W3lanka.com

NEWS IN
ENGLISH

ඝාතකයන්දොරට තට්ටු කරන විට ජවිපෙ අවදි වෙයි

ක්‍රියාධරයකු මැරුවේ යයි ජානිපෙට චෝදනා

(W3Lanka, අප්‍රේල් 10)
ජනතා විමුක්ති පෙරමුණ සහ එයින් කැඩී ගිය ජාතික නිදහස් පෙරමුණ අතර ගැටුම මිනීමැරුම් දක්වා වර්ධනය වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ කාලීන පක්ෂ සේවයේ යෙදී සිටි මහනුවර, මැනික්හින්න, වලල ප්‍රදේශයේ පදිංචිකාර එක් දරු පියෙකු වූ නන්දන බාලගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටින අතරතුර මරා දැමූ බවට ජවිපෙ ජානිපෙ දෙස ඇඟිල්ල දිගු කරනවා.

ජවිපෙ ඝාතනය පිළිබඳ කෙළින්ම චෝදනා කරන්නේ ජානිපෙ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන් වූ හිටපු ජවිපෙ පළාත් සභා මන්ත්‍රී කිංස්ලි කස්තුරිආරච්චිට හා යක්කල ආයුර්වේද විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍ය නායක හා ආයුර්වේද වෛද්‍ය නෙලුක් මල්ලවටයි. පසුගිය කාලයේ ජවිපෙ දේශපාලනය හා සම්බන්ධව නොසිටි මල්ලව මෑතදී ජානිපෙ සමග නැවතත් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට අවතීර්න වුණා.

මේ වන විට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් කලුගර දිස්ත්‍රික් ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායකගේ වාහනයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වාහනයේ සිටි පිරිස ජවිපෙ වාහනයේ සිටි පිරිස ඝාතනය කිරීම සඳහා කිලෝමීටර් ගණනාවක් එළවාගෙන පැමිණි බව ජවිපෙ කියනවා. අතරමගදී ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංක 119ටද මේ බව දන්වා තිබෙනවා.

ලංකාවේ මෑතදී පැතිර ගිය ඝාතන රැල්ල ගැනත්, ආර්ථික ප්‍රශ්න පිළිබඳවත් දැඩි ලෙස නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටි ජවිපෙ පසුගිය බදාදා තම සාමාජිකය‍ා මරා දැමීමට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුවා. ජානිපෙට එරෙහිව ඍජුව චෝදනා නොකළ ජවිපෙ නන්දන බාලගේ මරා දැමුවේ රජයට සම්බන්ධ මැරයන් බව කියමින් ඔවුන් නිරායුධ කරන ලෙස ඉල්ලා සිටියා. රජයට විරුද්ධ උද්ඝෝෂණ පිළිබඳ රජය කියන්නේ ඒවා කොටින්ට එරෙහි යුද්ධය අඩාල කිරීම සඳහා කරන කඩාකප්පල් ක්‍රියා බවයි. ජවිපෙ යුද්ධයේදී රජයට කොන්දේසි විරහිතව සහාය පල කරනවා.

මුලදී ජානිපෙ දෙසට හැරුණ ජවිපෙ සාමාජිකයන්ට එරෙහිව එල්ල වූ ප්‍රචණ්ඩත්වයේදී ජානිපෙ සිටියේ ජවිපෙන් ගුටි කන තැනකයි. පසුව ඔවුන් ආණ්ඩුවත් සමග සන්ධානයකට එළඹුණු අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජානිපෙ නායක විමල් වීරවංශ අතර ඇති සුහදත්වය හේතුවෙන් ඔවුන් ඉතා බලවත් තැනක ඉන්නවා.

ජානිපෙ තමන්ට එරෙහිව ජවිපෙ විසින් නගනු ලබන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA