W3lanka.com

NEWS IN
ENGLISH

බ්‍රිතාන්‍යය, ප්‍රංශය ලංකාවේ සටන් විරාමයක් ඇති කිරීමට අසමත් වෙති

ලංකාව දෙමළ සටන ඉවර කිරීමේ අධිෂ්ඨානයක

(W3Lanka, අප්‍රේල් 29)
මතභේදයට තුඩු දෙන පරිදි ශ්‍රී ලංකාව විසින් ස්වීඩන් විදේශ ඇමති කාල් බිල්ඩ්ට් හට ලංකාවට පිවිසීමට අවසර නොදීමේ සිද්ධියෙන් පසු ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් අද ලංකාවට පැමිණියා. එහෙත් විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍යවල‍ට කීවේ දෙමළ කැරැලිකරුවන්ට එරෙහි ප්‍රහාර නතර කර යුද බිමේ සිර වී සිටින සිවිල් වැසියන් වෙත මානුෂීය ප්‍රවේශය තහවුරු කරන ලෙස ලංකාව එකඟ කරගැනීමට ඔවුන් අසමත් වූ බවයි.

බ්‍රිතාන්‍යය හා ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෝ දෙදෙනෙක්. ඔවුන් ලංකාවට පැමැණියේ එජය හා කොටි සංවිධානය අතර සටන් විරාමයක් ඇති කරන්නයි.

ලංකාව ස්වීඩන් විදේශ ඇමතිවරයාට ලංකාවට පිවිසීම‍ට අවසර නොදීම බරපතල වරදක් බවත්, එය යුරෝපා සංගමයේ රටවලුත්, ලංකාවේ රජයත් අතර සබඳතා තව දුර‍ටත් ඈත් කිරීමට හේතු වන ප්‍රතිචාරවලට හේතු විය හැකි බවත් දැනට යුරෝපා සංගමයේ සභාපතිත්වය හොබවන චෙක් ජනරජයේ විදේශ ඇමති කැරල් ෂ්වාසෙන්බර්ග් පැවසුවා.

UK, France Foreign officials

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් (දකුණේ) සහ ප්‍රංශ විදේශ ඇමති බර්නාඩ් කවුච්නර් කොළඹදී මාධ්‍ය අමතමින්

යුරෝපා සංගමයේ රවුමට යන සභාපතිත්වය ජුලි මාසයේ සිට හිමි වන්නේ ස්වීඩනයටයි. ලංකාවේ සිටින ස්වීඩන් තානාපතිවරයාව ආපසු සියරට කැඳවා ඇතිමුත් ඒ ඔස්සේ තානාපති සබඳතා අත්හිටවෙන ලකුණු නැහැ.

ප්‍රංශය යුරෝ මිලියන 1.2ක් වටිනා රෝහලක් ලංකාවට පිරිනමා ඇති අතර, එය යුද කලාපයට ආසන්නයේ පිහිටුවීමට උනන්දු වෙනවා. බ්‍රිතාන්‍යයද යුරෝ මිලියන 2ක් පිරිනමා තිබෙනවා.

ලංකාව‍ට කුමන හෝ ආකාරයකින් එන විදේශ විනිමය රජයට තමන් මුහුණ දී සිටින විදේශ සංචිත අර්බුදය පියමං කිරීමට මහෝපකාරී වෙනවා. පසුගියදා ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ප්‍රධානී ජෝන් හෝම්ස් එක්සත් ජාතීන්ගේ හදිසි සහන අරමුදලෙන් ඩොලර් මිලියන 10ක් පිරිනැමීමට එකඟ වුණා. එහෙත්, හමුදාව විසින් වට කර සිටින කොටි කැරැලිකරුවන් විසින් පාලනය කරනු ලබන යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් හමුවීමට යාම සඳහා එක්සත් ජාතීන්ගේ දූත පිරිසක් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසර ගැනීමට ඔහු අසමත් වුණා.

මේ අතර, වවුනියාවේ රජයේ කඳවුරුවල සිටින 113,000ක් පමණ වන සිවිල් වැසියන් එම කඳවුරුවල තදබදය හා සනීපාරක්ෂක ඇතුලු පහසුකම් හිඟයකට මුහුණ දී සිටින බව ඇතැම් වාර්තා පවසනවා. මෙම කඳවුරු පවතින්නේ හමුදාවේ දැඩි ආරක්ෂාව යටතේයි. එහි සිටින අවතැන් වූවන් එහෙ මෙහෙ යාම ආරක්ෂක හේතූන් මත දැඩි ලෙස පාලනය කර තිබෙනවා.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA