W3lanka.com

NEWS IN
ENGLISH

ලාංකීය ධනවාදයට අහස උසට බලාපොරොත්තු
යාපනයට කොටස් වෙළඳපොලක්

(W3Lanka, ජුනි 06, 2009)
දශක තුනක් තිස්සේ දිවයිනේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල වෙනම රාජ්‍යයක් සඳහා සටන් කළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය මර්දනය කිරීමෙන් පසුව ලංකාවේ ධනවාදය වේගවත් වර්ධනයක් කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ.

ජෝර්ජ් සෝරෝස්, මාක් මෝබියස් වැනි ඉහළ පෙළේ අරමුදල් කළමනාකරුවන් ආයෝජන සඳහා කැඳවාගැනීමට ලංකාවට උවමනා වී තිබෙන බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය. ජිම් රොජර්ස් නම් ආයෝජකයා මැයි 21 දින පැවසුවේ ලංකාවේ "අපූරු අවස්ථා" ඇති බවයි. නාට්‍යමය වෙනස්වීම්වලින් පසුව ඔහු "දැවැන්ත, ලාභදායී" අවස්ථා සොයාබැලීමට ලංකාවට එන්නට කැමති බව ඔහු පැවසූ බව බ්ලූම්බර්ග් වාර්තා කළේය.

මේ අතර, විනිමය හා සුරැකුම්පත් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් චන්න ද සිල්වා පවසන්නේ කොළඹ කොටස් වෙළඳපොළ මාස තුනක් ඇතුළත යාපනයේ කාර්යාලයක් ආරම්භ කරන බවයි. ඊයේ අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිවරයා බැහැ දුටු දෙමළ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිත පිරිසක් ඔහුට සහාය පළ කළහ. ජනාධිපතිවරයා මෙහිදී දෙමළ බසින් කතාවක් පැවැත්වූ අතර ඔහුගේ වාක්‍යයෙන් වාක්‍යය‍ට අත්පොළසන් දුන් ව්‍යාපාරිකයෝ කතාව අවසානයේ නැඟී සිට ආචාර කළහ.

රජය කොළඹ වරායේ ධාරිතාව සිංගප්පූරු වරායේ මට්ටමට ගෙන ඒම සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මකට අත ගසා තිබේ. සංචාරක ව්‍යාපාරය වැනි තවත් අංශ රැසක් කෙරෙහි අවධානය යොම් වී තිබේ.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය කාලයේ ලංකාවේ ආර්ථිකය පිළිබඳ සැකසුණු අනාවැකි සංශෝධනය කර අලුත් ඉලක්කම් ඉදිරිපත් කිරීමේ කාර්යයේ යුහුසුළුව සිටියි. ඔහු පවසන පරිදි දේශපාලන ස්ථාවරත්වය ඇති වීමත් සමග විදේශ ආයෝජකයන් ලංකාවේ කොටස් වෙළඳපොළට ඇදී ඒමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සති දෙක තුළ රටේ විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 120කින් ඉහළ ගොස් ඇති බවයි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට | නිවහන් පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA