W3lanka.com

NEWS IN
ENGLISH

කොටි නායකයෝ මරු දුටුවාද?
"ශ්‍රී ලංකා රජය සහ අප එක්ව අර්බුදයට විසඳුමක් සෙවිය යුතුයි," එල්.ටී.ටී.ඊ. කියයි

(W3Lanka, මැයි 17, 2009)
එල්.ටී.ටී.ඊ. නායකයන් පුපුරවාගෙන සියදිවිනසාගෙන ඇති බවට කටකතා කොළඹ මාධ්‍ය කවයන් අතර පැතිරෙමින් තිබේ. අර්බුද කලාපය සම්පූර්ණයෙන්ම පාහේ නිදහස් මාධ්‍යවලින් බැහැරව ඇති අතර දෙමළ විදෙස්ගත ප්‍රජාවේ ජනමාධ්‍යවලටද වන්නිය සමග තිබුණු සබදතා ගිලිහී ඇති බව පෙනේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ජෝර්දාන් සංචාරය කෙටියෙන් නිමා කර ඔහු ජී-11 සමුළුවේදී කී ආකාරයට ත්‍රස්තවාදයෙන් නිදහස් කර ගත් රටකට එමින් සිටියි. ජයග්‍රහණය ඔහු විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඇතැම්හු සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් වනු ඇතැයි අපේක්ෂා කරති.

භාර වූ එල්.ටි.ටී.ඊ. වෛද්‍යවරයකුගේ තොරතුරු මත හමුදා කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් සිටින ස්ථානය හඳුනාගෙන ඇති බව නිල නොලත් වාර්තා පැවසීය. බොහෝ මධ්‍යම මට්ටමේ කොටි නායකයන් භාර වී ඇත. එල්.ටී.ටී.ඊ. හිටපු දේශපාලන අංශ නායක එස්.පී. තමිල්චෙල්වන්ගේ බිරිද ඇතුළු කොටි නායකයන්ගේ පවුල් සාමාජිකයෝ ගණනාවක්ද භාර වූ පිරිස් අතර සිටින බව නිල නොවන වාර්තා පවසයි. කොටින්ට සිවිල් වැසියන්ගේ පාලනය මුළුමනින්ම අහිමි වී ඇති අතර ඊයේ සවස වන විට අවසානය දක්වාම කොටි පාලන ප්‍රදේශවල සිටි 25,000කට වැඩි පිරිසක් හමුදාවට භාර වී තිබිණි.

ජ්‍යේෂ්ඨ කොටි නායකයන් වන ස්වර්ණම්ගේ හා ශෂී මාස්ටර්ගේ මරණ ආරක්ෂක අමාත්‍යංශය විසින් අද සවස නිවේදනය කරන ලදී.

මේ අතර එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී සෙල්වරාසා පත්මනාදන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ඔබාමාගේ ඉල්ලීමට සවන් දෙමින් තම ජනයාගේ ජීවිත බේරා දීම සදහා කළ හැකි සෑම දෙයක්ම කිරීමට සූදානම් බව කීය.

නිවේදනය වැඩිදුරටත් කී පරිදි, "ජනාධිපති ඔබාමාගේ බලාපොරොත්තු සහගත වචනවලින් දිරිමත්ව එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවතත් කියන්නේ ස්වාධීන ජාත්‍යන්තර පාර්ශ්වයන් විසින් පහසුකරණය කරනු ලබන වාර්ගික අර්බුදය විසදීම සඳහා වූ තේරුමක් සහිත දේශපාලන ක්‍රියාමාර්ගයකට පිවිසීමට සූදානම් බවයි. ශ්‍රී ලංකා දූපතේ ජීවත් වන සියලු ජනයාට හොඳම විකල්පය එයයි. ශ්‍රී ලංකා රජය හා අප එක් වී මෙම අර්බුදයට විසඳුමක් සෙවිය යුතුයි. රජයේ ප්‍රහාරයකින් සිදු වන්නේ තවත් දහස් ගණනක් මිය යාමයි. එමගින් ගෞරවනීය ප්‍රතිඵලයක් ඇති වන්නේ නැත. ඔබාමා මහතා අවධාරණය කර ඇති පරිද්දෙන් සහයෝගීව සාමය වෙනුවෙන් වැඩ කිරීමට අපි සූදානම්ය."


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA