දෙවෙනි නවකතාවට යන්නට කලින් ‘ශාස්තෘ’ මුල් එකෙන් නිදහස් වීම

ශාස්තෘ කවරය
ශාස්තෘ කවරය

ශාස්තෘ අජිත් පැරකුම් ජයසිංහ වන මගේ පළමු නවකතාවයි. එය පළ වුණේ 2010දීයි. තවමත් ඒ ගැන කතා කරන අය ද, වෙළඳපොළේ සොයා ගත නො හැකි මේ ගුප්ත පොත සොයාගෙන මා හමු වන්නට එන අය ද මට තවමත් හමු වෙති.

“මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි,” යි මම එහි පෙරවදනේ සඳහන් කළෙමි.

ශාස්තෲ ලිවීමේදී මට බල පෑ චිත්‍රපටයක් තිබේ. ඒ වනාහි 2001දී නිපදවන ලද ඇමරිකානු චිත්‍රපටයක් වන A Beautiful Mind ය. ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභියකු වන ජෝන් ෆෝබ්ස් නෑෂ්ගේ ජීවිතය පාදක කරගෙන රෙන් හොවාඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ච්ත්‍රපටය භින්නෝන්මාදය හෙවත් schizophrenia නම් මානසික රෝග තත්වය පිළිබඳ අපූරු විවරණයකි.

සාහිත්‍යකරුවකු ලෙස මා උත්සාහ කළේ මෙකී මානසිකත්වය රෝගයක මට්ටම හා සාමාන්‍ය හෝ විශේෂ මානසික මට්ටම අතර දෝලනය වන ආකාරය එක් තලයකදී විභාග කිරීමටයි.

භින්නෝන්මාදයේ යම් යම් මට්ටම්වලින් පෙළෙන පුද්ගලයෝ අපට සමාජයේ නිතර හමු වෙති. ප්‍රතිකාර නො ලබන මෙය උත්සන්න වූවෝ තමන්ට පෙනෙන මායා දර්ශන හෙවත් dellusions සමග කතා කරමින්, හැසිරෙමින් වීදි සරන අන්දම සුලබ ය.

තමන්ට තිබෙන රෝගය නො හඳුනන තවත් විශාල පිරිසක් විශ්ව ශක්තිය, අද්භූත බල, දේව වරම්, නක්ෂත්‍රය හා ආයුර්වේදය වැනි දේ භාවිතා කරමින් මිනිසුන් අමාරුවේ දමති. මෙවැනි අයට අසු වී රෝග අසාධ්‍ය මට්ටමට පත් කර ගන්නා අය අතර සමාජයේ ප්‍රභූ හා බුද්ධිමත් කොටස් ද සිටිති. අප මෙම බ්ලොගය හරහා අඛන්ඩව මෙම පිරිස්වලට එරෙහිව සටන් කර තිබේ.

ශාස්තෲ නවකතාව එතැනනිනුත් ඔබ්බට විහිදෙමින් සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ ඉතිහාසය විසින් සමාජය වෙනස් කිරීම සඳහා වගකීම් පවරා ඇති, යුගයේ කාර්ය භාරය ඉටු කරන බව කියන විප්ලවවාදීන් හා වෙනත් එවැනි අයත්, මෙම මානසික තත්වයත් අතර ඇති සම්බන්ධයයි.

ශාස්තෘ පළ කළ ආසන්න කාලෙ ගත්ත පිංතූරයක්

සමාජය වෙනස් කිරීම වෙනුවෙන් දිවි කැප කිරීම හා භින්නෝන්මාද තත්වය අතර සම්බන්ධය අතිශය සංකීර්ණ විෂයකි.

අප පෞද්ගලිකව දකින්නේ මෙය කිසියම් සුවිශේෂ මානසික තත්වයක් ලෙසයි. මෙම මානසික තත්වය රෝගයක් බවට පත් වන සීමාව බොඳ වූ කලාපයකි.

ශාස්තෲ නවකතාවේ ඉන්ද්‍රනාමගේ සිට බොහෝ චරිත මෙකී මානසික තත්වයේ විවිධ මට්ටම්වල සිටින අය වෙති. ඇතැම් විට, මෙය සෑම මිනිසකු තුළ ම ඇති ලක්ෂණයක් විය හැකි ය. මිනිසා සතු, වෙනත් සතුන් සතු නො වන නිර්මානශීලිත්වය හා භින්නෝන්මාදය අතර සම්බන්ධයක් ද තිබිය හැකි ය.

ශාස්තෲ කියවන ඔබට එය ඔබ කැමති අන්දමින් ග්‍රහණය කර ගැනීමට ඇති නිදහස සමග කතුවරයා ලෙස මම කිසිදු අන්දමකින් නො ගැටෙමි. එහෙත්, මේ කතාව මුලින් ම රස විඳි පුද්ගලයා ලෙස මම මා විඳි රසය පිළිබලඳ මෙසේ ස්වයං විචාරයක් කිරීම වරදක් කොට නො සලකමි.

ශාස්තෲ නවකතාවේ අත් පිටපත කියැවූ මගේ හිතමිත්‍රයකු කී කාරණයක් වන්නේ මෙය සාහිත්‍ය සමාජය විසින් භාර ගැනීමට ඉඩ ඇති මුත් වාම සමාජය විසින් නම් කිසි සේත් ම භාර නො ගනු ඇති බවයි. මෙය පළ නො කරන ලෙස මගෙන් ඉල්ලා නො සිටීමට තරම් ඔහු ආචාරශීලීවූ බව මට වැටහිණි. ඔහු කී දෙය එසේ ම සිදු විය. එහෙත්, නො නැසී පවතින්නට නම් වාම සමාජය කවදා හෝ මේ පිළිබඳ කතා කිරීමට ආත්ම ශක්තිය උපදවා ගත යුතු ය. මම එම සංවාදය කරගෙන ගියෙමි. එකී උපදෙස දුන් මිත්‍රයා ද මට අහිමි විය.

දියුණු සාහිත්‍ය සමාජයක් ලංකාවේ නැත. එය වනාහි දේශපාලන සමාජයේ ම පේනුවක් හෙවත් plug in එකක් පමණි. ලංකාවේ කතා කලාව දියුණු මට්ටමකට ගෙන ආ සුනේත්‍රා රාජකරුණානායක, සුමිත්‍රා රාහුබද්ධ වැනි අය මාක්ස්වාදී හා ජාතිවාදී පිරිමි ශාස්තෲතෲන්ගේ ගර්හාවට ලක් වන්නේ හා ලාංගනී ප්‍රනාන්දු අබේධීර වැනි අප දන්නා පමණින් ලේඛන කලාව පමණක් කළ ගැහැනු කිසිවකුගේ ඇගයීමකට ලක් නො වන්නේ ඒ නො දියුණුකම නිසා ය.

නවකතාව යනු දේශපාලන සංවාදයේ උත්තර සංවාදය යයි ගුණදාස අමරසේකර කීවේ ය. අපි සාහිත්‍යය දේශපාලන අරගලයේ උත්තර අරගලයක් ලෙස ද සලකමු.

ශාස්තෘ ලියන්නට වස්තු බීජය පහළ වූයේ මා සාමය වෙනුවෙන් වැඩ කිරීම නිසා ඉන්දියාවේ ස්වයං පිටුවහලේ සිටියදී ය. එම වකවානුවේදී මට ආගම් පිළිබඳ යම් හැදෑරීමක් කිරීමට අවස්ථාව ලැබිණි. මා කුෂ්වාන්ති සිං ලියූ Burial at Sea කියෙව්වේ ද මෙම වස්තු බීජය පැළ වන සමයේදී ය.

අප හිතමිතුරන් වූ රසික සූරියආරච්චි, නිශාන්ත කුලරත්න, ප්‍රියන්ත ලියනගේ, ජයසිරි අලවත්ත වැනි අය මෙන් ම එතරම් නන්නාඳුනන තවත් අය ද ශාස්තෘ නවකතාව ගැන කතිකාව පවත්වාගෙන යාමට දායක වූ හ. එහෙත්, විදග්ධ විචාරක සමාජය ශාස්තෘ ගැන කතා කළේ ම නැත.

මා ශාස්තෘ පළ කළේ කර්තෘ ප්‍රකාශනයක් ලෙසයි. එය විසින් මට ඉගැන්වූ පාඩම් බොහෝ ය. ඒ පාඩම් මා යා යුතු මාවත මට කියා දුන්නේ ය. මම මේ දිනවල මගේ දෙවෙනි නවකතාවේ අවසන් සංස්කරණයන් කරමින් සිටිමි.

කේ පොයින්ට් / K Point ළඟදීම බලාපොරොත්තු වන්න.

ශාස්තෘ විශේෂ අඩු කළ මිළ රු. 200කි. තැපැල් ගාස්තුව එකතු විය යුතු ය. පිටපත් සීමිතයි. මිළ දී ගැනීමට කැමති නම් අප අමතන්න >>

Please follow and like us:

2 thoughts on “දෙවෙනි නවකතාවට යන්නට කලින් ‘ශාස්තෘ’ මුල් එකෙන් නිදහස් වීම

  1. ශාස්තෲ නවකතාව එළිදැක්වුණේ 2010 නොවැම්බරයේදී නේද?
    බ්ලොග් ලිපියේ ලියා ඇත්තේ දෙදහස් එකොළහේ දී කියායි. එය වැරදියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *