සුනිල් යසෝදරාවතේ කවි කියන්න නන්දා තෝරා ගැනීම හා යශෝධරා චිත්‍රපටය

yashodharaලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපට අධ්‍යක්ෂණයේදී නළු නිළියන්ගේ පෞරුෂයට හානි වෙන දර්ශන තිරනාටකයෙන් ඉවත් කළ බව ඔහුගේ මරණින් පසු දැන ගන්නට ලැබිණි. එය හොඳ අධ්‍යක්ෂවරයකුගේ ලක්ෂණයක් ද, නැද්ද යන්නට වඩා මා නම් හිතන්නේ එය සිනමාවේ මානුෂික ලක්ෂණයක් ලෙසයි. සිනමාව එක් චිත්‍රපටයකින් අවසන් වන්නේ නැත. එසේ ම, සියලු මිනිස් සම්බන්ධකම් ද එක් කලා නිර්මානයකින් අවසන් වන්නේ නැත.

සුනිල් ආරියරත්නයන්ගේ යශෝධරා චිත්‍රපටයේ යසෝදරාවතේ කවි කියන්නට සුනිල් විසින් නන්දා මාලිනී යොදා ගැනීම ද මෙවැනි දෙයකි. නන්දාගේ හඬ ඒ චිත්‍රපටයේ රිද්මය සමග අනුගත වන්නේ නැත. එහෙත්, සුනිල් ආරියරත්න නන්දා සමග තිබූ සමීප සම්බන්ධය අමතක කර යසෝදරාවතේ කවි කියන්නට වෙනත් හඬක් යොදා ගත්තාට වඩා නන්දා මාලිනියගේ හඬ ම යොදා ගැනීම තුළ සිනමාව ඉක්මවා ගිය සෞන්දර්යයක් තිබේ. එය යසෝදරාවතේ තිබෙන අව්‍යාජත්වය වැනි දෙයකි.

කලා නිර්මානයක් රස විඳින විට එය පසුබිම් තොරතුරුවලින් සම්පූර්ණයෙන් ම හුදකලා කර විඳින්නා සේ ම, පසුබිම් තොරතුරු සමග සම්බන්ධ කර විඳීම ද වරදක් නොවේ. වරදක් වුණත්, එසේ රස විඳීම වළක්වන්නට බැරි ය. යම් චරිතයක් රඟපාන නළුවකුගේ, නිළියකගේ අතීත විස්තර සමග අප ඒ මොහොතේ දකින රංගනයන් සම්බන්ධ වීම වළක්වන්නට කිසිවකුට බැරි ය. බුද්ධිමත් කිසිවෙක් පූර්ණ ලෙස චරිත සමග සමෝධානය වන්නේ නැත. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ දුරස්ථකරණ රංග සංකල්පය ද මේ පිළිබඳ විමසයි. ඒ නැතත්, ඉස්සර ගමේ ගොඩේ සඳකිඳුරුව හෝ නත්තල් නාට්‍ය පෙන්නන විට පවා ඒවායේ චරිත නිරූපණය කරන අයගේ පෞද්ගලික තොරතුරු නාට්‍ය බලන විට සිහිපත් විය.

යශෝධරා චිත්‍රපටය ගැන වචන කිහිපයකින් ලියනවා නම්, එය හොඳ වාර්තා නාටක චිත්‍රපටයකි. එහෙත්, තැන් කීපයකදී එය වාර්තාකරණය ඉක්මවා යමින් සෞන්දර්යය නිර්මානය කරනු ද දැකිය හැකි ය.

“අලුත උපන් රාහුල කුමරු සමග යසෝධරා සයනයෙහි වැතිර සිටියි. අභිනිෂ්ක්‍රමණය සඳහා තීරණය කර සිටින සිද්ධාර්ථ පැමිණ රාහුල කුමරු හා යසෝදරා ස්පර්ශ කරන්නට ගොස් යළි අත ඉවතට ගෙන කුටියෙන් නික්ම යයි. නිදි සේ සිටින යසෝදරාගේ දෑසින් කඳුළු බිඳුවක් රූරා යයි. මම ඒ ජවනිකාවට කැමැත්තෙමි.”

ඉහත සටහන මා තැබුවේ යශෝධරා චිත්‍රපටය ගැන ලියූ සටහනක නොවේ. ඒ වනාහි ජාතිකවාදී හා ආගමික සිංහල සිනමා රැල්ලේ උච්චස්ථානයක් වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය බැලීමට වැය කළ පැය කීපයක කාලය වෙනුවෙන් ලැබුණු එකම වින්දනීය අවස්ථාවයි. මෙන්න ඒ සටහන ලියූ තැන.

අබාගෙන් ඇරඹුණ මේ ජාතිකවාදී සිනමා රැල්ල තුළ අලෙවි කළ හැකි සෑම ‍ඓතිහාසික සිද්ධියක්ම පාහේ අලෙවි කරන ලදී. රාජපක්ෂ පාලනය අවසන් වීමත් සමග ඒ සිනමා රැල්ලෙහි ද පරිවර්තනයක් සිදු විය. රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන මොකක් හෝ ඓතිහාසික සිද්ධියක් විකුණාගෙන කන සිනමාව වෙනුවට ගැඹුරු හැදෑරීමක් අරමුණු කරන ඓතිහාසික සිනමාවක් පැන නැගී තිබෙන බවට යශෝධරා සාක්ෂියකි.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ දක්නට ලැබුණු මෙම දර්ශනය යශෝධරා චිත්‍රපටයේ ද දැකිය හැකි ය.

එහෙත්, ආගමික වශයෙන් වන්දනීය වූ මෙවැනි චරිතයක් විවරණය කිරීමේදී ගතානුගතික ආගමිකයන් කුපිත කර නොගෙන කටයුතු කරන්නට පරිස්සම් විය යුතු ය. සුනිල් ආරියරත්න නිර්මානකරණය තරමට ම ඒ දේශපාලනය ගැනත් සංවේදී වී තිබේ. එහෙත්, ඔහු ඒ සීමාවන් අතික්‍රමණය කරන්නට දැරූ ප්‍රශංසනීය අර්ධ උත්සාහයන් ද එහි තිබේ. සිද්ධාර්ථ කුමරු සතර පෙරනිමිති දැකීම එවැනි නිරූපණයකි. එහෙත්, ඒ ගත් මග ඔස්සේ ම තවත් සිය පරිකල්පනය හසුරුවන්නට සුනිල් ආරියරත්න අසමත් වෙයි.

යශෝධරා චිත්‍රපටයට සම්පූර්ණයෙන් ම මග හැරෙන කිසාගෝතමියගේ නිබ්බුත පද ද මෙවැනි පරිකල්පනයකට ඉඩක් තිබූ තවත් අවස්ථාවකි.

කෙසේ වෙතත්, යශෝධරා චරිතය ආගමික ප්‍රතිරූපයට අනුකූලව වාර්තා නාට්‍ය ස්වරූපයකින් ප්‍රතිනිර්මානය කරන ගමන් ම එය ප්‍රේක්ෂකයන්ට දැනෙන්නට සැලැස්වීමට ද අධ්‍යක්ෂවරයා සමත් වෙයි. එහෙත්, යශෝධරා කතාවට සිනමාකරුවාගෙන් එකතු වෙන අලුත් විවරණයක් නැති තරම් ය. ආගමික විවරණය ඉක්මවා යාමට ඔහු ඇත්තනේ ම බිය වෙයි.

ආලෝකෝ උදපාදි චිත්‍රපටය ගැන මා තැබූ සටහනකින් උපුටා ගත් පහත දැක්වෙන කොටස මෙම චිත්‍රපටයට ද අදාළ යි. එය පළ වුණේ මේ ලිපියේ.

ඉතිහාස රචකයාගේ කාර්යයට වඩා ඉතිහාසය පදනම් කර ගත් නිර්මානකරුවාගේ කාර්යය සංකීර්ණයි. ඉතිහාස රචකයා සොයන්නේ ඉතිහාසය ගලා ගිය හැටි. එහෙත් නිර්මානකරුවා සොයා යා යුත්තේ ගලා යන ඉතිහාසය තුළ ජීවිතය රැඳුණු හැටි. මිනිසුන් ජීවත් වුණ හැටි. ඉතිහාස රචකයා ඒ කාලෙ මිනිසුන් කරපු, කියපු දේවල් ගැන කියද්දි, නිර්මානකරුවා විස්තර කරන්නෙ ඒවා කරපු හැටි.

වර්තමානයේ වගේ ම ඉතිහාසයේත් භික්ෂූන් කියන්නේ ගස් යට වාඩි වෙලා භාවනා කරමින් හා පේළියට ඇවිදිමින් පිරිත් කියමින් සිටි රූකඩ නෙමෙයි. ගිරි නිඝණ්ඨයා වගේ ම මහාතිස්ස තෙරුන්ටත් විචිත්‍ර ජීවිතයක් තිබුණා. ඒවායේ තිබුණු නාට්‍යමය ස්වභාවය ස්පර්ශ වුණොත් තමයි නිර්මානශීලිත්වය ඉහළ යන්නේ.

ඉතිහාසයෙන් අනාගතයට මග පෙන්වීමක් කරන්නට පුළුවන්. ඒ ලෝකය පැවතුණු ආකාරය හා එහි චලනයන් සිදු වුණු ආකාරය හදාරමින් ඒවායේ විශ්වීයත්වය මතු කරන්නට පුළුවන්.

සුනිල් ආරියරත්නයන් යශෝධරා චිත්‍රපටයේ දෙව්දත් චරිතය විවරණය කරන්නට දරන උත්සාහය ඔහුගේ පරිකල්පනය ගතානුගතික සීමා ඉක්මවා විහිදෙන තවත් තැනක්.

දිග වැඩි වුණත්, කම්මැලි වුණත්, අප දන්නා දේ දන්නා ආකාරයට ම පෙන්වීම ඉක්මවා යන්නට අසමත් වුණ චිත්‍රපටයක් වුණත්, යශෝධරා කියන්නෙ බැලිය යුතු චිත්‍රපටයක්.

එය සිනමා කාව්‍යයක් ය කියලා නිකම් පව් පුරව ගන්න ඕනැ නැහැ. හැබැයි, එහි හොඳ කාව්‍ය සාහිත්‍යයක් අඩංගු වෙනවා. ඒ තියෙන්නේ චිත්‍රපටයේ පූරකගේ භූමිකාව කරන ගායකයා විසින් කරන ගැයුම්වලයි. ඒ සංගීතයත් සුන්දරයි. අමු අමුවෙ පෙනෙන ඇතැම් තාක්ෂණික දෝෂ තිබුණාට යශෝධරා චිත්‍රපටය කියන්නෙ සිනමා තාක්ෂණය පැත්තෙනුත් යම් ඉදිරිගාමී චිත්‍රපටයක් ලෙස සැලකිය හැකි එකක්.

Please follow and like us:

One thought on “සුනිල් යසෝදරාවතේ කවි කියන්න නන්දා තෝරා ගැනීම හා යශෝධරා චිත්‍රපටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *