හෘදය සාක්ෂියක් නැති සරසවි ඇදුරන්ට හා රජයේ නිලධාරීන්ට තව වරප්‍ර‍සාදත් දිය යුතු ද?

academics cartoon2017 වසර අවසන් වන විට විශ්වවිද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂම යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් ණය ලබාගෙන, රු. මිලියන 813ක් පමණ ගෙවීම් පැහැරහැර තිබෙන පුද්ගලයන් 485කගේ ලේඛනයක් ප්‍ර‍සිද්ධ කර තිබේ.

මෙම විලි ලැජ්ජා නැති පුද්ගලයන් සාතිශය බහුතරය මේ රටේ මහජන මුදලින් මූලික හා උසස් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව විදේශ අධ්‍යාපනය සඳහා ද මහජන මුදල් වැය කර ඒ වෙනුවෙන් වූ ගිවිසුම් ප්‍ර‍කාර අදාළ ගෙවීම් නොකර සේවය හැර දමා වෙනත් රටවලට පළා ගිය අයයි. මෙය ඉතා පැහැදිලිව ම මහජන මුදල් වංචාවකි.

මහජන මුදලින් අධ්‍යාපනය ලැබූ අයට තම සමාජයට සේවය කරන්නට තිබෙන යුතුකම පැත්තකින් තියමු. අඩු තරමේ තමන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා දුන් විශ්වවිද්‍යාලයට ගෙවිය යුතු මුදල හෝ ගෙවා සේවයෙන් ඉවත් වීමට ඔවුන්ට පුළුවන. ඔවුන් එයවත් නොකරන්නේ කෙතරම් කුහකකමක් ඔවුන් තුළ තිබෙන නිසා ද?

මේ පිළිබඳ අප ෆේස්බුක්හි සටහනක් තැබූ විට, විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයක සේවය කර අත්දැකීම් ඇති අප මිතුරකු අපූරු කතාවක් කීවේ ය. රටේ ප්‍ර‍සිද්ධ විශ්වවිද්‍යාලයක ආචාර්යවරියකට එම විශ්වවිද්‍යාලය විසින් අවුරුදු හතකට වැඩි කාලයක් පූර්ණ වැටුප් සහිතව විදේශ අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබා දී තිබිණි. ඉන් අනතුරුව, ඇය තවත් අවුරුද්දකට නිවාඩු ඉල්ලූ විට විශ්වවිද්‍යාලය නිවාඩු දුන් මුත් ලබා දුන්නේ වැටුප් රහිත නිවාඩු ය. ඊළඟ වසරේ ද ඇය නැවත නිවාඩු ඉල්ලූ විට විශ්වවිද්‍යාලය ඇයට සේවයට වාර්තා කර ඉගැන්වීමේ කටයුතුවල යෙදෙන ලෙස දැනුම් දෙන ලදී. ඉන් උරණ වූ ඇය සේවයෙන් ඉවත් වන බව දැනුම් දුන්නා ය. එවිට විශ්වවිද්‍යාලය ඇයට ගිවිසුම අනුව ගෙවීමට තිබූ රු. ලක්ෂ කීපයක මුදල ගෙවා ඉවත් වන ලෙස දැනුම් දෙන ලදී. මහජන බැංකුවේ ගිනුමකින් රු. 10,000ක චෙක් පතක් සමග ඇය පිළිතුරු සැපයුවේ ඇය ලංකාවේදී ලැබූ නිදහස් අධ්‍යාපනය එතරම්වත් නොවටින බවයි. පසුව විශ්වවිද්‍යාලය විසින් ඇගේ ඇපකරුවන්ට එරෙහිව පියවර ගන්නට කටයුතු යෙදූ විට පමණක් ඇය අදාළ මුදල ගෙවා දැමුවා ය.

මේ රටේ ඊනියා බුද්ධිමතුන් අතරින් ඇතැමෙකුගේ තත්වය එයයි. ලංකාවේ තත්වය අනුව නම්, තමන්ගේ කාර්යභාරය හරියට කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිටින්නේ අතළොස්සක් පමණක් බව ය තිත්ත ඇත්ත. බොහෝ අයගේ පටු ආත්මාර්ථකාමී ක්‍රියාකලාපයන් නිසා ඔවුන් ද අවමානයට පත් වෙති.

මේ පිළිබඳ සංවාදයට එක්වෙමින් එක්තරා විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු බව කියන පුද්ගලයෙකු චෝදනා කළේ මා ඔහු වැනි අයට ඉරිසියා කරන අයකු බව හා සැඟවුණු න්‍යාය පත්‍ර‍ වෙනුවෙන් ලියන අයකු බවයි. ලංකාවේ බුද්ධිමතුන් වැඩිදෙනෙකු මෙවැනි පදනම් විරහිත අවලාද හා නර්මාලාපවලින් එහාට විහිදුණු අදහසක් හෝ ශාස්ත්‍රීය භාවිතාවක් නැති අයයි.

මෙම ආචාර්යවරයා මා තීරු බදු රහිත වාහන බලපත් සම්බන්ධයෙන් මීට පෙර ලියූ ලිපිය ගැන ද සඳහන් කළේ ය. ඒ ගැන ද මම මගේ අදහස ඉතා පැහැදිලිව ඉදිරිපත් කරමි. සුදුසුකම් සහිත, අවශ්‍ය වෘත්තිකයන්ට හොඳ වැටුප් ගෙවීම පිළිබඳ මගේ කිසිදු විරෝධයක් නැත. එය අවශ්‍ය ය. එහෙත්, දේශපාලකයන් ඇතුළු රජයේ නිලධාරීන් කිසිවෙකුට අනවශ්‍ය වරප්‍ර‍සාද ලබා නොදිය යුතු ය. එය සෙසු වැඩ කරන ජනයාට කරන වෙනස්කමකි.

මහජන මුදලින් වරප්‍ර‍සාද ලැබීම තමන්ගේ අයිතියකැයි ලංකාවේ රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය සිතා සිටියි. එපමණක් නොව, ඔවුන් තමන් මහජන මුදලින් ලැබූ වරප්‍ර‍සාද අනුව මහජනතාවට වගවිය යුතු බව පවා සිතන්නේ නැත.

මේ වන විට ලංකාව දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටියි. ඒ අතරවාරයේ දේශපාලකයෝ හා රජයේ ඉහළ නිලධාරි තීරු බදු රහිත වාහන සිහින දකිති. මහජන මුදල් වියදම් කරමින් වැඩක් නැති රට සවාරි යති. විටෙක ආපසු නෑවිත් ගල් වෙති. ගිවිසුම් ප්‍ර‍කාර ගෙවීම් ද නොකරති.

වැඩ කරන ජනතාව නියෝජනය කරන මාධ්‍යකරුවකු ලෙස මම නම් මේවාට එරෙහිව අරගල කිරීම කිසිදිනෙක නොනවත්වමි.

දේශපාලකයන්ට හා රජයේ නිලධාරීන්ට වාහන තීරු බදු සහන දීම වහාම මුළුමනින් ම නතර කළ යුතු ය. එසේම, මෙවැනි වංචනික විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ ඔවුන් දැනට සිටින රටවලට හා සේවය කරන විශ්වවිද්‍යාලවට දැනුම් දිය යුතු ය.

Please follow and like us:

One thought on “හෘදය සාක්ෂියක් නැති සරසවි ඇදුරන්ට හා රජයේ නිලධාරීන්ට තව වරප්‍ර‍සාදත් දිය යුතු ද?

  1. මා දන්නා කාලයේ තිබුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ චක්‍රලේඛනවලට අනුව නම්, පශ්චාත් උපාධි හැදෑරීම සඳහා අධ්‍යයන නිවාඩු දිය හැකි උපරිම කාලය වසර තුනකි. මේ උදාහරණයේ දැක්වෙන පරිදි වසර හතක අධ්‍යයන නිවාඩු ලබා දුන්නා යැයි කියන්නේ අදාළ ස්වේච්ඡා (අධ්‍යයන) සහ ස්ථිර (අනධ්‍යයන) නිලධාරීන් විසින් නීති විරෝධීව ක්‍රියා කර ඇති බවයි.

    ඔබේ මූලාශ්‍රය නැවත පිරික්සා බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *