gunasena Cancel reply

Your email address will not be published. Required fields are marked *