වෙලේ සුදා නිදහස්; දුමින්ද සිල්වා හිරේ; මහින්ද බාලසූරිය කෝ?

Wele Suda
වෙලේ සුදා

ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නිදහස් වී ඇත්තේ එක් නඩුවකින් පමණි. ඒ හෙරොයින් මිලිග්‍රෑම් හයක් ළඟ තබා ගැනීම හා විකිණීම සම්බන්ධයෙනි. ඔහු නිදහස් වන්නේ ඔහුට විරුද්ධව තිබෙන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වීම නිසා ය. එසේ වී තිබෙන්නේ නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබෙන හෙරොයින් ප්‍රමාණයේ පරස්පරයක් තිබීම නිසා බව වාර්තා විය. බොහෝ නඩුවලින් විත්තිකරුවන් නිදහස් වන්නේ පොලිසිය නඩු මෙහෙයවීමේදී දක්වන දුබලතායි.

හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබා ගත් නිසා වැරදිකරු වන පුද්ගලයෙකුට ලංකාවේ නීතිය අනුව මරණ දඬුවම ලබාදිය හැකි ය. වෙලේ සුදාට මේ වන විටත් වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මරණ දඬුවම හිමි වී තිබේ. හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ළඟ තබා ගැනීමේ හා අලෙවි කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ වෙලේ සුදාට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2015 ඔක්‍තෝබර් 14දා මරණීය දණ්ඩනය නියම කළේය. ඒ 2008දී පවරන ලද නඩුවක් සම්බන්ධයෙනි.

ගල්කිස්සේ බඩෝවිට ප්‍රදේශයේ ඉතා දිළිඳු පවුලක උපන් වෙලේ සුදා හෙරොයින් ජාවාරම් කිරීමෙන් අති විශාල ධනයක් හා දේපල ප්‍රමාණයක් ගොඩගසාගෙන තිබිණි. එහෙත් ඔහු අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව පවා නැත්තෙකි. ඔහු තිදරු පියෙකි.

වර්ෂ 2010 ජනවාරි 01 දා සිට 2010 අප්‍රේල් 25 අතර කාලයේදී රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමින් යුතු දේපලවල හිමිකරුවන් වීම හා සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ වෙලේ සුදාටත්, ඔහුගේ බිරිය වන බෝගහවත්තගේ ගයනි ප්‍රියදර්ශනී හෙවත් සුජීටත්, වෙලේ සුදාගේ ඥාති සොයුරියකටත් එරෙහිව තවත් නඩුවක් විභාග වේ.

බී. එම්. ඩබ්ලිව්. කාරයක්‌, ලෑන්ඩ් රෝවර් ජීප් රියක්‌, කොල්ලුපිටිය බගතලේ පාරේ, රාජගිරිය මිලේනියම් සිටිවල හා කලම්බු රෙසිඩන්සිහි නිවාස, රන් ආභරණ හා මුදල් මෙම නඩුවට අදාළ නඩු භාණ්‌ඩ ලෙස ඉදිරිපත් කරන ලදී.

2011දී වෙලේ සුදා අධිකරණය මඟහැර රටින් පැන ගියේ ය. ඔහු එසේ පළා ගියේ කුඩු සම්බන්ධයෙන් නම ගෑවී සිටි එවකට පැවති ආණ්ඩුවේ ප්‍රබලයකුගේ සුරතලකු වූ මන්ත්‍රීවරයකු මුදල් පැහැර ගැනීම සඳහා ඔහු මරා දැමීමට පසුපස එලවීම නිසා බව ඔහු මාධ්‍යවලට කියා තිබිණි. මෙම මන්ත්‍රීවරයා මේ වන විට මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා ය. ඔහු එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයෙකි. මෙම කූට ජාවාරම්වල ඔහු නියැලුෘණ් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ රැකවරණයෙනි.

එපමණක් නොව, හිටපු පොලිස්පතිවරයකු වූ මහින්ද බාලසූරියගේ නම ද වෙලේ සුදා සමග පැවැත්වූ සම්බන්ධකම් සම්බන්ධයෙන් කියැවිණි. ඔහු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වරප්‍රසාද රැසක් ලැබූ නිලධාරියෙකි. ඔහුට පොලිස්පති තනතුරින් ඉල්ලා අස් වන්නට සිදු වුණේ සේවක භාරකාර අරමුදල අත්පත් කර ගැනීමට රජය දැරූ උත්සාහයට විරුද්ධව කම්කරුවන් කළ උද්ඝෝෂණයකදී කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයකු වූ රොෂේන් චානක පොලිසිය විසින් වෙඩි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

මහින්ද බාලසූරිය

ගංගොඩවිල සෝම හිමි අපවත් කළ බව කියවුණු රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයෙන් ඒ ආකාරයේ ම ආචාර්ය උපාධියක් ලබාගෙන, ආචාර්ය උපාධියක් ලැබූ පළමු පොලිස්පතිවරයා ලෙස තමන් හඳුන්වා ගත් මහින්ද බාලසූරිය වෙලේ සුදා සමග ගනුදෙනු කර ලබා ගත් මුදල්වලින් කැලණිය ප්‍රදේශයේ මහා මන්දිරයක් ඉදි කළ බව වාර්තා විය.

රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටීම හා වෙලේ සුදා ලංකාවට රැගෙන ඒමත් සමග මහින්ද බාලසූරිය හොර රහසේ ම රටින් පළා ගියේ ය. මේ කරුණු සම්බන්ධයෙන් විමර්ශන ඇණහිට තිබේ.

2014 නොවැම්බර් මාසයේදී පකිස්තානයේ රහස් ඔත්තු සේවාවක් විසින් අත්අඩංගුවට ගන්නා ලද වෙලේ සුදා 2015 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලදී.

තවත් ඉහළ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා වෙලේ සුදාගේ හවුල්කරුවකු වූ මොහොමඩ් සිද්දික් ද 2015 මාර්තු මස පකිස්තානයේ අත්අඩංගුවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී.

කුඩු සඟවා ගෙනා ට්‍රැක්ටර් – ඡායාරූප නිශාන් එස්‌. ප්‍රියන්ත (දිවයින)

වෙලේ සුදා පසුපස අභිරහස් ගණනාවක් තිබේ. ඔහු සම්බන්ධතා පැවැත්වූ ඉහළ පෙළේ පුද්ගලයන් පිළිබඳ කතා ඒ අතර වේ. එසේම, ඔහු ඇතැම් දැවැන්ත මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ඔත්තුකරුවකු ලෙස ක්‍රියා කර තිබෙන බව ද හෙළිදරව් විය. බියගම – කැලණිය පාරේදී හයිබ්‍රිඩ් රියකින් ප්‍රවාහනය කරමින් තිබුණු සිද්දික්ට අයත් බව කියැවුණු රු. කෝටි 65ක් පමණ වටිනා හෙරොයින් කිලෝ 85.5 අත්අඩංගුවට ගැනීමට පකිස්තානයේ සිට ඔත්තුව දුන්නේ ඔහු බව ඔහුට මරණ දඬුවම නියම වූ නඩුවේදී කියැවිණි.

මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීම්වලින් පොලිසියේ ඇතැම් අය තෑගි මුදල්, උසස්වීම් ආදිය ලබා ගත් හ. ඒ සම්බන්ධයෙන් පොලිස් අංශ අතර තරගයක් ද තිබිණි. ඒ පසුපස විෂමාචාර රැසක් සිදු වී තිබෙන මුත්, වෙලේ සුදා මත සියලු පව් පවරා විෂමාචාරවල යෙදුණු අය අත් සෝදාගෙන ඇති බවක් ද පෙනේ.

අත්අඩංගුවට පත් වීමෙන් පසු ඔහු විසින් හෙළිදරව් කරන ලද කාරණයක් වූයේ ආනයනය කරනු ලබන ට්‍රැක්ටර් රථවල එංජිමේ හා රෝදවල සඟවා විශාල හෙරොයින් ප්‍රමාණයක් රැගෙන ආ බවයි. කැලණිය සිංහාරමුල්ල ප්‍රදේශයේ ගබඩාවකින් ට්‍රැක්ටර් තොගය සොයා ගන්නා විට එහි තිබුණු හෙරොයින් වෙලේ සුදාගේ ගෝලයන් විසින් ඉවත් කරගෙන බෙදා හැර තිබිණි.

>> Read this story in English 

වෙලේ සුදා බන්ධනාගාරයේ ක්‍රිකට් මැච් එකක

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *