W3lanka.com

NEWS IN
ENGLISH

කොටින්ට සිවිල් වැසියන් රඳවා ගැනීමට හැකි වේවිද?

(W3Lanka, අප්‍රේල් 07)
රජයේ සංඛ්‍යාලේඛන අනුව, පන්සියයක් පමණ කාඩර්වරුන් මිය යමින්, තවත් නොදන්නා විශාල සංඛ්‍යාවක් තුවාල ලබමින් කොටි සංවිධානය පුදුකුඩිඉරුප්පුහිදී අත්විඳි දරුණු පරාජයෙන් පසු ඔවුන් දැන් පසුබැස තිබෙන රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයේ තත්වය දැඩි ලෙස උණුසුම් වී තිබෙනවා.

නායකයන් ගණනාවක් මියගොස් ඇති අතර ඒ අතරින් විදූෂාගේ හා දීපන්ගේ සිරුරු රජය විසින් හඳුනාගෙන තිබෙනවා.

අඩු තරමේ ඉන්දියාවේ ඡන්දය අවසන් වනතුරු හා ඔවුන් බලාපොරොත්තු වන පරිදි කොංග්‍රස් සන්ධානය පරදින තුරුවත් අල්ලාගෙන සිටීමට නම්, කොටින්ට මෙම පරාජයන් මැද දැඩි ආත්ම ශක්තියක් අවශ්‍යයි.

එහෙත්, රජයේ මාධ්‍ය කියන පරිදි, දැඩි ආත්ම විශ්වාසයක සිටින රජයේ හමුදා බලා සිටින්නේ කොටි මුලිනුපුටා දැමීම සඳහා යුද මුක්ත කලාපයේ මෙහෙයුම් ඇරඹීමට අණ ලැබෙනකල්. රජයේ හමුදාවලටද පසුගිය දිනවල සටන්වලින් දැඩි හානි සිදු වී තිබෙනවා.

ඒ සටනේ පළමු අදියර ලෙස සිවිල් වැසියන්ට යුද මුක්ත කලාපයෙන් පිට වීම සඳහා පීඩනය වැඩි කෙරෙමින් තිබෙනවා.

කොටි හිතවාදී වෙබ් අඩවි යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන්ට සිදු වන හානි පිළිබඳ දිගින් දිගටම වාර්තා කරනමුත්, ජාත්‍යන්තර මාධ්‍ය වැඩිහරියක අවධානය යොමු වී තිබෙන්නේ කොටින්ට පසුගිය යුද්ධයෙන් සිදු වී ඇති හානි දෙසයි.

මේ අතර, එක්සත් ජාතීන්ද අලුත්ම තත්වය තුළ, සිවිල් වැසියන්ට වන හානි පිළිබඳව කොටින්ට වැඩිපුර බණිමින් රජයේ මෙහෙයුම් සඳහා අනුමැතිය දුන් බවක් පෙන්වනවා. ජාත්‍යන්තර බලවේග ඉන්නේ කොටින්ව පැරදවීමෙන් පසු ඇති වන සුසමාදර්ශීය වෙනස කෙරෙහි අවධානය යොමු කරගෙන.

මේ අකර අපගේ මූලාශ්‍රවලින් දැනගන්නට ලැබී ඇති පරිදි මෑතදී සිදු වූ දැඩි හානි සමග කොටි සංවිධානයේ සෙලවීමක් දක්නට ලැබෙනවා. සිවිල් වැසියන් ඔවුන් කෙරෙහි තබා ඇති විශ්වාසයද පළුදු වී ඇති අතර ඔවුන් තම පාලන ප්‍රදේශය තුළ දිගටම රඳවා ගැනීමේ කොටින්ගේ හැකියාවද අභියෝගයට ලක් වෙලා.

කොටි සංවිධානය අද තත්වයට කිට්ටු පරාජයන්ට මීට පෙරද මුහුණ දී යළි නැගී සිට තිබෙනවා. ඒත් වෙනම රාජ්‍යයක් සඳහා ඔවුන්ගේ සටන ප්‍රතිසංවිධානය කරගැනීමට ඔවුන්ට මෙවර සිදු වන්නේ ඉතා විරළ මානව හා ද්‍රව්‍යමය සම්පත් සමග වෙනස් යුදමය පසුබිමකයි.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA