හැටපන්දාහක් අතුරුදහන් වූ ශ්‍රී ලංකාවේ අතුරුදහන් කිරීම තවමත් අපරාධයක් නෙමෙයි

ජයදීපා පුන්‍යමූර්ති, ඡායාරූපය: yarl.com

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය අවසානයේදී ක්‍රියාත්මක විය. කල් ගත වෙමින් තිබුණු කොමාරිස්වරුන් පත් කිරීම ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු 1දා සිට ක්‍රියාත්මක කරන ලදී. 2009දී යුද්ධය අවසන් වී දින කීපයකින් සැමියා අතුරුදහන් වූ මඩකලපුවේ කාන්තාවක වන ජයදීපා පුන්‍යමූර්ති ද කොමසාරිස්වරුන් සයදෙනා අතර වේ.

කොමසාරිස්වරුන් පිළිබඳ පැති දෙකකින් ප්‍ර‍ශ්න මතු විය. ප්‍ර‍ධාන ක්‍රියාකාරිනියක වන නීතිඥ ආචාර්ය නිමල්කා ප්‍රනාන්දුගේ පත් කිරීම සිංහල ජාතිවාදී බලවේග විසින් ප්‍ර‍ශ්න කරද්දී දෙමළ ජාතිවාදී බලවේග ප්‍ර‍ශ්න කළේ යුද හමුදාවේ හිටපු නීති අධ්‍යක්ෂිකාව වූ විශ්‍රාමික මේජර් ජනරාල් මොහාන්ති පීරිස් පත් කිරීමයි. කොමිෂමේ සභාපති වන්නේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ය.

ශ්‍රී ලංකාව කැරැලි දෙකකින් අතුරුදහන් වූ පුද්ගලයන් 65,000ක පමණ තොරතුරු වැළලී ගිය රටක් බැවින් අතුරුදහන් කිරීම බැරෑරුම් ප්‍ර‍ශ්නයක් ලෙස සැලකිය යුතු ය. අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කරන ලද පරණගම කොමිෂම පැවසූ පරිදි තිස් අවුරුදු යුද්ධය තුළ පුද්ගලයන් 19,000ක් අතුරුදහන් වී තිබේ.

ශ්‍රී ලංකා රජය සියලු පුද්ගලයන් බලහත්කාර අතුරුදහන්කිරීම්වලින් ආරක්ෂා කරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සම්මුතියට 2016 මැයි මස අත්සන් තැබුවේ ය. ඒ හා සම්බන්ධ පනත 2017 මාර්තු 7 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. කිහිප වරක් ම කල් යාමෙන් අනතුරුව මෙම පනත 2018 මාර්තු 7දා, බදාදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත ය. ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදු වනු ඇති අතර සරල බහුතරයකින් එම පනත සම්මත කළ හැකි ය.

මෙම පනත සම්මත වුවහොත්, අතුරුදහන් කිරීම නීතිය සාපරාධී වරදක් ලෙස සැලකෙනු ඇත. මෙතෙක් එය සලකා බලනු ලැබුවේ දණ්ඩ නීති සංග්‍ර‍හයේ පැහැරගෙන යාම නම් අපරාධය යටතේ ය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *