සිලෝන් ටී සන්නාමය විනාශ කරන තේ කම්හල් ආරක්ෂාවට ඇමති නවීන් දිසානායක?

Ceylon tea
Ceylon tea

ලංකාවේ තේ කර්මාන්තයේ අනාගතය අඳුරු වෙමින් තිබේ. එයට මූලික හේතුව අධික ලාභ පසුපස හඹා යන, ආචාරධර්ම තඹයකට මායිම් නො කරන ව්‍යාපාරිකයන් ය.

ලංකාවේ තේවලට කසල තේ හා වෙනත් රටවලින් ආනයනය කරන බාල තේ කලවම් කර ගුණාත්මකභාවයෙන් අඩු තේ ලෝක ප්‍රකට සිලෝන් ටී සන්නාමයෙන් පිටරට පැටවීම එක පැත්තකින් සිදු වේ. දිගු කලක් තිස්සේ සිදු වන මෙම දේශද්‍රෝහී වංචාව වැළැක්වීමට රජය පැත්තෙන් මෙන් ම කර්මාන්තය පැත්තෙන් ද හරි හමන් පියවරක් ගෙන නැත.

අලුත් ම ජාවාරම තේවලට සීනි මුසු කිරීමයි. මෙය කිරීමෙන් එක පැත්තකින් තේවල බර වැඩි කර ගන්නා අතර, අනෙක් පැත්තෙන් තේ කොළ වල කැරලි ගතිය වැඩි කර ගැනීමට ද හැකි ය.

තේ කොළවලට මිශ්‍ර කිරීමට යොදා ගන්නේ පකිස්ථානය වැනි රටවලින් ආනයනය කරනු ලබන ඉතා බාල තත්වයේ, ඇතැම් විට ඉවත දමන ලද වන සීනි වර්ග බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ජපානයේදී ශ්‍රී ලංකාවේ තේවල තිබෙන විෂ රසායනිකයක් සම්බන්ධ සොයා බැලීමකදී අනුමාන කර ඇති පරිදි එම රසායනිකය තේවලට එක් වී තිබෙන්නේ මේ බාල සීනි නිෂ්පාදනයේදී යොදා ගනු ලබන කෘෂි රසායනික හේතුවෙන් බව අනුමාන කරන බව ද කර්මාන්තය හා සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. එම කෘෂි රසායනිකය ශ්‍රී ලංකාවේ භාවිතා නොවන්නකි.

තේවලට සීනි මිශ්‍ර කරන ක්‍රියාවලිය හේතුවෙන් පිළිකාකාරක නිෂ්පාදනය වන බවට ද මතයක් ඇත.

පසුගිය පෙබරවාරියේදී ගාල්ල, රත්නපුර හා මාතර යන දිස්ත්‍රික්කවල තේ කම්හල් 80 ක තේ මණ්ඩලය විසින් කරන ලද හදිසි, රහසිගත වැටලීමකදී කම්හල් 53ක තෙත් සාම්පලවල සීනි මිශ්‍ර කර ඇති බව සොයා ගන්නා ලදී.

මෙම කම්හල් අතර දේශපාලකයන්ට ළඟ සම්බන්ධකම් ඇති කම්හල් ද වේ.

නීතිය අනුව මේ තේ කම්හල්වල බලපත්‍ර අහෝසි කළ යුතුව ඇතත්, එවැන්නක් සිදු වී නැත. වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මෙම පරීක්ෂණයට බලපෑම් කරන බව වාර්තා වේ. වැරදිකරුවන්ට එරෙහිව පියවර ගැනීම වෙනුවට දැන් පරීක්ෂණයට හා එය කළ අයට එරෙහිව පියවර ගැනීමට පිඹුරුපත් සැකසෙමින් තිබෙන බවට චෝදනා එල්ල වේ. මේ වන විට එම පරීක්ෂණය සම්බන්ධ පසු විපරමක් සිදු වෙමින් ඇති බව වාර්තා වේ.

මේ අතර, වැරදි කළමනාකරණය නිසා පාඩු ලබමින් සිටින, ශ්‍රම හිඟයට පිළියම් සොයා ගැනීමට අසමත්, රජයේ ඉඩම්වල ඇති පෞද්ගලික වතු සමාගම්වල උවමනාව මත දැන් තේ, රබර් කර්මාන්තය සඳහා ග්ලයිෆොසේට් යෙදීමට නැවත අවසර දීමට රජය පියවර ගෙන තිබේ.

මේ වනාහි සිලෝන් ටී පමණක් නොව, ලංකාවේ තේ වතු, රබර් වතු ආසන්නයේ ජීවත් වන ජනයාගේ ජීවිත ද අනතුරේ හෙළන අමනෝඥ පියවරක් විය හැකි ය.

Please follow and like us:

4 thoughts on “සිලෝන් ටී සන්නාමය විනාශ කරන තේ කම්හල් ආරක්ෂාවට ඇමති නවීන් දිසානායක?

  1. මෙය කවුරුවත් වෙනුවෙන් ලියන ලිවිලල්ක් නොවේ. කරුනාකර නිවැරදිව කරුණු දක්වන්න. තේ වලට සිනි කලවම් කර ඇත්තේ සිටිසි ක්‍රමයට පහත රට තේ නිපදවන කම්හල් වේ. මෙම තේ මැද පෙරදිගට වැඩි පුරම යැවේ. ජපාකයට හා බටහිර රටවලට යවක්‍ේ උඩරට තේ වේ. හේතුව තේ නිෂ්පාදන පිළවෙත් වලදි කහට හා රසය වෙන්ස්ව පිහිටන ආකාරයට තේ නිෂ්පාදනය වේ. තේ වලට සිනි දම්මෙන් බලාපොරෙත්තුවන දේ වනුයේ දළු ඇඹරීමේදි එකතුවන කසල තේ අඩු කිරීම ට තේ දළු ඇඹරිම පහසුකරිම සදහා තේ එකතු කිරිමයි.
    ජපානයෙන් වාර්තා වී ඇත්තේ වල් නාශකයක් වන MCPA (2-methyl-4-chlorophenoxyacetic acid) නැැති වරණිය වල් නෘශක අව‍ශේෂ තිබිමයි. වල් නාශක වැඩිපුරම යොදන්නේ ඔබ කියන දිස්ත්‍රික්ක වල සිටින කුඩා තේවතු හිමියන් ට වඩා උඩරට තේ වතු වලදිය. තේ කම්හල් වැසු විට දව සපයන කුඩා වතු හිමියන් අනාථ වේ. නවීන් දිසානායක පැවසුයේ එයයි. කම්හල වසනවාට වඩා ඉහළ දඩයක් නියම කිරිමෙන් මෙය කළ හැකි නොවේද.

    1. ඉහළ දඩයක් පනවා නැවත මෙම වරද සිදු නො කරන කොන්දේසිය පිට ඔවුන්ට ව්‍යාපාරය කරගෙන යාමට ඉඩ දිය යුතුයි. දඩය වෙනුවෙන් පොදු සමාවක් දුන්නත් කමක් නැහැ. හැබැයි, දේශපාලකයන් වැරදි කරන්නන්ගේ පැත්ත අරගෙන තත්වාරක්ෂාව වෙනුවෙන් වැඩ කරන අය වැරදිකරුවන් කරන්නට යන එක කිසි සේත් ම විය යුත්තක් නෙමෙයි.
      අනෙක් පැත්තෙන්, මෙම සිද්ධිය දෙපැත්ත ම සමග සාකච්ඡා කර සමථයකට පත් කරනවා විනා, මෙය මාධ්‍යවලින් කතා කරන තැනකට ගෙනැවිත් මේවා ඉංග්‍රීසි බසින් ජාත්‍යන්තරව වාර්තා වන තැනටත් ගෙන ඒම නම් කිසි සේත් ම සිදු විය යුතු දෙයක් නෙමෙයි.

  2. දීර්ඝ කාලීනව සීනි සහ තේ කොල භාවිතා කරන පාරිභෝගිකයෙක් හැටියට, පැරා, මම නම් හිතන්නේ..පළමුව උක් වගාව සහ දෙවනු ව තේ වගාව ලංකාවෙන් ක්‍රමයෙන් අයින් කළ යුතු බවයි .
    ඒකෙ හිලව්වට වී සහ එළවළුවලින් ස්වයංපෝෂිත වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *