W3lanka.com

NEWS IN
ENGLISH

රජය උතුරේ වේගවත් කෘෂිකාර්මික සංවර්ධනයක් ඉලක්ක කරයි
ඉඩම් ප්‍රශ්නයට විසඳුම කුමක්ද?

(W3Lanka, ජුනි 12, 2009)
ජනාධිපති මහින්ද රාජපක්ෂ ජුනි 09දා අරලියගහ මන්දිරයේදී සුවිශේෂ අමුත්තකු හමු විය. ඒ ඉන්දීය හරිත විප්ලවයේ පියා යන විරුදාවලිය ලත් ආචාර්ය එම්. එස්. ස්වාමිනාදන්ය. උතුරේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සංවර්ධනය කිරීම සඳහා ආධාර කරන්නැයි ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

අසූ හතර වියැති ආචාර්ය ස්වාමිනාදන් විශිෂ්ඨ කෘෂි විද්‍යාඥයකු, විද්‍යාත්මක පර්යේෂකයකු හා ලේඛකයකු වේ. ලෝකය සාගින්නෙන් හා දිළිඳුකමින් මුදවමු යන දැක්ම යටතේ කටයුතු කරන හේ ඉන්දියාව ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, චිරස්ථායී කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතභාවය ඔස්සේ ධරණීය සංවර්ධනයකට යොම් විය යුතු බව කියන්නෙකි. ඔහු එය හඳුන්වන්නේ 'සදාහරිත විප්ලවය' නමිනි.

දෙමළ ඊලාම් ‍විමුක්ති කොටි සංවිධානයේ පාලනයෙන් මෑතදී අල්ලාගන්නා ලද වන්නියේ ප්‍රදේශවල කෘෂිකාර්මික සංවර්ධනයක් ඇති කිරීම සඳහා ඇති ශක්‍යතාව කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බව පෙනේ. එහෙත් රජයට ඇත්තෙන්ම උතුරේ කෘෂිකාර්මක සංවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය නම් ඉතා පරිස්සමෙන් විසඳුම් දිය යුතු බරපතළ ඉඩම් ප්‍රශ්නයක් එහි තිබේ.

වන්නි දිස්ත්‍රික්වල ජනයාගෙන් 80%ක් ගොවීන් හා ධීවරයන් බව ජනාධිපතිවරයා ආචාර්ය ස්වාමිනාදන්ට පැහැදිලි කළේය. එහෙත්, මෑත වාර්තාවලින් කියැවුණු පරිදි ඉඩම් සඳහා නෛතික අයිතිය ඔප්පු කළ නොහැකි පවුල්වලට ලබා දෙන්නේ පර්චස් 20 බැගින් බව ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ජීවන් කුමාරතුංග කියා තිබේ. එසේම අවගැන් වූවන්ගෙන් 80%කටම ඉඩම් සඳහා නෛතික හිමිකම් ඔප්පු කළ නොහැකි බවද ඔහු කියයි. නැවතත් ඇමතිවරයා ජනමාධ්‍යවලට කීවේ යළි පදිංචි කිරීම්වලදී උපයෝගී කර ගනු ලබන්නේ 1983 ඡන්ද හිමි නාමලේඛනය බවයි. එයට හේතුව එකම විශ්වසනීය ලේඛනය එය නිසා බව ඇමතිවරයා කියයි. 1984 වසරේ උපන් අයකු දැන් පවුලක් ගොඩනඟා ගත් වැඩිහිටියෙතු විය හැකිය. මෙම යඵි පදිංචි කිරීම තුළ ඔහුගේ ඉරණම කුමක්ද?

රජය විසින් පරාජය කළ බව කියන දෙමළ නිජබිම් සංකල්පයේ පදනම භූමියයි. කොටි සංවිධානයේ නිල නොවන රාජ්‍යයේ පාලනය තුළ දශක දෙකක් ජීවත් වූ වන්නි වැසියන්ගේ දැවෙන ඉඩම් ප්‍රශ්නය විසඳිය යුතුව තිබෙන්නේ ඉතා බුද්ධිමත අන්දමිනි. තවත් ප්‍රශ්නද තිබේ. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී කියන පරිදි අවතැන් වූවන්ගෙන් සෑම දහදෙනෙකුගෙන්ම එක් අයෙකුට කිසියම් ආබාධයක් ඇත. දෙමව්පියන්ගෙන් එක් අයකු පමණක් සිටින, බොහෝ විට ඒ මව පමණක් වන පවුල්වල ප්‍රශ්නයද සැලකිල්ලට ගත යුතු කාරණා අතරින් එකකි.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA