W3lanka.com

NEWS IN
ENGLISH

ලංකාව සටන් විරාමයකට යන්නැයි බටහිර රටවල් පීඩනය වැඩි කරයි; බටහිර ලොක්කන් ගණනාවක් ලංකාවේ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දරාගැනීමේ හැකියාව පරීක්ෂාවට

(W3Lanka, අප්‍රේල් 27)
"පෙර නොවූ විරූ ආකාරයේ මානුෂීය අර්බුදය හමුවේ එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, එක්සත් ජනපද රය සහ ඉන්දියාව ඇතුළු රටවල් විසින් කරන ලද ඉල්ලීම හමුවේ" කොටි සංවිධානය ඊයේ ඒකපාර්ශ්විකව සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළේය. එහෙත් දෙපැයක් ඇතුළත ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය රාජපක්ෂ එය ප්‍රතික්ෂේප කළේ කොටින් සටන් කිරීමක් නොකරන හා ඒ වෙනුවට දුවමින් සිටින බව කියමින්. කැරැලිකරුවන් යටත් විය යුතු බව ඔහු කීවා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමූලඝාතනය කිරීමේ ලංකාවේ රජයේ අරමුණ පසුපස යනු වෙනුවට කොටින් සමග දේශපාලන විසඳුමකට එළඹෙන ලෙස රජයට බලපෑම වැඩි වෙමින් තිබෙනවා. රජය කොටු වී සිටින එල්.ටී.ටී.ඊ. නායකයා ඇතුළු සටන්කරුවන් මුලිනුපුටා දැමීමට ඉදිරියට යන්නේ නම්, එය සිදු කිරීමට සිදු වන්නේ ඔවුන් විසින් මිනිස් පළිහක් ලෙස රඳවාගෙන සටින බව කියන සිවිල් වැසියන්ගේ ජීවිත අනතුරේ හෙළමින්. කොටින් කියන්නේ මේ ජනතාව ස්ව කැමැත්තෙන් රැඳී සිටින බවයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය රටෙන් තුනෙන් එකක් තරම් වූ භූමිභාගයක විහිදුණු අර්ධ රාජ්‍යයක් පවත්වාගෙන ගිය සමයේ ඔවුන්ට දේශීයවත්, ජාත්‍යන්තරවත් ශක්තිමත් සහයෝගිතා පදනමක් තිබුණා.

මේ අතර එක්සත් ජනපදය, යුරෝපා සංගමය, නෝර්වේ සහ ජපානයෙන් සැදුම් ලත් ලංකාවට ආධාර දෙන සංසදයේ ටෝකියෝ සම සභාපතිවරු සිවිල් වැසියන්ට සහන සැලසීමේ මෙහෙයුම් සඳහා හා සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා ගැටුම් සහිත කලාපයට පිවිසීමට අවසර දෙන ලෙසත්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට අවතැන් වී පැමිණ සිටින ජනයා සඳහා නවාතැන් සපයා ඇති සියලු තැන්වලට පිවිසීමට ඉඩ දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කර තිබෙන ඉල්ලීමට සහාය පළ කළා.

දින දහයක් තුළ තුන්වන වතාවටත් ලංකාව පිළිබඳ දුරසමුළුවක් පැවැත්වූ සම සභාපතිවරු වෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවි බිම තබා අපක්ෂපාතී තුන්වන පාර්ශ්වයකට යටත් වන ලෙස කොටින්ගෙන් ඉල්ලා සිටියා. එසේම කොටින්ට සමාවක් පිරිනමන ලෙස හා පැහැදිලි යළි පදිංචි කිරීමේ සැලැස්මක් හා සාකච්ඡා මාර්ගයක් සකසන ලෙස ලංකාවෙන් ඉල්ලා සිටියා.

එක්සත් ජනපදය, ජපානය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ කැනඩාව යන ජී-8 කණ්ඩායම ලෙසද බටහිර රටවල් ලංකාවට බලපෑම් වැඩි කරමින් ඉන්නවා. කැරැලිකරුවන් සිවිල් වැසියන් "මිනිස් පළිහ" ලෙස භාවිතා කිරීම හෙළා දකිමින් ඔවුන් කියන්නේ "තවමත් යුද කලාපයේ සිර වී සිටින සහ එදිරිවාදිකම් හේතුවෙන් දැඩි ලෙස අනතුරට මුහුණ දී සිටින සිවිල් වැසියන්ගේ තත්වය ඔවුන්ගේ මූලික අවධානයට යොමු වී තිබෙන බව ඔවුහු කීවා.

බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ සහ ස්වීඩනයේ විදේශ ඇමතිවරු බදාදා ලංකාවට එන්න නියමිතයි. බ්‍රිතාන්‍යයේ කණිෂ්ඨ ජාත්‍යන්තර සංවර්ධන ඇමති මයික් ෆොස්ටර් අද ලංකාවට එනවා. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ජෝන් හෝම්ස් දැන් නැවතත් ලංකාවේයි.

මේ අතර, නොනිල වාර්තා පවසන්නේ තවමත් කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයේ වර්ග කිලෝමීටර 10ක පමණ භූමි ප්‍රදේශයේ සිර වී සිටින සිවිල් වැසියන් අතර තුවාල ලැබීම් හා සාගින්න වැඩි වෙමින් ඇති බවයි. මේ භූමියේ අඩු තරමේ 15,000ක්වත් ජනයා සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව එම සංඛ්‍යාව 50,000යි. 160,000ක් ජනයා මේ වන විට ගැටුම් හේතුවෙන් යුද මුක්ත කලාපයෙන් පළා ගොස් සිටිනවා.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA