W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ ලංකාව පිළිබඳ විශේෂ සැසියේදී කුමක් වේවිද?
යුද අපරාධ චෝදනා ගේන්න බටහිරට පුළුවන් වේවිද?

(W3Lanka, මැයි 22, 2009)
ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් පිළිබඳ තත්ත්වය සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කැඳවීම කාලෝචිත නොවන අනවශ්‍ය දෙයක් බව ආපදා කළමණාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා රජයේ සහ කොටි සංවිධානයේ හමුදා විසින් කරන ලදැයි කියන යුද අපරාධ පිළිබඳ විශේෂ සැසියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේදී සඳුදා පැවැත්වේ.

මානව හිමිකම් සභාවේ සිටින යුරෝපා සංගමයේ සාමාජික රටවල් වන බ්‍රිතාන්‍යය, ෆ්‍රන්සය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්ලෝවේකියාව සහ ස්ලෝවේනියාව යන රටවලුත්, ආර්ජන්ටිනාව, බොස්නියාව, කැනඩා, චිලී, මෙක්සිකෝ, මුරුසිය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, උක්රේනය හා උරුගුවේ යන රටවල් 17 එම අපරාධ පිළිබඳ පරීක්ෂා කළ යුතුය යනුවෙන් සඳහන් ලේඛනයට පක්ෂපාතිත්වය දක්වා තිබේ. මානව හිමිකම් සභාවේ රාජ්‍යයන් 17ක් සිටින අතර සෙසු රාජ්‍යවල සහාය ලබා ගැනීමට ප්‍රයත්නයක් තිබේ.

ලංකාවද, කියුබාව ඇතුළු නොබැඳි සමුළුවේ රටවල් අතරින් මෙම යෝජනාවට විරුද්ධව සහාය ඉල්ලා කතා කරමින් සිටියි.

සාකච්ඡා දිගට ගියද, මානව හිමිකම් සභාව ගාසාහිදී මෙන් තමන්ගේම පරීක්ෂණයක් තහවුරු කර නොගනු ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් මෙම විශේෂ සැසිය විසින් එකී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කෙරෙහි මහජන අවධානය යොමු කිරීමක් සිදු වනු ඇති බව යුරෝපා රාජ්‍ය තාන්ත්‍රිකයෝ කියති.

සෑහෙන කාලයක් මෙම සභාව වර්ජනය කරමින් සිටි එක්සත් ජනපදය ගිය සතියේ එයට ඇතුළත් විය. එම රාජ්‍යයට කතා කිරීමේ අවස්ථාව තිබුණද, ලබන මාසය දක්වා ඡන්ද බලය නැත.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් නොවන ලංකාවට එරෙහිව පියවරක් ගත හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්මත කරගන්නා යෝජනාවකින් පමණි. එහෙත් නිෂේධ බලය හිමි රුසියාව සහ චීනය ලංකාවට උදව් කරයි.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA