සත්‍යය ප්‍රබන්ධයටත් වඩා බියකරුය; කේපොයින්ට් හා භික්ෂු පරිච්ඡේදය

නව කතා දෙකක් සහ ඉතිහාස දෙකක්!
– කරුණාරත්න පරණවිතාන විසිනි

කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත් විශේෂ පොත් දෙකක් ගැනය මෙවර සටහන. දෙකම නවකතා දෙකකි. සත්‍ය සිදුවීම් ඇසුරින් ලියන ලද අප රටේ ඉතිහාසයේ යුගයකට අදාල වන බැවින් මේ දෙකම ඓතිහාසික නවකතා දෙකකි. පොත් වලින් මතු කරන ඉතිහාසය වනාහී ඈත දුරාතීතයකට අයත් වූවක් නොව මේ ඊයේ පෙරේදා අප විසින් පසු කරන ලද අපගේ වර්තමානය සමග ගෑවී නොගෑවී පවතින වර්තමානයටම සම්බන්ධ ළඟ ඉතිහාසයකි. පළමුවැන්න අජිත් පැරකුම් ජයසිංහ ලියූ “කේ පොයින්ට්ය.” එය ‘එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ නවකතාව’ වශයෙන් නමි කර ඇත. දෙවැන්න උපුල් ශාන්ත සන්නස්ගල ලියූ ‘කොළඹ කතාව’යි. එය ‘භික්ෂු පරිච්ඡේදය’ වශයෙන් ද නම් කර ඇත්තේ කොළඹ කතාවේ තවත් පරිච්ඡේද ඉදිරියට එන බවට කෙරෙන කතුවරයාගේ ඉඟියක්ද සමගිනි.

ඉතිහාසයේ අනාගතය නමින් (the future of history) රසවත් පොතක් ලියූ ජෝන් ලූකාස් නම් ඉතිහාසඥයා පවසන්නේ සෑම නවකතාවක්ම ඓතිහාසික නවකතාවක් බවයි. නව කතා ලියන්නන් පමණක් නොව කියවන්නන්ටද ඉතිහාසඥයන් වීමේ හැකියාවක් පවතින බව ඇලෙක්සැන්ඩර් ඩූමාගේ නවකතා ගැන විග්‍රහයක් කරන ප්‍රංශ ඉතිහාසඥ මාර්ක් බ්ලොච් (Marc Bloch) සඳහන් කරයි. එසේ වුවද අනෙක් නවකතාවලින් වෙන් වූ ඓතිහාසික නවකතා වශයෙන් වෙනම නම් කළ හැකි සාහිත්‍ය ශානරයක්ද ඇත. එවැනි නවකතාවක් වන මහ ගත් කරු ටොල්ස්ටෝයිගේ ‘යුද්ධය හා සාමය’ මහා නව කතාව ගෙතී ඇත්තේ ජීවිතයේ අර්ථය සොයා යන පියරෙ කුමරු, සර්ව දෝෂදර්ශී නරුමවාදියකුගෙන් පටන් ගෙන උතුම් මිනිසත් ගුණ සහිත මානවවාදියකු බවට පත්වන ඇන්ඩ්‍රි කුමරු සහ තම ආවේගකාරීත්වය නිසා තම ජීවිතය තර්ජනයකට ලක්කරගන්නා සුන්දර නතාෂා කුමරියගේ ජීවන පුවත පාඨකයා වෙත ගෙන හැර පෑමටය. එය කියවා අවසන් වන පාඨකයා නැපෝලියානු යුද්ධ සමයේ ඉතිහාසය ගැන දැනුමක් ඇත්තෙකු පමණක් නොව ජීවිතාවබෝධය පළල් කර ගත් විසල් මිනිසකු බවටද පත්වෙයි.

මේ පසුබිමෙහි හිඳිමින් අපි ඉහත දක්වන ලද සිංහල නව කතා දෙක දෙස බලමු. දක්ෂ ලේඛකයෙකුට බියකරු ප්‍රබන්ධ ගෙතිය හැකිය. නමුත් සත්‍ය ඉදිරිපත් කිරීම ඊටත් වඩා බියකරුය. මාක්  ට්වෙයින් නම් ප්‍රකට ඉංග්‍රිසි ලේඛකයා පැවසුවේ සත්‍යය ප්‍රබන්ධයටත් වඩා බියකරු බවය. අජිත් පැරකුම් කේ පොයින්ට් නවකතාවෙන් ඉදිරිපත් කර ඇත්තේ අපගේ ඉතිහාසය පිළිබඳ බියකරු සත්‍යයකි. 1989 භීෂණ සමයේ කැරලි කරුවකු ලෙස සටන් කරමින් වධකාගාරයක මරණීය වධ බන්ධනවලට ලක් වූවකුගේ කතාව අපට කියවන්නට ලැබේ. මේ කතාව කියන රචක නම් කතා නායකයා කතුවරයා නොවන බවත් නොවන්නේද නොවන බවත් අජිත් පැරකුම් කතාව ආරම්භයේදීම පවසයි. අප පසු කරමින් සිටින අතිශය ප්‍රචණ්ඩ ඉතිහාසය හා සමාජය පිළිබඳ අපේම හදට මනසට යවුල් පහරවල් අනිමින් අවධි කරන අජිත් පැරකුම්ට මේ ප්‍රබන්ධය අපට කියන්නට හැකි වී ඇත්තේ එම ස්ව මාංශභක්ෂක යුගයේදී භීෂණ කුණාටුවකට මැදිවූ ඔහුගේ ජීවිතය අහඹුවක් ලෙස හෝ ශේෂ වූ බැවිනි.

කේ පොයින්ට් නවකතාව යනු ශ්‍රී ලාංකික  දේශපාලන ආර්ථික හා සංස්කෘතික සමාජ ප්‍රචණ්ඩත්වයේ මෑත කාලීන ඉතිහාස කතාවයි. දේශපාලන ප්‍රචණ්ඩත්වය යනු බලය උදෙසා කෙරෙන මිනී මරාගැනීම්, දේපල විනාශ මංකොල්ල ආදියෙන් සමන්විත සෘජු ප්‍රචණ්ඩත්වයයි. ආර්ථික ප්‍රචණ්ඩත්වය යනු එම සෘජු ප්‍රචණ්ඩත්වය වගා දිගා වීමට ජලය පොහොර සපයා පස සකසා දෙන අසමානතාව, දුප්පත්කම  කොල්ලකෑම පසුගාමීත්වය ආදී අංග ලක්ෂණවලින් සමන්විත ප්‍රචණ්ඩ සමාජ ව්‍යුහයන්ය. සංස්කෘතික ප්‍රචණ්ඩත්වය යනු ඉහත කී සෘජු දේශපාලන ප්‍රචණ්ඩත්වය සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය යුක්ති සහගත කරන, සාධාරණීකරණය කරන  ආගම් දේශපාලන මතවාද ආදියෙන් සමන්විත ගැඹුරු ප්‍රචණ්ඩ මූලයන් සහිත සමාජ මානසික සැකැස්මයි. කේ පොයින්ට් නවකතාව කියවා ගෙන යන කල මේ ත්‍රිවිධාකාර  ප්‍රචණ්ඩත්වයේම රුදුරු මුහුණුවර අප ඉදිරියේ දිග හැරෙයි.

නිදහසින් පසු හැත්තෑ වසරක ඉතිහාසය සමාජ කැරලි දෙකක තුනක රුධිරයෙන් ලිය වී ඇත. මේ කැරලි තුනම සිවිල් යුද්ධය. සිවිල් යුද්ධයකදී සිදුවන්නේ  සටන් කරන් කැරලිකරුවන් රාජ්‍ය හමුදා සාමාජිකයන් පමණක් නොව සමස්ත සමාජයම සාපාරාධීකරණයට ලක්වීමය. සමස්ත සමාජයම සාමූහික මහා අපරාධයක වින්දිතයන් බවට පත් වීමය. සමාජයේ කොටස්කරුවන් වශයෙන් අප පෙළෙන එකී වින්දිතභාවය පිළිබද අප කෙරෙහිම ඔවුනොවුන් කෙරෙහිම සහනුකම්පාවක් ජනිත කිරීමට අජිත්ගේ ඉතිහාස කතාව සමත් වෙයි. එය ඉතිහාස කතාවක් පමණක් නොවී කලාත්මක නවකතාවක්ද වන්නේ එම හේතුව නිසාමය.

උපුල් ශාන්ත සන්නස්ගලගේ භික්ෂූ පරිච්ඡේදය නවකතාව එහි ශෛලියට අනුව කතා අතුරු කතා ගොන්නක් සහිත වුවද එක් ප්‍රධාන කතා වර්ගයකට මුල් තැන දෙන නවකතාවකි. මේ කතා අපට කියන්නේ කතුවරයා තම ඇත්ත නමින්ම පෙනී සිටිමින්ය. අජිත්ගේ පොතේ මෙන් රචකයා ඔහුද  නොවේ නොවන්නේද නොවේ තත්වයක් එහි නැත. කතා කියන්නා  උපුල්ම වන අතර එහි ප්‍රධාන කතා අයත් වන්නේ අප රටේ මෑත කාලීන ශාසන ඉතිහාසයටය.
උපුල් ඉදිරිපත් කරන සමහර භික්ෂු කතා උපුල්ටත් දිනපතා ප්‍රවෘත්ති බලන කියවන පොදු පාඨක අපටත් මේ ඊයේ පෙරේදා අසන්නට දකින්නට ලැබුණ කතාය. බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඤාණසාරහිමිගේ කතාව, ආවේග බර වූ අම්පිටියේ සුමන හාමුදුරුවන්ගේ කතාව, අලි ප්‍රශ්නයට මැදි වූ  උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ කතාව, නවකවදය දීමේ චෝදනාවකට ලක්ව බන්ධනාගාර ගතවූ සරසවි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනමගේ කතාව ආදී වශයෙන් කවුරුත් දන්නා කතාය. සමහර කතා උපුල් සමග ඇසුරු කළ ඔහුගේ ජීවිතයට නන් අයුරින් සම්බන්ධ වූ අප වැඩිය නොදන්නා මෛත්‍රී මූර්ති හිමි වැනි භික්ෂූන් වහන්සේ පිළිබඳ කතාය.

KPoint Book Imageඅප රටේ සසුනෙහි භික්ෂූන් වහන්සේ ලක්ෂ ගණනක් නැත. සිටින්නේ තිස්දහසක් පමණ වූ සුළුතර පිරිසකි. දුරාතීතයේද තත්වය මෙසේම වන්නට ඇත. එහෙත් මේ සුලුතර පිරිස අප රටේ සංස්කෘතියේ මූලික කාරක සාධකයකි. භික්ෂූන් වහන්සේගෙන් තොර සිංහල සංස්කෘතියක් ගැන සිතීමට අපහසුය. සමාජයේ උන්වහන්සේ උසුලන පූජනීය ස්වභාවයට නිසා භික්ෂුව විවේචනය කිරීම සාමාන්‍යයෙන් කෙරෙන්නේ නැත. එයින් කියවෙන්නේ භික්ෂූන් සංඝයා වැරදි නොකරන පිරිසක් බව නොවේ. බුදුන් වහන්සේට විනය ශික්ෂා පද පැනවීමට හේතු වූ කතා වස්තු වනාහී ප්‍රබන්ධ නොව ඓතිහාසික පුවත්ය. ඒවා විමසන විට පෙනී යන්නේ අද මෙන්ම එදාද විවේචනයට ලක්විය හැකි චර්යාවක නිරත වූ භික්ෂූන් සිටි බවය. වැරදි ඇති වූ විට ඒවා යළි ඇති නොවන ලෙස සසුන්පත ප්‍රතිසංස්කරණය කිරීම බෞද්ධ සාසන මාර්ගයේ එක් වැදගත් ප්‍රතිපදාවකි. යහපත් ප්‍රතිසංස්කරණය සඳහා විචාරාත්මක අදහසක් අවශ්‍ය වන්නේය. උපුල්ගේ භික්ෂු පරිච්ඡේදය කියවාගෙන යන කල එහි විවේචනයට ලක්වන භික්ෂූන් වහන්සේ අැතුලු සමස්ත භික්ෂූන් සංඝයා කෙරෙහිම අප සිත් තුළ ජනිත වන්නේ මහා සහනුකම්පාවකි. භික්ෂුන්වහන්සේද  මනුෂ්‍යයෙකි යන අදහස අප සිත් තුළ ජනිත කිරීමට කතුවරයා සමත්ව ඇත. ඒ නයින් මේ කෘතියද ඉතිහාස කෘතියක් ඉක්මවා ගිය  සාහිත්‍ය කෘතියකි. උපුල්ගේ කෘතිය පිළිබඳ අපගේ මෙම අදහසට විරුද්ධ වන අය සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ වුවද සත්‍යය ප්‍රබන්ධයට වඩා බියකරු බව ඒ අයද කල්පනාවට ගත යුතුය.

කේපොයින්ට් නවකතාව නිවසටම තැපෑලෙන් ගෙන්වා ගන්නා හැටි මෙතනින්>>>>
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *