W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වීමට ආරාධනා කළ යුතු බව ආනන්ද සංගරී යෝජනා කරයි

යුද මුක්ත කලාපයේ තවත් ලක්ෂයක්

(W3Lanka, මැයි 10)
රැල්ල එල්.ටී.ටී.ඊ. සංවිධානයත් සමග තිබුණු 2004 මහ මැතිවරණයේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී උඩුගං බලා පීනන්නට තැත් කළේය. ‍කොටි සංවිධානයේ තර්ජන හේතුවෙන් ඔහු රජයේ ආරක්ෂාව පැතුවේය. දුන් ආරක්ෂාව වෙනුවෙන් රජයට සේවයද කළේය. එහෙත් කොටි සංවිධානයෙන් හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම්වලින් රජයට එක් වූ පටන්කාමීන් මෙන් සිය පූර්ව අරගළ මුළුමනින්ම පාවා දී තමන්ට ලැබෙන වරදාන වෙනුවෙන් රජයට බැල මෙහෙ කරනවා වෙනුවට යම් ස්වාධීන මධ්‍යස්ථ ස්ථාවරයක් ආරක්ෂා කිරීමට ආනන්ද සංගරී සමත් විය.

මෑත මාස කීපයේදී කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය වීමත්, කොටින්ගෙන් ස්වාධීන වූ දේශපාලන මාර්ගයක් පාදා ගැනීමට අසමත් වූ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් රට තුළදී කිසිවක් කර කියා ගත නොහැකි තත්වයට පත් වීමත් සමග ආනන්ද සංගරීගේ මධස්ථවාදී දෙමළ භූමිකාව කැපී පෙනෙන අන්දමින් ඉස්මතු වන්නට පටන් ගෙන තිබේ.

අද ඉරිදා ලංකාදීප පුවත්පතට ඔහු ලබා දෙන සම්මුඛ සාකච්ඡාව එහිදී ඔහු පළ කරන අදහස්වල ස්වාධීනත්වය නිසා ඉතා වැදගත් එකකි. ජාත්‍යන්තර බලවේගවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය බේරාගැනීමට උවමනාවක් ඇතැයි කියවෙන අදහස ප්‍රතික්ෂේප කරන ඔහු එම බලවේග අමනාප කරගැනීම ආණ්ඩුවට අවාසිදායක බව කියයි. සාමාන්‍ය ජනයා වෙනුවෙන් සටන් කරන බව හා ජීවිත පරිත්‍යාග කරන බව කියන කොටි සංවිධානයේ මෝඩකම් නිසා මහජනයා මැරෙන විට එම ජනයාට ඔවුන් ඉඩ දිය යුතුව තිබෙන බව කියන සංගරී කුරිරු සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ. සංවිධානයට එසේ කළ හැකි මුත් රජයකට එසේ කළ නොහැකි බව පවසයි.

කොටින්ගේ පාලනය යටතේ ඇති යුද මුක්ත කලා‍පයේ තවත් ලක්ෂයකට අධික ජනතාවක් ජීවත් වන බවද, යවන ආහාර ප්‍රමාණවත් නොමැතිකම නිසා ඔවුන් බඩගින්නේ ජීවත් වන බවද සංගරී පවසයි.

කොටි සටන්කරුවන් සාමාන්‍ය ජනයා අතර සිට ප්‍රහාර එල්ල කරන බව හා ප්‍රතිප්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යන බව කියන සංගරී රජයට යෝජනා කරන්නේ සටන් නතර කරන ලෙසයි. "ආණ්ඩුව යුද්ධය දිනලා ඉවරයි. ඉතිරි කුඩා භූමි ප්‍රදේශය ගන්න තව අවුරුද්දක් ගියත් කලබල විය යුතු නැහැ. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇවිති සාමාන්‍ය ජනයා ඉවත් කරගැනීමට ඉඩ සලසන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. ඒ සමගම ඒල්.ටී.ටී.ඊ.යට යට්ත් වෙන්න අවස්ථාවක් දීම ගැන, එල්.ටී.ටී.ඊ. භටයන්ට පොදු සමාවක් යටතේ භාර වීමට ඉඩ දීම ගැන කටයුතු කළ හැකියි," යි සංගරී පවසයි. ඔහු ආණ්ඩුවට යෝජනා කර ඇත්තේ ආණ්ඩුවට පිළිගත හැකි තුන්වන පාර්ශ්වයකට හෝ සංවිධානයකට අවි භාර දීමට කොටින්ට ඉඩ දෙන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වීමට ආරාධනා කළ යුතු බව ආනන්ද සංගරී යෝජනා කරයි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA