W3lanka.com

NEWS IN
ENGLISH

ජනාධිපති පැමිණි පසු ලංකා රජය ජයග්‍රහණය ප්‍රකාශ කරයි
සිංහල ජනයාට එය වැළැක්වීමේ වගකීමක් තිබේ - එල්.ටී.ටී.ඊ.

(W3Lanka, මැයි 16)
උතුරෙන් හා දකුණෙන් රජය විසින් ප්‍රකාශිත යුද මුක්ත කලාපයේ වෙරළ දිගේ ඉදිරියට ඇදුණු 58 හා 59 සේනාංක එකිනෙකා මුණගැසෙම්න් කොටි සංවිධානයේ ඉතිරි වී ඇති සටන්කරුවන් වර්ග මීටර් 500ක බිම්කඩකට කොටු කර ඇති බව රජය නිවේදනය කළා. ඔවුන් මුලිනුපුටා දැමීමේ අවසන් සටන දැනටමත් ආරම්භ කර තිබෙන අතර, ගැටුම් සහිත කලාපයේ කොටු වී සිටින මානව පළිහ ලෙස භාවිතා කෙරෙන සිවිල් වැසියන් ඉවත් කරගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව හමුදාව කීවා. ඇතැම් විශ්ලේෂකයන් කියන පරිදි කොටි නායකයන්ගේ ඉරණම දැනටමත් විසඳී හමාර විය හැකි අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ තුන් දින ජෝර්දාන් චාරිකාව නිම කර ලංකාවට පැමිණි පසු ඉරිදා පමණ කොටි නායකත්වය සුන් කර දැමීමේ ජයග්‍රහණය රජය නිවේදනය කිරීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් ගැටුම් සහිත කලාපයෙන් ඉවත්ව ඇති බව වාර්තා කරමින් රජයට පක්ෂපාත ස්වාධීන වෙබ් අඩවියක් වන ලංකා ඊ නිව්ස් ප්‍රකාශ කළේ සිවිල් වැසියන් විශාල ගණනක් තුවාල ලබා ඇති බවයි. අවසන් වෛද්‍ය කණ්ඩායම හමුදාවලට භාර වීමෙන් පසු හමුදාව විසින් විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රදේශයට ගුවනින් යවා තිබෙන බව වෙබ් අඩවිය වාර්තා කළා.

එහෙත් ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර පවසන්නේ හමුදාව මේ වන විට ෂෙල් ප්‍රහාර හා බර අවි භාවිතය නවත්වා ඇති බවයි. සීමිත ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක වන අතර ඒවායේ ඉලක්ක වන්නේ දැඩි ලෙස කොටු කරන ලද එල්.ටී.ටී.ඊ. සැඟවුම් ස්ථාන බව අමාත්‍යංශය කියනවා.

මේ අතර, කොටි සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී සෙල්වරාසා පත්මනාදන් ටැමිල්නෙට් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් මෙසේ කීවා. "මහා විනාශයක් හා ලේ හැලීමක් හරහා පැය 48කින් යුද්ධය අවසන් කිරීමේ කොළඹ ප්‍රවේශය විසින් දශක ගණනක් තිස්සේ දිග්ගැසෙමින් පවතින යුද්ධය අවසන් කරන්නේ නැත. එමගින් සිදු වන්නේ අර්බුදය මින් පෙර නොවූ විරූ ආකාාරයෙන් උත්සන්න වීමයි.

"දෙමළ අයගේ නොවේ නම් තමන්ගේම උවමනාවන් හෝ සැලකිල්ලට ගෙන මෙය වැළැක්වීමේ වගකීමක් සිංහල ජනයාට තිබේ. අප හැම විටම මෙම දිවයිනේ අසල්වැසියන් ලෙස සිටිය යුතු බව සිංහල ජනයා අමතක කළ යුතු නැත.

"එල්.ටී.ටී.ඊ. සංවිධානය අඅවස්ථා ගණනාවකදීම සටන් විරාමයකට කැපවීම හා අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ කළේය. එහෙත් ඒ සෑම අවස්ථාවකදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ සඳහා දොර වසා දැමීය."


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA