W3lanka.com

NEWS IN
ENGLISH

විශ්‍රාම යන යුද හමුදාපති වෙනුවෙන් රජය අලුත් තනතුරක් හදයි
වීරයකුට තෑග්ගක්

(W3Lanka, ජුනි 10, 2009)
අමතර බලතල සහිත නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරක් ඇති කිරීමට රජය සූදානම් වෙයි. විශ්ලේෂකයන්ට අනුව මෙම තනතුර නිර්මානය කරනු ලබන්නේ ළඟදී විශ්‍රාම යාමට නියමිත යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා වෙනුවෙනි. විශ්‍රාම යාමෙන් පසුව 'ආරක්ෂක අංශයට සම්බන්ධ තනතුරක හිඳිමින් රටට සේවය කිරීමට' තමන් කැමති බව යුද හමුදාපතිවරයා මෑතදී පැවති රූපවාහනී සම්මුඛ සාකච්ඡාවකදී විවෘතවම ප්‍රකාශ කළේය.

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරේ බලතල සහ වගකීම් පුළුල් කිරීම සහ කාර්යභාරය පැවරීම සඳහා වූ පනත් කෙටුම්පතක් අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා ඊයේ (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය.

මේ පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයා අවස්ථානෝචිතව වර්තමාන යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා හෝ ගුවන් හමුදාපතිවරයා අතරින් එක් නිලධාරියකු ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පත් කරනු ලබන්නේය.

ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ විධානය අධීක්ෂණය සහ පාලනය යටතේ කි‍්‍රයා කළයුතු බවද එම පනත් කෙටුම්පතේ සඳහන් වේ. මේ තනතුර වසර දෙකක ධූර කාලයකින් යුක්තය.

වසර දෙකෙන් දෙකට එම ධූර කාලය දික් කිරීමටද ජනාධිපතිවරයාට හැකියාව ඇත. සන්නද්ධ හමුදාවලට ක‍්‍රමෝපාය පිළිබඳ විධාන සැපයීම, සන්නද්ධ හමුදාවල ඒකාබද්ධ සේවා නියුක්තිය සඳහා වූ න්‍යායන් සැකසීම සහ පහසුකම් සැකසීම, සන්නද්ධ හමුදා අතර බුද්ධිමය අංශයට අදාළ කර්තව්‍යයන් සම්බන්ධයෙන් වූ කාරණ සම්බන්ධීකරණය කිරීම ඇතැම් කාර්යයන් රැසක් ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරට පැවරේ.

ආරක්ෂක අමාත්‍යංශය තුළ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී කමිටුවක්ද පත් කිරීමට නියමිත අතර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එම කමිටුවේ සභාපතිවරයා වේ. මේ කමිටුව යුද හමුදාපතිවරයාගෙන් නාවික හමුදාපතිවරයාගෙන් සහ ගුවන් හමුදාපතිවරයාගෙන් සමන්විතය.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA