W3lanka.com

NEWS IN
ENGLISH

ජවිපෙ අලුත් කාර්යාලයකට ගෙවැදෙමින් 44වන උපන් දිනය සමරයි

(W3lanka, මැයි 14) ලංකාවේ පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේහි නව පක්ෂ මූලස්ථාන කාර්යාලයක් විවෘත කරමින් ලංකාවේ ප්‍රධානතම රැඩිකල් සිංහල දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ අද සිය 44වන උපන් දිනය සමරයි. 1965 වසරේ අද වැනි දිනක යෙදුණු වෙසක් පෝ දිනයේ ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුළු එවකට ප්‍රධාන වශයෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල නියෝජනය කළ පිරිසක් අනුරාධපුර කලැත්තෑවේදී ජවිපෙ පිහිටුවීම සඳහා මුල්ම සාකච්ඡාව පැවැත්වූහ.

1971 වන විට ජවිපෙ දීප ව්‍යාප්ත සන්නද්ධ නැගිටීමකින් ධනේශ්වර රාජ්‍යය අභියෝගයට ලක් කිරීමට තරම් ශක්තිමත් වූ අතර 10,000ක් පමණ පක්ෂයට සම්බන්ධ පිරිස් ඝාතනයට ලක් වූ 1971 මර්දනයෙන් පසුව ජවිපෙ 1970 දශකයේ අගභාගයේදී නැවතත් ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසීමට සමත් විය.

1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජවිපෙ නායක රෝහණ විජේවීර ඡන්ද 273,000ක් ලබා ගත්තේය. ඉන් අනතුරුව, එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් කූට ලෙස මහ මැතිවරණය නොපැවැත්වීමට කළ ජනමත විචාරණ ප්‍රෝඩාවට එරෙහිව ජවිපෙ අධිකරණයට ගියේය. 1983 ජුලි කෝලාහලවලට සම්බන්ධ යයි අභූත චෝදනාවක් නඟමින් ජේ. ආර්. ජයවර්ධන රජය විසින් ජවිපෙ තහනම් කරන ලදී.

1987 ජුලි 29 දින අත්සන් කරන ලද ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය පළ කිරමින් ජවිපෙ නව සන්නද්ධ අවධියකට පිවිසි අතර, තෙවසරක් පමණ දිග්ගැසුණු ජවිපෙ කැරැල්ල හේතුවෙන් 60,000ක් පමණ ජනයා මරණයට පත් වූහ. ජීවිතාරක්ෂාව සඳහා ඉන්දියාව හරහා යුරෝපයට පලා ගිය වර්තමාන ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ හැර සමස්ත ජවිපෙ මුල් පෙළේ නායකත්වය රජය විසින් විනාශ කරන ලදී.

1994 මහ මැතිවරණයට තරග කරමින් යළි ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි ජවිපෙ 2004දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධාන ගත විය. 2005දී වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පත් කිරීම සඳහා උදව් කළ ජවිපෙ ඉන් පසු ක්‍රමානුකූලව සන්ධානයෙන් ඉවත් විය.

ජවිපෙ තවමත් අභ්‍යන්තරිකව ධනේශ්වර විරෝධී, සමාජවාදී ස්ථාවරයක පිහිටා සිටිමින් විප්ලවවාදී පක්ෂයක් සංවිධානය කරමින් සිටියි.


Bookmark and Share

Share on Facebook
Recommend this page to someone
Comment
English home
Sinhala home

© POWERED BY W3LANKA