W3lanka.com

NEWS IN
ENGLISH

උතුරේ දරුණු සටන්
රජය සිවිල් වැසියන් 'ප්‍රාණ ඇපකරුවන්' ලෙස හඳුන්වයි

(W3Lanka, අප්‍රේල් 05)
එල්.ටී.ටී.ඊ. සංවිධානයට දැඩි හානි පමුණුවමින් පුදුකුඩිඉරුප්පු ප්‍රදේශය මුළුමනින්ම අත්පත් කරගනිමින් කොටින් යුද මුක්ත කලාපයට සීමා කර ඇති බව යුද හමුදාව නිවේදනය කළා. රජයේ මාධයවලට අනුව පසුගිය දින තුන තුළ 500කට අධික කොටි සටන්කරුවන් මරා දමන්නටද, එවැනිම පිරිසක් තුවාල කරන්නද හමුදා සමත් වෙලා. කෙසේ ‍වෙතත්, රජයේ හමුදාවලට සිදු වූ හානි පිළිබඳ වාර්තා නිකුත් වී නැහැ. කොටි සංවිධානයද තම හානි පිළිබඳව මුනිවත රැක්කා. රජයේ මාධ්‍ය කියන පරිදි සටන්වලින් කොටි සංවිධානයේ ජ්‍යේෂ්ඨයන් වන තීපන්, නාගේෂ්, දුර්ගා, විදූෂා සහ ගඩාෆි යන අය මියගිහින්.

මේ අතර කොටි හිතවාදී සහ දෙමළ හිතවාදී ජනමාධ්‍ය දිගටම වාර්තා කළේ හමුදාවේ ෂෙල් ප්‍රහාරවලින් සිදු වන ජීවිත හානි හා තුවාල පිළිබඳවයි. ගැටුම් සහිත කලාපයට මාධ්‍යවලට අවසර දී නැති නිසා ස්වාධීනව මෙම තොරතුරු තහවුරු කර ගත නොහැකියි.

මේ අතර හමුදාපති ලුතිනන් ජනරාල් සරත් ෆොන්සේකා කියන්නේ රජයේ හමුදා ඉදිරි දිනවලදී ලොව විශාලතම 'ප්‍රාණ ඇපකරුවන්' බේරාගැනීමේ මෙහෙයුම කරනු ඇති බවයි. යුද මුක්ත කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන් හැඳින්වීම සඳහා දැන් රජය පාවිච්චි කරන වචනය වන්නේ 'ප්‍රාණ ඇපකරුවන්' යන්නයි. රජයේ තක්සේරුව වන්නේ එවැන්නන් 70,000ක් යුද මුක්ත කලාපයේ සිටින බවයි. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය යුද මුක්ත කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන් සංඛ්‍යාව 150,000ත් 200,000ත් අතර යයි පවසනවා.

හමුදාපතිවරයා Sunday Observer පුවත්පතට පැවසුවේ දේශීය හෝ ජාත්‍යන්තර බලපෑම් කිසිවකින් අහිංසක සිවිල් වැසියන් මුදාගැනීම සඳහා ඉදිරියට යන ආරක්සක හමුදා වැළැක්විය නොහැකි බවයි. එහෙත් 'ප්‍රාණ ඇපකරුවන්' පිළිබඳ සැලකිලිමත්කම නිසා යම් සීමාවන් නිර්මානය වී ඇති බව ඔහු කීවා.

මේ අතර කොටි හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරන වන්නි මහජන සුබසාධන සංවිධානයේ සභාපති යයි කියන පරරාජසිංහම් කනගලිංගම් කීවේ ජීවත් වීමේ අයිතිය එක්සත් ජාතීන් විසින් තහවුරු කර ඇති මූලික හිමිකමක් බවයි. එසේ නොකරන බවට දී තිබෙන පොරොන්දු තිබියදීම, රජයේ හමුදා විසින් දිනපතා යුද මුක්ත කලාපයේ වැසියන් මරා දමන බවද, මේ මොහොතේ පවා වන්නි වැසියන් ස්වයං නිර්ණය හා නිදහස පිළිබඳ අපේක්ෂාවලදී නොසැලෙන බවද ඔහු කියනවා.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA