W3lanka.com

NEWS IN
ENGLISH

කොටි කැරැලිකරුවන්ට යටත් වන්නැයි අවසන් නිවේදනයක්
ආරක්ෂාව සැලසීමට රජය එකඟ වෙයි

(W3Lanka, අප්‍රේල් 09)
යුද මුක්ත කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන්ගේ ජීවිත බේරාගැනීම සඳහා කොන්දේසි විරහිතව යටත් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ දන්වා සිටියා. ඔවුන් පුනරුත්ථාපනය කර, රටට වැඩදායක පුරවැසියන් බවට පත් කරන බවද ඔහු මාධ්‍යවලට පැවසුවා.

යුද මුක්ත කලාපයේ මායිමේ සිට හමුදාව බදාදා ශබ්ද විකාශන මගින් සිය අවසාන නිවේදනය නිකුත් කරමින් යටත් වන ලෙස කොටින්ට දන්වා සිටියා. යටත් වන ලෙස කළ නිවේදනයේ අවසන් දිනයක් සඳහන් වන්නේ නැහැ.

සිර වී සිටින 'ප්‍රාණ ඇපකරුවන්' මුදාගැනීම සඳහා යුද මුක්ත කලාපය තුළට මෙහෙයුම් දියත් කිරීමට රජය සැරසෙනවා. එහිදී සිවිල් වැසියන් පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන බවට රජය පොරොන්දු වී තිබෙනවා. කෙසේ වෙතත්, පවුලේ අය සඳහා වතුර ගෙන ඒමට ගොස් සිටි රතු කුරුස සේවකයෙක් ෂෙල් වෙඩි පහරකට ලක්ව අද උදෑසන යුද මුක්ත කලාපයේ අම්පලවාන්පොක්කනෛහිදී මියගිය බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව නිවේදනය කළා.

මේ අතර, පුදුකුඩිඉරිප්පු සටනේ පරාජයෙන් පසු කොටි කැරැලිකරුවන් සතු සිවිල් වැසියන් රඳවා තබාගැනීමේ ග්‍රහණය බුරුල් වෙමින් ඇති බව වාර්තා වෙනවා. කොටි හිතවාදී වෙබ් අඩවි වට කරන ලද කැරැලිකරුවන් මරාදැමීම සඳහා විෂ බෝම්බ භාවිතා කළ බවට රජයට චෝදනා කළා.

මේ අතර, පුදුකුඩිඉරිප්පු සටන ගැන සඳහන් කරමින් ශක්තිමත් මිලිටරි සබඳකම් ඇති බවට ප්‍රසිද්ධ වෙබ් අඩවියක් අප්‍රේල් 05දා කියා සිටියේ කැරැලිකරුවන් මරා දැමුණේ යටත් වීමට අවස්ථාවක් දීමෙන් පසුව බවයි. එම අවස්ථාවේදී 70ක් පමණ කැරැලිකරුවන් යටත් වූ බව සහ එම යටත් වීම රූගත කර වීඩියෝ දර්ශන ලැබී ඇති බවද කීවා.

යුද සිරකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කියවෙන 1949 අගෝස්තු 12 දින සම්මත කරන ලද ජිනීවා ප්‍රඥප්තියේ තෙවන වගන්තිය අනුව, ආයුධ අත්හළ අය හට, අසනීප, තුවාල, රඳවා තබාගැනීම හෝ වෙනත් හේතුවක් මත රණබිමෙන් ඉවත්ව සිටින අය හට විෂමතාවකින් තොරව මානුෂීය ලෙස සැලකිය යුතුයි. ඔවුන් වධයට හෝ මරණයට හෝ පත් නොකළ යුතුයි. ප්‍රාණඇපකරුවන් කර නොගත යුතුයි. ඔවුන්ගේ පෞද්ගලික ගරුත්වයට හානි නොකළ යුතුයි. නීත්‍යානුකූල හා ශිෂ්ට නොවන අයුරින් දණ්ඩනයනට ලක් නොකළ යුතුයි. එසේම, තුවාල වූවන් සහ අසනීප වූවන් හට ප්‍රතිකාර කල යුතුයි.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA