සාපරාධී වගකීම පැවරීමේ අවම වයස 12 වේ; හැබැයි කසාද බැඳීමේ අවම වයස තවම ගැටලුවක්

(Photo from koerdischnieuws.nl)

පුද්ගලයකුට සාපරාධී වගකීම පැවරිය හැකි අවම වයස අවුරුදු 12 දක්වා ඉහළ නංවන්නට රජය නීති සම්පාදනය කර තිබේ. ඒ සඳහා දණ්ඩ නීති සංග්‍ර‍හයේ 19වන පරිච්ඡේදයට හා 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට  රජය විසින් කරන ලද සං‍ශෝධන 2018 පෙබරවාරි 9දා ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කරන ලදී. මෙම පනත් පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.

එම පනත් පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමෙන් අනතුරුව, වයස අවුරුදු 12ට අඩු ළමයකු කරන වරදක් අපරාධයක් ලෙස නීතිය ඉදිරියේ සැලකෙන්නේ නැත. මේ දක්වා පැවති නීතිය අනුව, මෙම අවම වයස අවුරුදු 8ක් විය.

වයස අවුරුදු 12 සිට 14 දක්වා වන ළමයකුට අපරාධ වගකීම පැවරීමේදී ද යම් සහනයක් තිබෙන අතර, බැරෑරුම්කම තේරුම් ගැනීමට තරම් මේරු බුද්ධියක් අදාළ ළමයාට තිබුණේද යන්න පිළිබඳ ව තීරණය කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයකුට හිමි වේ. මෙහිදී මහේස්ත්‍රාත්වරයාට රජයේ වෛද්‍ය නිලධාරිවරයකුගේ හෝ වෙනත් වගකිවයුත්තකුගේ විශේෂඥ සහාය ලබා ගත හැකි ය.

මෙම පියවර අගය කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් පහත දැක්වෙන නිවේදනය කරන ලදී: “අවු 8ට පැවති මෙරට සාපරාධී වගකීම පැවරීමේ අවම වයස, අවු 12 දක්වා ඉහළ නැංවීමට අධිකරණ අමාත්‍යංශය ගත් උත්සාහය අපි අගය කරමු! මෙම කෙටුම්පත නීතිගත කරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුකූලව, එය වයස අවු 14 දක්වා ඉහළ නැංවීමට අපි හඬ නඟන්නෙමු.”

අපරාධයක වගකීම දැරීමේ අවම වයස් සීමාව අවුරුදු 12ක් දක්වා ඉහළ නැංවීමට අදාළව 1979 අංක 15 දරක අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට රජය තීරණය කොට ඇත.

මෙම නීති සංශෝධනය ළමා අයිතිවාසිකම් පැත්තෙන් ඉදිරිගාමී පියවරකි. කෙසේ වෙතත්, 1951දී සම්මත කර ගන්නා ලද මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව තවමත් වයස අවුරුදු 12ට අඩු ළමයින් පවා විවාහ කර ගැනීමේ අවසරය ශ්‍රී ලංකාවේ තිබේ. මෙම නීතිය සංශෝධනය කිරීම සඳහා රජය විසින් 2009දී පත් කරන ලද 17 පුද්ගල කමිටුව සිය වාර්තාව 2018 ජනවාරි මාසයේදී අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ වෙත භාර දෙන ලදී.

එහෙත් සාමාන්‍ය නීතිය යටතේ වයස අවුරුදු 18ට අඩු ළමයතු සමග විවාහ වීම නීති විරෝධී වන අතර, වයස අවුරුදු 16ට අඩු ළමයකු සමග යෙදෙන ඕනෑම ලිංගික ක්‍රියාවක් ව්‍යවස්ථාපිත දූෂණය ලෙස සැලකේ.

1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද පනතේ 4 (2) වගන්තිය අනුව ද වයස අවුරුදු 18ට අඩු අය අතර විවාහ පිළිගනු ලැබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *