W3lanka.com

NEWS IN
ENGLISH

බෑන් කී-මූන් හෙට රෑ ලංකාවට
යුද අපරාධ චෝදනා පිරික්සීමට සහාය

(W3Lanka, මැයි 21, 2009)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී-මූන් හෙට මධ්‍යම රාත්‍රියේ ලංකාවට පැමිණීමට නියමිතය. අනිද්දා ඔහු ජනමාධ්‍ය සමඟ ගැටුම් පැවතුණ කලාපයට හා වවුනියාවේ අනාථ කඳවුරු බැලීමට යාමටද ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරිමටද නියමිතය.

යුරෝපා සංගමයේ මූලිකත්වයෙන් ලංකාවේ යුද අපරාධ චෝදනා පූර්ණ ලෙස පරීක්ෂා කළ යුතු බවට කෙරෙන ඉල්ලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහාය පළ කර ඇත.

250,000ක් පමණ වන සරණාගතයන් ජීවත් වන කඳවුරු වෙත පූර්ණ ප්‍රවේශය ලබා දිය යුතු බව යුනිසෙෆ් සංවිධානය ඉල්ලා තිබේ. මිනිසුන් අසනීප, මන්ද පෝෂිත හා තුවාල ලද තත්වයෙන් කඳවුරු කරා එමින් සිටින බවද, ජලය හා සනීපාරක්ෂක තත්වයන් නරක බවද යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඈන් වෙනමන් ලිඛිත නිවේදනයක පැවසීය.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ පුකාශකයකු ඊයේ කීවේ රජය කඳවුරු වෙත ප්‍රවේශය අවුරා තිබෙන හෙයින් හදිසි අවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම නැවැත්වීමට සිදු වී ඇති බවයි.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කඳවුරුවාසීන්ගේ සුබසාධන තත්වය හොඳ නැති බවයි. එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ආයතනවලට මෙම කඳවුරු තුළ කටයුතු කිරීමේදී දැඩි පාලනයකට යටත් කර තිබේ. කඳවුරු තුළ සිදු වන පැහැරගැනීම් සහ අතුරුදහන්වීම් පිළිබඳවද ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. රජය මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතර, ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මෙම චෝදනාවලට පිළිතුරු ලෙස පවසන්නේ ඔබට මෙම කඳවුරු තුළ තරු පහේ හෝටල් තත්වය අපේක්ෂා කළ නොහැකි බවයි.

මානුෂීය සංවිධානවලට ප්‍රතිචෝදනාවක් කරමින් ආපදා සහන අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පැවසුවේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂම විසින් සපයන ලද කූඩාරම් සහ යුනිසෙෆ් සංවිධානය විසින් සකසන ලද වැසිකිළි තත්වයෙන් බාල බවයි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA