|
|
|
එක්සත් ජාතීන් "සටන් නැවැත්වීමක්" ඉල්ලයි; කොටින්ගේ සටන් විරාම ඉල්ලීමට නිහඬයි
යුරෝපා සංගමය සටන් විරාමයක් ඉල්ලයි
"දෙපාර්ශ්වය සාකච්ඡා කළ යුතුයි," ඇමරිකාව කියයි
(W3Lanka, පෙබරවාරි 24)
කොටි සංවිධානය වහාම සටන් විරාමයක් ඇති කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් තවම ලැබී නැහැ. ඒත්, එ.ජා. මහලේකම් බෑන් කී-මූන් ඊයේ කියා සිටියේ "තවදුරටත් සිවිල් ජන ජීවිත හා ලංකාවේ සමාජය විනාශ වීම වැළැක්වීම පිණිස සටන් නැවැත්වීමක් සිදු විය යුතු" බවයි. 'සටන් විරාමය' යන වචනය පාවිච්චි නොකළ ඔහු "අර්බුදය විධිමත් අන්දමින් අවසන් කිරීම සඳහා දේශපාලන සාකච්ඡාවක්" පිළිබඳ එ.ජා.ගේ ඉල්ලීම අලුත් කළා.
රජය නම් හැරෙන තැපෑලෙන්ම කොටින්ගේ සටන් විරාම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කොටින් අවි බිම තබනතෙක් සටන් අවසන් නොවන බව රජය කීවා. දෙමළ ජනයාගේ අතිමහත් විඳවීම මැද එක්සත් ජාතීන් නිහඬව සිටින බවට චෝදනා කරන කොටින් කියන්නේ ජනතාව මුහුණ දෙමින් සිටින පීඩනය හේතුවෙන් සටන් විරාමයක් අවශ්‍ය බවයි. ජාත්‍යන්තර ප්‍රජාව කොටින් නිරවිකරණයට වඩා වැදගත්කමක් සටන් විරාමයක් ඇති කිරීමට හා දේශපාලන විසඳුමක් ආරම්භ කිරීමට ලබා දිය යුතු බවයි කොටි දේශපාලන අංශ නායක නඩේසන් පවසන්නේ.
එක්සත් ජාතීන් සිය හදිසි සහන සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් ගිය සතියේ ලංකාවට එව්වා. ආපසු ගිය හැටියේම වාගේ ඔහු කොලොම්බියාව බලා පිටත් වූ නිසා මාධ්‍යවල ප්‍රශ්නවලට ඔහුගේ ප්‍රකාශකයන් පිළිතුරු ලබා දුන්නේ නැහැ. හෝම්ස්ගේ සංචාරය රජය විසින් දැඩි ලෙස පාලනය කරන ලද බව හා ඔහුට තමන්ගේම පරිවර්තකයකුවත් යොදාගැනීමට නොලැබුණු බවට චෝදනා එල්ල වුණා. කාන්තාවක සිය පුතා හමුදාව විසින් පැහැරගෙන ගිය බව කී විට, පරිවර්තනය කළ රජයේ ඇමතිවරයා ඇගේ පුතා කොටි සංවිධානය විසින් පැහැරගෙන ගිය බවට පරිවර්තනය කළේ යයි ඇති වාර්තා හෝම්ස් පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේදැයි 'ඉනර්සිටි ප්‍රෙස්' ආයතනය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලැබුණේ නැහැ.
මේ අතර යුරෝපා සංගමය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහයෝගීව කලින් දැක්වූ ස්ථාවරයෙන් විතැන් වෙමින් මානුෂීය ආධාර ආරක්ෂිතව බෙදාහැරිය හැකි හා සිවිල් වැසියන්ට ගැටුම් සහිත ප්‍රදේශවලින් පිටවීමට ඉඩ ලැබෙන සටන් විරාමයක් වහාම ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලුවා. සිවිල් වැසියන් ගැටුම් සිදු වන ප්‍රදේශ හැර යාම වැළැක්වීමට ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම පිළිබඳ කොටි සංවිධානය යුරෝපා සංගමයේ විවේචනයට ලක් වුණා. ඒ සමගම රජයේ සරණාගත කඳවුරුවල තත්වය හා ඒවායේ සිදු වන පරීක්ෂණ ජාත්‍යන්තර ප්‍රමිතීන් හා අනුකූල විය යුතු බවද, එ.ජා.ට, ජාත්‍යන්තර රතුකුරුස කමිටුවට හා වෙනත් මානුෂිය සංවිධානවලට ඒවා තුළට පූර්ණ ප්‍රවේශය ලැබිය යුතු බවද, නැතිනම් අවශ්‍ය මානුෂීය ආධාර සැපයිය නොහැකි බවද යු.සං. කිව්වා.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක රොබට් වුඩ් පවසන්නේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා ඇති කරන්නැයි ඉල්ලීමක් මෙතෙක් ඔවුන්ගෙන් කර නොමැති බවයි. "අර්බුදය අවසන් කිරීම සඳහා අපට කළ හැකි දේ අපි කරනවා. ඒත් අවසානයේදී දෙපාර්ශ්වය සාකච්ඡා කළ යුතුයි," යි ඔහු කීවා.
ඔබේ අදහස්
විකල්ප ඊමේල් ලිපිනය: w3lanka@gmail.com
|
|
|