W3lanka.com

NEWS IN
ENGLISH

පෝද්දල ජයන්තගේ කකුල කුඩු කරලා; අතක ඇඟිලි තුනක් කඩලා
කැ‍ළේ මුවා වෙනුවට ගෙදර මුව හමට ගුටි: ලංකා ඊ නිව්ස් කතුවරු උසාවියේ

(W3Lanka, ජුනි 03, 2009)
නාඳුනන පිරිසක් විසින් ඊයේ පැහැරගෙන ගොස් පහර දී මඟ දමා ගොස් සිටි වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ ලේකම් පෝද්දල ජයන්තගේ වම් පාදය කීප තැනකින් බිඳ දමා සහ අතක ඇඟිලි තුනක් කඩා දමා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සැත්කමකට භාජනය කරන ලද ඔහු තවමත් කම්පන තත්වයක පසුවන බවද වාර්තා වේ. පැහැරගෙන ගිය පුද්ගලයෝ මාධ්‍ය‍‍‍‍වේදියාගේ කොණ්ඩය සහ රැවුලද තැනින් තැනින් කපා දමා ති‍්බේ.

ගවේෂණාත්මක පුවත්පත් කලාව සම්බන්ධයෙන් 2004දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ ජාතික සුපිළිපන්න සම්මාන දිනූ මාධ්‍යවේදියකු වන දීර්ඝ කාලයක් ප්‍රා‍දේශීය පුවත් ආවරණයේ නියැලුණු ඔහු පසු කලෙකදී ලේක්හවුස් ආයතනයේ ළමා පුවත්පතක සේවයට යොදවන ලදී.

දිගින් දිගටම තර්ජනවලට ලක් වෙමින් සිටි ජයන්ත පසුගිය ජනවාරියේදී මාසයක කාලයක් ආරක්ෂාව පතා දිවයිනෙන් බැහැරව සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ දෙදෙනෙකු වන්නේ ලංකා ඊ නිව්ස් ප්‍රවෘත්ති කර්තෘ බෙනට් රූපසිංහ සහ ප්‍රධාන කර්තෘ සදරුවන් සේනාධීරයි. ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුව වන්නේ පොලිස්පති, මාධ්‍ය ඇමති හා පෝද්දල ජයන්තගේ බිරිය ඇතුළු කීපදෙනෙකුටම මුලින්ම දැනුම් දෙනු ලැබුවේ බෙනට් රූපසිංහ විසින් වීමයි. ඔහුගේ ප්‍රකාශය හා තවත් සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අතර පරස්පරතාවක් ඇති බව පොලිසිය පවසයි. අධිකරණය විසින් ඔවුන් ඇප මත නිදහස් කරන ලදී.

ලංකා ඊ නිවිස් වෙබ් අඩවියද දීර්ඝ කාලයක් තිස්සේ තර්ජනවලට මුහුණ දෙමින් සිටින මාධ්‍ය ආයතනයකි. ගවේෂණාත්මක පුවත්පත් කලාව හේතුවෙන් එහි මාධ්‍ය වේදීන් කීප වරක්ම අනතුරුදායක තත්වයන්ට මුහුණ දුන්හ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA