ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේ කුමට ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අද පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී පක්ෂ ලේකම් දුමින්ද දිසානායක අපූරු කතාවක් පැවසී ය. ඔහු කියන්නේ පළාත් පාලන මැතිවරණයක ප්‍රතිඵල අගමැතිවරයා මාරු කිරීමට අදාළ නැති බවයි.

මේ වනාහි වට ම ගොස් ගෙට ම එනවා යයි කියන ගැමි කියමන සිහිපත් කරන්නකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඇත්ත කියන්නේ ලොකු රවුමක් ගිහින් ආපහු මුලට ඇවිත් ය.

යහපාලන ආණ්ඩුවේ සමගිය බිඳිමින් සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂය පතුරු ගැසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි. එසේම, පළාත් පාලන මැතිවරණයෙන් දෙවෙනි තැනට පත් වූ එජාප නායකයාව අගමැතිකමින් ඉවත් කිරීමේ කුමන්ත්‍රණය ආරම්භ කළේ ද ශ්‍රීලනිපයයි. සිනහවට කාරණය වන්නේ ශ්‍රීලනිපය මෙම ව්‍යායාමයට අත ගසන්නේ පළාත් පාලන මැතිවරණයෙන් අන්ත පරාජයකට පත් වීමෙන් පසුව වීමයි.

මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් ලොකු ම පණිවුඩය දී තිබෙන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපයට බව ඔවුහු අමතක කළ හ. එම පණිවුඩය හරියට ග්‍රහණය කර ගත්තා නම් ඔවුන් කළ යුතුව තිබෙන්නේ ආණ්ඩුවෙන් ඉවත් වී එජාපට තනිව ආණ්ඩුවක් පිහිටුවා ගන්නට ඉඩ දීමයි.

එහෙත්, ඔවුන් කළේ රනිල් වික්‍රමසිංහ ඉවත් කර නිමල් සිරිපාල ද සිල්වා අගමැති පදවියට පත් කර රාජපක්ෂවාදී ඒකාබද්ධ විපක්ෂය සමග ආණ්ඩුවක් පිහිටුවන්නට ය. එයට ඒකාබද්ධ විපක්ෂයෙන් හෝ උද්‍යෝගිමත් සහයෝගයක් ලැබුණේ නැත. ඉන් පසු එජාපය භේද භින්න කර කරු ජයසූරිය අගමැති ලෙස පත් කර එජාප සමග ආණ්ඩුවක් පිහිටුවන්නට උත්සාහ කරන ලදී. එහෙත් කරු ජයසූරිය එයට කැමැත්ත පළ කළේ පක්ෂ සහයෝගය ලැබේ නම් පමණක් තමන්ට එය කළ හැකි බව කියමිනි.

එජාප තුළ දැඩි නායකත්ව අර්බුදයක් තිබේ. එජාප නියෝජ්‍ය නායකයා වන සජිත් ප්‍රේමදාසට නායකත්වයට ගොඩනැගීමේ හැකියාවක් නැති වීම රනිල් ඉවත් කිරීමට තිබෙන ප්‍රධාන බාධාවකි. එසේම, සජිත් සිරස හා ජනාධිපතිවරයා සමග කරන ලද දේවලින් ද ඔහුගේ නායක පෞරුෂය වර්ධනය වූයේ නැත.

එජාප නායකත්ව අර්බුදය විසඳා ගත යුතු ය. එහෙත්, එය කළ යුත්තේ පක්ෂය කඩා බිඳ දමාගෙන නොවේ. හිටි හැටියේ එක පාරට ම එම අර්බුදය විසඳාගත නො හැකි ය. එවැනි සූදානමක් එජාපයට නො තිබිණි. පසුගිය සමයේ එජාප නායකත්වය සම්බන්ධයෙන් පක්ෂය තුළ බරපතල ගැටලු තිබුණේ ද නැත. මේ කැරැල්ල තනිකර ම පිටතින් ඇති කරන ලද්දකි. එය ඇවිලුවේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රීලනිපයයි. එය අසාර්ථක විය.

ශ්‍රීලනිපය පළාත් පාලන මැතිවරණයෙන් ද පරාජය විය. අගමැති වෙනස් කරන කුමන්ත්‍රණයෙන් ද පරාජය විය. ලජ්ජාව තිබේ නම් දැන් කළ යුත්තේ ආණ්ඩුවෙන් ඉවත් වී එජාපට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ දීමයි.

එජාප නායකත්ව අර්බුදය ක්‍රමානුකූලව විසඳා ගත යුතු ය.

 

 

Please follow and like us:

3 thoughts on “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් ආණ්ඩුවේ ඉන්නේ කුමට ද?

    1. Dear Rasika,
      The reason is the RSS feed in this site is different from the previous one. Kindly find out the feed from the Meta box in the right column and add it to your blog reader.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *