W3lanka.com

NEWS IN
ENGLISH

උතුරේ තත්වය බරපතලයි - එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස්

සරණාගතයන්ට තව සම්පත් සපයන්නැයි රජයෙන් ඉල්ලයි

(W3Lanka, අප්‍රේල් 30)
මේ දක්වා 160,000ක් පමණ සිවිල් වැසියන් ගැටුම් හේතුවෙන් අවතැන්ව රජයේ පාලන ප්‍රදේශවලට පැමිණ ඇති බවත්, ඒ අතරින් 140,000ක් පමණ වවුනියාවේ ස්ථාන 32කද, තවත් 11,000ක් යාපනයේද, 5000ක් ත්‍රිකුණාමලයේද සිටින බව ජනීවාහි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා.

උතුරේ වාතාවරණය ඉතා බැරෑරුම් හා අවතැන් වූවන් සිටින තැන්වල තත්වය බිඳ වැටීමට ආසන්න මට්ටමක ඇති බව භූමියේ කාර්ය මණ්ඩලය දැනුම් දී ඇති බව පවසන එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය එය මානුෂීය සේවා සැපයීම අමාරු කාර්යයක් බවට පත් කර තිබෙන බව පවසනවා. සෙවණක් නොමැති ජනයා එළිමහනේ ගිනි අව්වේ සිටින බවද කියනවා.

පළා එන මිනිසුන්ට පහර දීම පිළිබඳ නිරන්තර වාර්තා ලැබෙන බව කියන එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තම වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම රජයට මතක් කරන්නේ සිදුවීම් පිළිබඳ පරීක්ෂා කර නීතිමය පියවර ගන්නා ලෙසද ඉල්ලමින්.

මානුෂීය ආධාර දැඩි ලෙස අවශ්‍යව සිටින අවතැන් වූ ජනයා වෙනුවෙන් වැඩිපුර සම්පත් හා ඔවුන්ට නවාතැන් පිණිස රජයේ ගොඩනැගිලි හා යෝග්‍ය ඉඩම් ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටිනවා. එසේම සටන්කරුවන් සිවිල් වැසියන්ගෙන් වෙන් කර ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ඔවුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මේ වන විට පවුල් සඳහා කූඩාරම් 5000ක් ඇතුළු සහන භාණ්ඩ රැසක් ගුවනින් එවා ඇති අතර දැනටමත් විශාල ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA