සමාජ මාධ්‍ය දිගට ම තහනම් කරන්නට කතා කරන ආණ්ඩුවේ පසුගාමීන්ට ජනතාව පාඩමක් ඉගැන්විය යුතු ය

නිශාන්ත මුතුහෙට්ටිගම
නිශාන්ත මුතුහෙට්ටිගම – ඊටිං බතල කරද්දී ගත් ඡායාරූපයක් (File Photo)

රජයේ මුග්ධ සමාජ මාධ්‍ය වාරණය පිටුපස සිටින අමන තකතීරුවන් කවුරුද යන්න හඳුනා ගැනීම පහසු වෙමින් තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් මෙම වාරණය පිළිබඳ යම් සංයමයකින් යුක්ත විරෝධයක් පළ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් කරන ප්‍රකාශ මුග්ධකම තව තවත් ගැඹුරු කරයි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය මෙම වාරණය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා යටතේ ඇති විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් කිහිප වරක් ම ඉල්ලා ඇති මුත් ඒ පිළිබඳ තීරණයක් ගැනීම ජනාධිපතිවරයා ජපාන සංචාරයෙන් පසු ආපසු සියරට පැමිණෙන තෙක් කල් දමා තිබෙන බව වාර්තා විය.

තරුණ කටයුතු ඇමති සාගල රත්නායක මේ පිළිබඳ සිය අදහස ට්විටර් පණිවුඩයක් මගින් මෙසේ සටහන් කළේ ය. “ෆේස්බුක් සහ සමාජ මාධ්‍යවලට බාධා කිරීම නිසා ආර්ථිකයට දැඩි අහිතකර බලපෑමක් සිදු වන අතර ඩිජිටල් ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍ර දැඩි අර්බුද වලට මුහුණ පායි. සිදු විය යුත්තේ සමාජ මාධ්‍ය වාරණය නොව වගකීම් සහිත සමාජ මාධ්‍ය භාවිතය ප්‍රවර්ධනය කිරීමයි.”

“සමාජ මාධ්‍ය ජාල භාවිත කරන 99% ක්ම එය භාවිතා කරන්නේ සමාජයේ යහපත වෙනුවෙන්. අද ඒක තහනම් කිරීම නිසා ඒ 99%ටම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා,” යි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පැවසූ බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කළේ ය.

මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රණවක ද සමාජ මාධ්‍ය තහනම ඉවත් කරන්නැයි ඉල්ලා සිටියේ ය. එම පුවත්පත් සාකච්ඡාවේදී ම නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන සමාජ මාධ්‍යවල නීති විරෝධී කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පෙන්වා දුන්නේ ය.

මේ අතර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරින් ප්‍රනාන්දු අද මාධ්‍යයට ප්‍රකාශ කළේ ෆේස්බුක් නිලධාරීන් සමග සාකච්ඡා කරමින් ඇති බව හා සිකුරාදා වන විට සියලු දෙනාට ෆේස්බුක් වෙත් පිවිසීමේ පහසුව ලබා දෙන බවයි. වයිබර් බ්ලොක් කිරීම අද රාත්‍රියේ ඉවත් කරන බව රජය පවසයි.

ලොව ජනප්‍රිය සමාජ ජාලවලට සමාන චීන සමාජ මාධ්‍ය
ලොව ජනප්‍රිය සමාජ ජාලවලට සමාන චීන සමාජ මාධ්‍ය

කෙසේ වෙතත්, ෆේස්බුක් සමාගම සමග පවත්වනු ලබන බව කියන මෙම සාකච්ඡාවල සත්‍යාසත්‍යභාවය සැක සහිත ය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ඔහුගේ පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් විසින් කරුණු නො දැන දක්වන විවිධ අදහස් අනුව ෆේස්බුක් පවත්වාගෙන යාමට බැරි බව ඉතා පැහැදිලි ය.

මහින්ද අමරවීර හා නිශාන්ත මුතුහෙට්ටිගම නම් ජනාධිපතිවරයාගේ පක්ෂයේ ඇමතිවරුන් දෙදෙනා පවසන්නේ චීනය වැනි දියුණු රටවල් රැසක ෆේස්බුක් නැති බවයි. මෙය කරුණු නො දැන කියන්නන් වාලේ කටට එන ඒවා කියන වගකීම් විරහිතභාවයට කදිම නිදසුනකි.

චීනය දැවැන්ත ජනගහනයක් සිටින ධනවත් රටකි. ඒ රටට තමන්ට අවශ්‍ය අන්දමේ සමාජ ජාල සකසා ගැනීමේ හැකියාව හා එයට ප්‍රමාණවත් වෙළඳපොළක් තිබේ. පහත දැක්වෙන්නේ එක් එක් සමාජ ජාලවලට විකල්ප ලෙස චීනයේ භාවිතා වන විකල්පයි.

ශ්‍රී ලංකාවට එවැනි සමාජ මාධ්‍ය සංවර්ධනය කර ගන්නවාට වඩා තියෙන එකක් පාවිච්චි කරන එක ලේසි ය. එය නියාමනය කරන්නට බැරිකමක් නැත. අනෙක් පැත්තෙන් සමාජ මාධ්‍ය අගතීන්ට මුහුණ දිය යුතු වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ම ය. සමාජ මාධ්‍ය නීතියෙන් තොර අවකාශයක් නො වේ. ආන්තික ප්‍රකාශනයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට බැරිකමක් නැත.

ලොව බොහෝ දියුණු රටවල් ෆේස්බුක් තහනම් කර ඇති බව කියන මහින්දානන්ද අමරවීර, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි කරුණු නො දත් දේශපාලකයන්ගේ දැනගැනීම සඳහා ෆේස්බුක් තහනම් කර ඇති රටවල ලැයිස්තුවක් ඉදිරිපත් කරමි. දියුණුවේ මට්ටම හිතා ගැනීම ඔබට භාර ය.

  • චීනය
  • උතුරු කොරියාව
  • ඉරානය
  • පකිස්තානය
  • කියුබාව
  • වියට්නාමය
  • බංග්ලාදේශය
  • ඊජිප්තුව
  • මුරුසිය
  • සිරියාව

සමාජ මාධ්‍ය තහනම දිග්ගැහෙන තරමට එය සංචාරක කර්මාන්තයට, තොරතුරු තාක්ෂණයට, ව්‍යාපාරවලට සහ නිදහස හා විවෘතභාවය සම්බන්ධයෙන් ජාතිය සතු කීර්තියට බලපානු ඇති බව එක්සත් ජනපද තානාපති අතුල් කේෂාප් මහතා ද පෙන්වා දුන්නේ ය.

මිලියන එකහමාරක් පමණ වන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශ රටවල රැකියා කරති. ඔවුන්ට සිය පවුල් සමග සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා සමාජ ජාල ඉතා ප්‍රයෝජනවත් ය. අද වන විට රටේ ප්‍රධාන ආදායම් උත්පාදන මාර්ගය විදේශ රැකියා කරන පිරිස් එවන මුදල් ය.

මේ කිසිවක් ගැන තැකීමක් නැතුව සමාජ මාධ්‍ය බ්ලොක් කිරීම සතියක් තිස්සේ ඇදගෙන යාම සම්බන්ධයෙන් වගකිව යුතු ජනාධිපති සිරිසේන හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නඩයට නැවත මෙවැනි මරිමෝඩ ක්‍රියා සිදු නො කිරීම පිණිස පාඩමක් ඉගැන්වීමට ජනතාව මතක තබා ගත යුතු ය.

Please follow and like us:

5 thoughts on “සමාජ මාධ්‍ය දිගට ම තහනම් කරන්නට කතා කරන ආණ්ඩුවේ පසුගාමීන්ට ජනතාව පාඩමක් ඉගැන්විය යුතු ය

  1. එහිදී සමාජ මාධ්‍ය තහනම පිළිබදවද කරුණු කතාබහට ලක්වුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ,

    ” දින කීපයක තහනමක්‌ දැම්මේ. ඒ වෙලාවෙ ඉඳල ගැටුම් අවම වුණා. මේවාට අදාළ නව නීති ගේන්න වෙනවා. ෆේස්‌බුක්‌ නිසා සිදුවන හානිය තහනම හරහා වලකාගත හැකි බවට අද ලංකාව ලෝකයටම ආදර්ශයක්‌ දී තිබෙනවා”

    “ජර්මනිය පිලිපීනය වගේ රටවලිනුත් මේවා තහනම් කරල ලැබූ වාසිවලට නිදසුන්. චීනයේ ෆේස්බුක් වට්‌ස්‌ඇප් අරව මේවා මොකුත් නෑ. චීනය අපට දැන් තාක්‌ෂණික හා නීතිමය උපදේශන ලබාදීමටත් සූදානම් බවට පණිවිඩ ලැබෙමින් තිබෙනවා” යන්නයි.
    -– Divaina
    පැරකුම් හති දාගෙන යූඇන්පී කුණු අපුල්ලද්දීත් රනිල් ආයෙත් පැරකුම් ගේ රෙදි ගලවල නේද?

    1. එයා මේ මෝඩ, අමන තහනම සමුබන්ධයෙන් වගකිව යුතු නම්බර් 2. පුදුම වෙන්න එපා. එයාටත් සෝෂල් මීඩියාවලට බය වෙන්න හේතු තියෙනවා.

  2. එයා නම්බර් 2 කිව්වට දැන් ඔයා මේ ගැන ලිපි දෙකක්ම ලිව්වා දෙකේම තියෙන්නේ යූඇන්පී ය විරුද්ධයි, “ජනාධිපතිවරයාගේ පක්ෂයේ ඇමතිවරුන්” පක්ෂයි, එක නිසා “ජනාධිපති සිරිසේන හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නඩයට” පාඩමක් උගන්නන්න ඕනේ කියල නෙ? කෝ නම්බර් 2 ගැන සඳහනක් වත් නැහැ නෙ??

    “එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් මෙම වාරණය පිළිබඳ යම් සංයමයකින් යුක්ත විරෝධයක් පළ කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් කරන ප්‍රකාශ මුග්ධකම තව තවත් ගැඹුරු කරයි.”

    මාර ම බය නැති, අපක්ෂපාතී මාධ්‍යවේදය නේද?

    1. රනිල්ට විශේෂ බයක් නම් නැහැ.
      හැබැයි, අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ, අපි එහෙම අපක්ෂපාතී, මධ්‍යස්ථ අරවා මේවා කියන්නෙ නැහැ නේ. ප්‍ර‍ශ්නවලදි අපි ඉතා පැහැදිලිව පැත්තක් ගන්නවා.
      මේ මොහොතේ මේ තහනම ඉදිරියට යන්නට ප්‍ර‍ධාන හේතුව ජනාධිපති මිසක් අගමැති නෙමෙයි. ඒ නිසා රනිල් මොනවා හිතනවා ද කියන එක මට වැදගත් නැහැ. මට වැදගත් මෛත්‍රී කරන දේ. ඒකට තමයි මම ප්‍ර‍තිචාර දක්වන්නෙ.

  3. Also you forgot to mention Google = Baidu (Baidu is the search engine that have 93% of Chine market)
    Also QQ is like (Whatsapp + Skype + Viber) all combined and is the most common Instant messenger together with We Chat – both of them develop by Tencent company

    Tencent market value is USD530 Billion (yes its with a ‘B’) and bigger than Facebook Inc market value

    So compare China to Sri Lanka is a joke with more than 700 Million internet users and rapidly increasing.

Leave a Reply to admin Cancel reply

Your email address will not be published. Required fields are marked *