සම්මාන වෙනුවෙන් චිත්‍රපට කිරීම හා චිත්‍රපටවලට සම්මාන දීම

 

සමනලී ෆොන්සේකා
ප්‍රේමය නම් චිත්‍රපටයේ සමනලී ෆොන්සේකාගේ රංගනයට සම්මාන නොලැබී දිල්හානි අසෝකමාලා සම්මානයට පාත්‍ර වීම විවේචනයට ලක් වී තිබේ.

දෙරණ සිනමා සම්මාන උළෙලේදී තමන් කැමති චිත්‍රපටවලට සම්මාන නොලැබීම පිළිබඳ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන රැසක් ඇහෙනවා.

ලංකාවෙ සිනමාව ගත්තොත්, එක් පිරිසක් සිනමා කලාවෙ යෙදෙන්නෙ තනිකර ම සම්මාන සඳහා. ඔවුන්ගේ සමස්ත නිර්මාන චාරිකාව ම සම්මාන වෙනුවෙන් තමන් හැඩගස්වා ගැනීමක් විදියට දකින්නට පුළුවන්. ලංකාවෙ සමාජ ප්‍රශ්න ගැන දැවැන්ත සානුකම්පිත දෘෂ්ටියකින් කරන බව කියන මේ ච්ත්‍රපට වැඩි හරියක් ලංකාවේ ප්‍රෙක්ෂකයන්ට පෙන්නන්නට හෝ මේ සිනමාකරුවන්ට උවමනාවක් නැහැ.

මේකෙ අනෙක් අන්තය තමයි, ලංකාවෙ වෙළඳපොළට ගැලපෙන්නට මොකක් හෝ කිරීම. හැබැයි, එහෙම කළා ය කියලාත් හැම තිස්සෙ ම වෙළඳපොළේ සාර්ථක වෙන්නට බැහැ. දැන් සිනමා ප්‍රේක්ෂකයන් කිසියම් ගුණාත්මකභාවයක් අපේක්ෂා කරනවා.

ඔය සම්මාන දුන් අවුරුද්දෙ චිත්‍රපට අතරින් හොඳට දුවපු, ගුණාත්මක අතිනුත් ඉදිරියෙන් සිටි චිත්‍රපටයක් තමයි ධර්මයුද්ධය. ඒක සරල චිත්‍රපටයක් නිසා වැඩිය කවුරුවත් ඒ ගැන කතා කරන්නට උනන්දු වුණේ නැහැ.

හොඳම නළුවා, නිළිය හා හොඳම සහාය නළුවා වෙනුවෙන් ඒ චිත්‍රපටයට සම්මාන හිමි වෙලා. ඒ පිළිවෙලින් ජැක්සන් ඇන්තනිට, දිල්හානි අසෝකමාලාට හා කුමාර තිරිමාදුරට යි.

හොඳම චිත්‍රපටය, අධ්‍යක්ෂණය හා තිර රචනය වෙනුවෙන් ප්‍රසන්න ජයකොඩි 28 චිත්‍රපටය වෙනුවෙන් සම්මාන ලැබුවා.

ජූඩ් රත්නම්, නදීකා ගුණසේකර, ආචාර්ය සෝමරත්න දිසානායක, එම්.ඩි.මහින්දපාල සහ තිස්ස ලියනසූරිය තමයි මේ සිනමා උළෙලේ විනිශ්චයකාරවරුන් වුණේ. ඔවුන් සිනමාව සමග යම් යම් ආකාරවලින් සම්බන්ධ අය. හැබැයි ඔවුන් විචාරකයන් නම් නෙමෙයි. මේ අය සම්මාන නොලබන කාලවලට සම්මාන විනිශ්චයකරුවන් වන අතර අනෙක් කාලවලදී සම්මානලාභීන් වන අය යි. කොහොම වුණත්, ඔවුන් සම්මාන උළෙලක විනිශ්චයකරුවන් වන්නට සුදුසුකම් ඇති අය යි. කොයි කාගේ වුණත් සීමා තියෙනවා. මේ අයටත් එහෙමයි.

මේ විනිශ්චය මණ්ඩලය දෙස බලා විමුක්ති ජයසුන්දර තම චිත්‍රපටය වූ සුළඟ ගිනි අරන් ඉවත් කර ගැනීමත් සාධාරණ යි. විමුක්ති වැනි අයෙකුට මෙවැනි විනිශ්චය මණ්ඩලයකින් විනිශ්චය නොවී ඉන්නට අයිතියක් තිබෙනවා. හැබැයි, බටහිර රටක සිනමා උළෙලකදී විනිශ්චය මණ්ඩලය සම්බන්ධයෙන් මෙසේ අභියෝග කරන්නට ඔහුට පුළුවන් ද යන්න සැක සහිත යි.

ඒ කෙසේ වෙතත්, දෙරණ සිනමා සම්මාන උළෙල නෙමෙයි මොන සම්මාන උළෙලක් සම්බන්ධයෙන් වුණත් අවසානයේදී කියන්නට සිදු වන්නේ එහි විනිශ්චය මණ්ඩලයේ තීරණය අපට පිළිගන්නට සිදු වන බවයි.

රජය, විවිධ සමාගම් හා සංවිධාන සම්මාන උළෙලවල් පවත්වන්නේ විවිධ අරමුණු සහිතව යි. ඒ අතරට සමාගම් සමාජ වගකීමත් අයත් වෙන නිසා සියලු අරමුණු වානිජ අරමුණු ලෙස සලකන්නට බැහැ.

හැබැයි, සම්මාන උළෙලවලට විනිශ්චයකාරවරුන් පත් කරන්නෙ ඒ සංවිධායකයන්ගෙ අභිමතය පරිදි මිස ප්‍රජාතාන්ත්‍රික පදනමකින් නෙමෙයි. සම්මාන තේරීමෙදි පුද්ගල සාධක හා සංවිධාන අරමුණු බලපාන්නෙ එහෙමයි. මෙය සියලු සම්මාන උළෙලවලට අදාළයි. සම්මාන උළෙලවලට විතරක් නෙමෙයි, කොයි දේටත් අදාළයි. හැමෝට ම හැම දේ ම කරන්නට බැහැ. යම් වැඩක් යම් පිරිසකට පවරනවා නම්, ඒ පිරිස කෙරෙහි විශ්වාසය තියන්නට අනිවාර්යයෙන් ම සිදු වෙනවා. එහෙම විශ්වාස කරන්නට බැරි නම් ඒක සමාජ අර්බුදයක්. කිසිම කාර්යයක් විශ්වාසය තැබිය හැකි ලෙස කරන්නට පුළුවන් පිරිසක් තෝරා ගන්නට බැරි තරම් අපේ සමාජය පිරිහිලා ද?

අපට විශ්වාස කරන්නට පුළුවන් අප විතරක් ම නම්, වෙන කිසි ම කෙනෙකු විශ්වාස කරන්නට බැරි නම්, ඒක කොයි තරම් සමාජ අර්බුදයක් ද? දැන් කියන්න එපා සමාජවාදය තමයි විසඳුම කියලා. සමාජවාදය ගොඩනැගිය හැක්කේත් සමාජ විශ්වාසය ඔස්සේ යි. මේ පරම අවිශ්වාසය කියන්නෙ සමාජවාදය වෙත යොමු වුණ එකක් නෙමෙයි. මේ ම්ලේච්ඡත්වය කරා යන ගමනක ලක්ෂණ.

2017 වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් කලාත්මක වශයෙන් ඉදිරියෙන් සිටින චිත්‍රපට කීපයක් ගැන ම මම සටහන් තැබුවා.

ඒ අතරින් මා නම් වඩාත් කැමති චිත්‍රපටය තමයි නිනෝ ලයිව්.

මේ ඒ ගැන මා එදා ලියූ සටහන නැවත පළ කිරීමක්.

හොඳම චිත්‍රපටය වූ ‘28′ ගැන මා ලියුවේ එහි ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ තේමාව ඉස්මතු කරමිනුයි. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනය ගැන උගන්නපු නැති පාඩම: 28

නිනෝ ලයිව් හැරුණාම මෙම සම්මාන උළෙලේදී කිසිදු ඇගයීමකට ලක් නොවුණ චිත්‍රපටයක් තමයි සුළඟ ගිනි අරන්. සමහරවිට විමුක්ති ජයසුන්දර එය සම්මානවලින් ඉවත් කර ගත්තා ද යන්න මා දන්නේ නැහැ. විමුක්ති සමග ෆුල් අවුල් වෙන්න සුළඟ ගිනි අරන් බලන්න

නිම්නයක හුදකලාවත් අලුත් ෂානරයක අමුතු චිත්‍රපටයක්. ලිබර්ටියේ සිට දෙහිවලට පැය දෙකක බස් ගමනක නිම්නයක හුදකලාව

ධර්මසේන පතිරාජයන්ගේ ස්වරූප චිත්‍රපටය මා නම් එතරම් අගය කළ නිර්මානයක් නෙමෙයි. ධර්මසේන පතිරාජගේ ස්වරූප හා ඇන්ටික් ලයිෆ්

මා වරලත් විචාරකයෙකු නෙමෙයි. මා රස විඳි කෘතියක් ගැන මා ලියන්නේ රසිකයකු ලෙසයි. එය එම කෘතිය මා රස විඳි ආකාරයයි. විචාරය යනුවෙන් ලේබල් වී ඇති විදග්ධ කාර්යය ඊට වඩා වෙනස් දෙයක්. එතනදී ඒ වැඩේ කරන්නෙ සාමාන්‍ය රසිකයන්ට වඩා තට්ටු ගානක් උඩින් ඉඳගෙන තමන් අමුතු ම දෙයක් කරනවා ය යන අනන්‍යතාව සලකුණු කරමින් බවයි මගේ අදහස. ලංකාවේ නම් මේ විචාර යයි කියන ලේඛනවල අන්තර්ගතයට වඩා දකින්නට ලැබෙන්නේ භාෂා හරඹයක්. තමන්ට නොතේරෙන දේවල ගැඹුරු, ගුප්ත අර්ථයක් ඇතැයි කියා සිතන එක ප්‍රාථමික සමාජයේ සිට ම මිනිසුන් තුළ තිබෙන ලක්ෂණයක්.

මේ වරලත් විචාරකයන් විසින් සාමාන්‍ය රසික සමාජය බියවද්දා ඔවුන් කතා කරන්නට බිය තත්වයට පත් කර තිබෙනවා. චිත්‍රපටයක් බැලූ විට තමන් එය රසවිඳි හැටි සමාජ මාධ්‍යයකින් හෝ බෙදා ගන්නට බොහෝ දෙනෙකු බියයි. සම්මාන උළෙලවලින් පසුව මෙම විචාරකයන් ම ඉදිරිපත් වී තමන් කැමති අයට සම්මාන නොලැබීම ගැන මතභේද නිර්මානය කිරීමක් දකින්නට ලැබෙනවා. එතැන් සිට අර කට අරින්නට බය අනුකාරකයන් එය පසුපස එල්ලෙන්නට පටන් ගන්නවා.

මූලික ප්‍රශ්නය ඒ චිත්‍රපට තිරගත වූ දිනවල බොහෝ රසිකයන් ඒ ගැන කතා කර කලාකරුවන් දිරිගැන්වීමක් නොකිරීමයි. මෙහි ප්‍රතිඵලය කිසියම් කල්ලි කණ්ඩායම් විසින් කලා කෘති විචාරයේ තනි අයිතිය තම භුක්තියට පවරා ගැනීම යි. අධිපති විනිසුරුවන් විවේචනය කරන මොවුන් ඇස ගසාගෙන ඉන්නේ තමන් ඒ විනිශ්චයාසනවලට පත් වීමට යි.

කලාව ගැන සාමාන්‍ය රසිකයන්ගේ නිදහස් රසවින්දනයක් අවශ්‍ය යි. කල්ලි කණ්ඩායම්වල හිතවත්, අහිතවත්කම් මත සිදු වන අධිපතිවාදී ඊනියා විචාර, විවේචනවලට අප විරුද්ධ ඒ නිසා යි.

Please follow and like us:

One thought on “සම්මාන වෙනුවෙන් චිත්‍රපට කිරීම හා චිත්‍රපටවලට සම්මාන දීම

  1. සම්මාන ගැන මගේ මතය මෙයයි.

    සම්මාන ලැබෙන්නේ සම්මාන උළෙල පවත්වන අයගේ කැමැත්ත අනුව හොඳම නිර්මාණ සහ නිර්මාණ දායකත්වය සඳහා මිස, ඔහෙලා අපේ කැමැත්ත අනුව නොවේ. කොටින් ම, මං සම්මාන උළෙලක් කළොත් මං සම්මාන දෙන්නේ මං කැමති නිර්මාණවලට සහ පුද්ගලයින්ට මිස පැරා කැමති අයට නොවේ. පැරාගේ උළෙලේ තීරණද එසේ ම ය.

    ඒ කරුණ තේරුම් ගත් විට ඔය ප්‍රශ්න එකක්වත් නැත.

    (ඉහත අදහස මං මුලින්ම ලිව්වේ අවුරුදු හත අටකට පෙර ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම කවි පොත සඳහා සම්මාන සුනිල් ගෝවින්න ගේ කිවපොතකට හිමි වූ විට එයට විරුද්ධව පැවති මඩ ගොහොරු සංවාදයක දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *